මේ කියන්න යන්නෙ වැඩක් නොගන්න වටින කියන දෙයක් තමුන් සතුව තියෙනවනං ඒක නිකාං ලාන්තරස් වෙවී තියාගන්නෙ නැතුව වැඩේ ගොඩදාගන්න විදියක්. හැබැයි ඉතිං නිකං තියන්නෙපා කියල විතරක් කිවුවට හරි නැති නිසා අපි ඒ දේවල් පාවිච්චි කරන්නෙ කොහොමද කියලයි මේ කියන්න යන්නෙ. ඇත්තටම තමන් සතුව නිකං තියෙන මැෂිමක්, වාහනයක්, දේපොළක් එහෙම අවුවට කරවෙවී තියෙනවට වඩා අමතර ගාණක් එනවනං කොච්චර ෂෝක් ද? මේ කියන්න යන්නෙ ඒ ගැන.
1. ත්‍රීවීල්

Image Source – globalbajaj.com
පවුලේ සාමාජිකයන් තිදෙනෙකු සිටි කාලයේ මිලට ගත් ත්‍රීරෝද රථය විකුණා දැමුවේ නැතිද? මුලින් ත්‍රීරෝද රථය නවතා තැබූ තැනට අලුතෙන් පැමිණි මෝටර් රථය නිසා ත්‍රීරෝද රථය අවුවට කරවෙනවද? විකුණන්නට උත්සාහ කළත් කුණු කොල්ලයට ඉල්ලන නිසා විකුණන්නට අදහසක් නැතිද? රියදුරෙකු හරහා දිනකට රුපියල් දෙදහසක් ලබාදීමේ පොරොන්දුව පිට ඔබටත් ඔබේ ත්‍රීරෝද රථය ගමේ ත්‍රීවීල් පාක් එකට දාන්න පුළුවන්. එය ඔබ සිතනවාට වඩා අමතර ආදායමක් වගේම ඔබේ කෙටි ගමන් මෝටර් රථයට වෙන් නොකර පහසුවෙන් නොමිලේම සිදු කරගන්නත් ඒ නිසාම හැකියාව ලැබෙනවා.
2. ඉඩම්

Image Source – alamy.com
පරම්පරාවෙන් උරුම වෙච්ච ඉඩම් තියෙන අය, ඒවායේ කැළෑ වැවෙන්න දිදී තියාගෙන ඉන්නෙ කවදාහරි ලොකු ගාණකට විකුණන්න හිතාගෙන. කවදත් ඉහළ නැගගෙන ගිය නිසා තාම දැනෙන කාලෙක ලංකාවට සිද්ධ වෙලා නැතත්, ලෝක වෙළඳපොලේ පවා ඉඩම් මිල පහළ බසින අවස්ථා එනවා. එහෙම වුනත් නැතත් අනවසර පදිංචිකරුවන්ගෙ ප්‍රශ්න, කුණු විසිකරන ප්‍රශ්නවලින් මිදෙන්නත් එක්ක ඔබේ නිකරුණේ තියෙන ඉඩමෙන් අමතර ආදායමක් ගන්න ඔබටත් පුළුවන්. මඤ්ඤොක්කා වගේ වැඩි ලාභයක් දෙන වගාවක් කරන්නට, බදු දෙන්නට වගේම, ප්‍රධාන පාරක් අද්දර තැනක් නම් කාර් පාක් එකක් විදියට වුනත් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා.
3. තණකොළ කපන මැෂින්

Image Source – middleearthbusinesshouse.wordpress.com
මීටත් අමතරව ඔබේ නිවසේ තියෙන නොයෙක් විදිහේ මැෂින් රෙන්ට් කිරීමේ හැකියාව තිබෙනවා. උදාහරණයකට තණකොළ කපන මැෂින් උද්‍යාන වෙනුවෙන් රෙන්ට් කරන්නට වගේම, පොල් ගාන මැෂින් දාන ගෙවල්වලට රෙන්ට් කිරීමේ හැකියාව තියෙනවා. අපිට ඒ වෙනුවෙන් කිසිම කාලයක් වෙන් කිරීමටවත් අවශ්‍ය වෙන්නේ නැහැ. තාවකාලිකව එම රැකියාවේ නියැලෙන්නට කැමති අයෙකු පමණක් ගමෙන්ම සොයාගත්තානම් පහසුවෙන්ම ඔවුන් හරහා ඔබේ අතට මුදලක් එන විදියට වැඩ කටයුතු සලස්වාගන්නට පුළුවන්.
4. කාර්

Image Source – galletaxi.com
කසාදයක් බැන්දම වයිෆ් මුනු මුනු ගාපු නිසා කාර් එකක් ගත්තට ඔයත් ඒක සෙනසුරාදට විතරක් ස්ටාට් කරලා ඕෆ් කරන කෙනෙක්ද? එහෙමනං වයිෆ්ට හිත යටින් දොස් කිය කිය ඉන්නෙ නැතුව කාර් එක රෙන්ට් කරන්න පුළුවන්කම තියෙනව ඔයාටත්. ඇයි මනුස්සයො ඕනතරං ඉන්නව කාර් රෙන්ට් කරලා පදින්න බලාගෙන ඉන්න අය. ඕනම වාහනයක්, ඩ්‍රයිවර් කෙනෙක් එක්ක පික්මී හරි ඌබර් හරි දැම්මත් මාසෙකට හොඳ ගාණක් අතට ගන්නත් පුළුවන්නෙ.
5. වෑන්

Image Source – galletaxi.com
පවුලෙ ගොඩක් දෙනෙක් ඉන්න අය කාර් එකක් මදි හින්දා ගන්නව වෑන් එකක්. හැබැයි වෑන් එකේ ගමනක් යන්නෙ ඉඳලා හිටලා සති අන්තෙක විතරයි. දුර ගමනක් යන්නෙ ළමයින්ගෙ ඉස්කෝල නිවාඩුවකට. ඉතිං වෑන් එක දාන්නකො ස්කූල් සර්විස් එකකට. අත උඩින් ලාබයි වැඩේ. නිවාඩු මාසෙකට ගාණෙන් බාගයක් අයකරගෙන ඉන්නයි තියෙන්නෙ. නිවාඩු කාලෙ ට්‍රිප් යනකොට ඉස්කෝලත් නිවාඩු නිසා ප්‍රශ්නෙකුත් නැහැනෙ. ඉස්කෝල ළමයි වෑන් එක විනාස කරයි කියල හිතෙනවනං වෑන් එක දාන්නකො ස්ටාෆ් සර්විස්. ෆුල් ගමන යනකංම නිදාගෙන යන නෝනලා මහත්තුරුනෙ ඉන්නෙ.
6. වාහනයක් නැති ගරාජ් ඉඩක්

Image Source – maa-sharda-tuition-classes.business.site
හදපු ගෙයක් ගන්නකොට ඒ ගෙදර ලොකු ගරාජ් එකක් තිබුනද? දැන් ඒකෙ නිකංම ලී කෑලි පුරවලද? ගෙදරට වාහනයකුත් නැති නිසා වේලි වේලි තියෙන ඉඩෙන් හොඳ ගාණක් උපයාගන්න පුළුවන් විදියක් තමයි මේ කියන්න යන්නෙ. ලී මේස බංකු ටිකක් ගහලා කැම්පස් කොල්ලෙක්ව අල්ලගෙන දාන්න ක්ලාස් එකක්. නිකං ටීවී බල බල ඉන්න වෙලාවෙ කාඩ් මාක් කළත් පාඩු නැහැනෙ.
7. කාමර කෑල්ලක්

Image Source – timerealty.biz
ගෙදර තියෙන පොඩි කාමර කෑල්ලට භූතයො අරක් ගන්නකං ඔහේ වහලා දාලා තියන්නෙ නැතුව ඒක බෝඩිමක් හොයන කොල්ලෙකුට හරි කෙල්ලෙකුට හරි පොඩි ගාණකටවත් දෙන එක වටින වැඩක්. යුරෝපයේනං එහෙම හිස් කාමරයක් රෙන්ට් නොකර තියාගෙන ඉන්නවට ආණ්ඩුවෙන් ඇක්ෂන් පවා ගන්න කතාවක් තියෙනවා. ඇත්තටම ඉතිං නිකං කාමර පුරවගෙන ඉන්නවට වඩා රටේ තියෙන ඉඩ ප්‍රශ්නෙටයි, තමුන්ගෙ තියෙන ආර්ථික ප්‍රශ්නෙටයි දෙකටම විසඳුමක් එක ගලෙන් හොයාගන්න පුළුවන් එක කොච්චර දෙයක්ද?
Cover Image Source – whipcar.com/ ed.stanford.edu
Leave a Reply