ප්‍රේස්ට්‍රි ශීට් වලින් දිව පිනවන කෑම වර්ග 5ක් හදාගමුද?

Pastry sheet

පේස්ට්‍රි කියන්නෙ කොච්චර කෑවත් එපා වෙන්නෙ නැති කෑමක්. ක්‍රිස්පියට කරස් ගාල හැපෙන බටර් රස මුසු වෙච්ච මේ පේස්ට්‍රි වලට නානාප්‍රකාර ෆිලින්ග්ස් දාන්න පුළුවන්. පේස්ට්‍රි ශීට්ස් ගෙදරම හදාගන්න එක ටිකක් විතර කාලය ගතවෙන සහ මහන්සිදායක වැඩක්. එච්චර කරදර නොවී අඩු මුදලකට අපිට පේස්ට්‍රි ශීට්ස් දැන් ඕනෙම සුපිරි වෙළඳසැලකින් ලබාගන්න පුළුවන්. අද මේ කියන්න යන්නෙ එහෙම ගන්න පේස්ට්‍රි ශීට්ස් වලින් හදාගන්න පුළුවන් වෙනස්ම පේස්ට්‍රි වර්ග ටිකක්. හැමදාම අලයි සැමනුයිම දාල කන එකේ මේ විදියෙ රස වෙනසක් කරලම බලන්න. මේ හැම කෑමක්ම උත්සව අවස්ථා වලට උනත් සුදුසු, ලේසියෙන්ම හදාගන්න පුළුවන් ඒව කියලත් මතක් කරනව.

 

1. පේස්ට්‍රි පීසා

Image Source – bakerbynature.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පේස්ට්‍රි ශීට් එකක්
  2. පෙති කපාගත් සෝසේජස්
  3. තක්කලි සෝස් හෝ පීසා සෝස්
  4. මොසරැල්ලා චීස්
  5. පොඩියට කපාගත් ළූණු සහ මාළු මිරිස්
  6. ඔරිගානො, ලුණු සහ ගම්මිරිස් කුඩු
  • පේස්ට්‍රි ශීට් එක පැකට්ටුවේ උපදෙස් පරිදි තුනී කරගන්න. කැමති සයිස් එකට හතරැස් කොටු කපාගන්න.
  • සෑම කොටුවකම පීසා සෝස් හෝ තක්කලි සෝස් තවරාගන්න. එයට උඩින් ගාගත් මොසරැල්ලා, සොසේජස්, ළූණු සහ මාළු මිරිස් තට්ටු වශයෙන් අතුරාගෙන, එයට උඩින් ඔරිගානෝ මිශ්‍රණය ඉස නැවත මොසරැල්ලා උඩින් දමාගන්න.
  • මුළු දෙකකින් අල්ලා මැදට ගෙන, ඇඟිලි තුඩින් තද කර අලවා ගෙන ඉදිරිපස බිත්තර සුදුමද තවරාගන්න.
  • සෙල්සියස් 200ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 15-18ක් අතර කාලයක් බේක් කරගන්න.

 

2. ග්ලේස්ඩ් ඩෝනට්ස්

Pastry sheet

Image Source – agirldefloured.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පේස්ට්‍රි ශීට් එකක්
  2. බැදගැනීමට තෙල්
  3. කුඩු කරගත් සීනි කප් 1
  4. කිරි මේස හැන්දයි
  5. වැනිලා ස්වල්පයක්
  6. ලුණු පින්ච් එකක්
  • පේස්ට්‍රි ශීට් එක තරමක් මහතට හිටින්න දිගඇරගන්න. ලොකු රවුමකින් සහ පොඩි රවුමකින් ඩෝනට්ස් කපාගන්න.
  • කිරි, සීනි, ලුණු සහ වැනිලා එකට බීට් කර, ග්ලේස් එක සාදාගෙන පසෙකින් තියාගන්න.
  • කපාගත් ඩෝනට්ස් රත්වූ ගැඹුරු තෙලේ බැදගන්න. එක පැත්තක් විනාඩියත් තප්පර 30ත් අතර කාලයක් බැදගැනීම ප්‍රමාණවත්.
  • ඩෝනට් එක උණුවෙන්ම තිබියදීම ග්ලේස් එකේ තවරාගන්න.

 

3. චීසි එග් පෆ් පේස්ට්‍රි

Pastry sheet

Image Source – youtube.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පේස්ට්‍රි ශීට් එකක්
  2. බිත්තර
  3. කපාගත් චෙඩාර් චීස්
  4. සිහින්ව කපාගත් ළූණු කොළ
  5. ලුණු, ගම්මිරිස් කුඩු
  • පේස්ට්‍රි ශීට් එක පැකට්ටුවේ ඇති පරිදි තුනී කරගන්න. රවුම් කපාගෙන ඒ රවුම් තෙල් කඩදාසියක් දමාගත් ට්‍රේ එකක තරමක් ඈතින් අතුරාගන්න. එක් එක් රවුමෙන් අඟල් කාලක් පමණ ඇතුළට වෙන්න වෙන් නොවන සේ රවුමක් මාක් කරගෙන, ඒ මැද ගෑරප්පුවකින් යන්තම් සිදුරු කරගන්න.
  • සෙල්සියස් 200ට ප්‍රී හීට් කරගත්ත අවන් එකක විනාඩි 8ක් පමණ වටේ රවුම පිම්බී ඉස්සෙන තුරු බේක් කරගන්න.
  • එළියට ගෙන ඒ මැදට චීස් දමා එයට උඩින් කහමදය නොකැඩෙන ලෙස බිත්තරයක් දමා ලුණු, ගම්මිරිස් ඉසගන්න. නැවත විනාඩි 12ක් බේක් කරගන්න.
  • අවසානයේ ළූණු කොළ ඉස පිලිගන්වන්න.

 

4. පේස්ට්‍රි සිනමන් රෝල්ස්

Pastry sheet

Image Source – justataste.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පේස්ට්‍රි ශීට් එකක්
  2. දියකරගත් බටර් මේස හැඳි 1/2
  3. දුඹුරු සීනි කප් එකක්
  4. කුරුඳු කුඩු තේ හැඳි 1/2
  5. අවශ්‍ය නම් කපාගත් කජු

ග්ලේස් එක සඳහා

  1. කුඩු කරගත් සීනි කප් 1
  2. කිරි මේස හැන්දයි
  3. වැනිලා ස්වල්පයක්
  4. ලුණු පින්ච් එකක්
  • පේස්ට්‍රි ශීට් එක පැකට්ටුවේ සඳහන් ප්‍රමාණයට වඩා මදක් වැඩියෙන් තුනී කරගන්න. තුනී කරගත් පේස්ට්‍රි ශීට් එක මත දියකරගත් බටර් ආලේප කරගන්න.
  • දුඹුරු සීනි සහ කුරුඳු කුඩු මිශ්‍ර කරගෙන, තවරාගත් බටර් මත ඉසගෙන, ස්විස් රෝල් එකක් ආකාරයට එක කෙළවරක සිට පරිස්සමෙන් ශීට් එක රෝල් කරගන්න.
  • මුවහත් පිහියකින් අඟලක පමණ ඝනකමට රවුම් කපාගෙන ඔයිල් පේපර් එකක් දමාගත් ට්‍රේ එකක තියාගන්න.
  • සෙල්සියස් 170ට ප්‍රීහීට් කරගත් අවන් එකක විනාඩි 20-25ත් අතර කාලයක් බේක් කරගන්න.
  • ග්ලේස් එකට අවශ්‍ය සියලුම දේ බෝල් එකක දමා බීට් කරගෙන, උණුවෙන්ම ඇති සිනමන් රෝල් මත වත් කරන්න.

 

5. මින්ස්ඩ් මීට් වෙලින්ග්ටන්

Pastry sheet

Image Source – vikalinka.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පේස්ට්‍රි ශීට් එකක්
  2. අඹරාගත් මස් 450g (කැමති කටු රහිත මස් වර්ගයක්)
  3. චොප් කරගත් ළූණු ගෙඩියක්
  4. කුඩාවට කොටු කපාගත් කැරට් අලයක්
  5. කුඩාවට කොටු කපාගත් අල ගෙඩියක්
  6. චොප් කරගත් සැල්දිරි දණ්ඩක්
  7. තලාගත් සුදුළූණු බික් 2
  8. බිත්තරයක්
  9. රස අනුව ලුණු, ගම්මිරිස්
  • තෙල් ස්වල්පයක් රත් වෙන්නට හැර අල, කැරට්, සැල්දිරි සහ ළූණු එක් කර විනාඩි හත අටක් හොඳින් පිසගන්න. අන්තිමටම සුදු ළූණු එක් කර විනාඩියක් තබා ලිපෙන් ඉවත් කර නිවෙන්නට හරින්න.
  • මස් වලට නිවාගත් එළවළු එක් කර එයටම රස අනුව ලුණු, ගම්මිරිස් එක් කර හොඳින් අනාගන්න. එයට ගසාගත් බිත්තරයෙන් බාගයක් එක් කර මිශ්‍ර කරගන්න.
  • පේස්ට්‍රි ශීට් එක පැකට්ටුවේ උපදෙස් පරිදි තුනී කරගෙන එහි එක් කෙළවරකින් මස් මිශ්‍රණය සොසේජ් එකක් හැඩයට තබාගෙන ප්‍රවේසමෙන් මස් මිශ්‍රණය මැදට හිටින ලෙස රෝල් කරගන්න.
  • ඉතිරි බිත්තර සාරු තවරා, කෙළවර අලවාගෙන, දෙකෙළවර හොඳින් තද කර පේස්ට්‍රි රෝල් එක වටේම බිත්තර තවරාගන්න.
  • සෙල්සියස් 160ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 50ත් පැයත් අතර කාලයක් බේක් කරගන්න.

Cover Image Source – foodnetwork.com / epicurious.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *