ලෝක ආහාර දිනය අදයි! අද සිට ආහාර අපතේ යැවීම වළක්වන්නට සිතා ගමු!!

Food waste

ලෝක ආහාර දිනය යෙදී තිබෙන්නේ අදටයි. ඇත්තටම අපිට කොහෙන් හරි බඩගිනි වෙලාවට කෑම ටිකක් ලැබෙනවනේ. ඒ නිසාම අපිට දැනෙන්නේ නැති දෙයක් තමයි ඇත්තටම ආහාර නැතුව, ආහාර හිඟයකින් ජීවත් වෙන්න වෙන එක කොහොමද කියන එක. නියම විදියේ සාගින්නකින් ජීවත් වෙන්න අපිට සිද්ධ වෙලා නැහැ. ඒ නිසාම ගොඩක් දෙනෙක්ට ආහාර වල අගය දැනෙන්නේ නැහැ කියන එකත් වැරදි නෑ. හැබැයි ලංකාව ඇතුළේ වුනත් ජීවත් වෙනවා වේලක් ඇර වේලක් කාලා ජීවත් වෙන පවුල්. ඊළඟ කෑම වේල සපයාගන්නේ කොහෙන්ද කියලා කල්පනා කරන පවුල්. ඉතින් අපි නාස්ති කරන, ඉවත ලන ආහාර ඇබින්දක් වුනත් අපරාදයක් කියන එක අහන්නත් දෙයක්ද? අන්න ඒ නිසා අපි හැමෝම පුරුදු පුහුණු වෙන්න ඕන දෙයක් තමයි ආහාර පාන නාස්ති නොකර පරිභෝජනය කරන්නේ කොහොමද කියන එක. අපේ අතීතයේ හිටපු මුතුන් මිත්තෝ නම් ආහාර අපතේ යන්න දුන්නේ නැහැ කියලා ඉතිහාසයේ කියැවෙනවා. ඒ නිසා අපිත් මේ ලෝක ආහාර දිනය දවසේ හිතට ගන්න ඕන අද ඉඳන් හරි ආහාර නාස්තිය අවම කරන්න පියවර ගන්න. මේ ඒකට උපදෙස් කීපයක්!

 

1. හරියට ෂොපින් කරමු

Food waste

Image Source – fumcdurango.org

ආහාර නාස්ති වීම වළක්වන එක පටන් ගන්නේ ඇත්තටම ෂොපින් කරන තැන ඉඳලා තමයි. ගොඩක් වෙලාවට මේක වෙන්නේ ආහාර පාන අමුද්‍රව්‍ය ගැන නොදන්නා කෙනෙක් අතින් තමයි. උදාහරණයක් විදියට ගත්තොත් බිත්තර. ෆ්‍රිජ් එකේ හරි විදියට අසුරලා වුනත් බිත්තර කල් තියාගන්න පුලුවන් වෙන්නේ සාමාන්‍යයෙන් සති දෙකක් විතර තමයි. එතකොට කෙනෙක් මාසෙටම කන්න බඩු ගේනවා කියලා මාසෙටම සෑහෙන්න බිත්තර ගත්තොත් මොකද වෙන්නේ? ඒකෙන් කොටහක් මාසේ අන්තිම වෙනකොට අහක දාන්න වෙනවා. එළවලු පළතුරු වගේ දේවලටත් ඔය සන්තෑසියම තමයි. ෆ්‍රිජ් එකේ දාලා වුනත් දවස් ගණන් තියාගෙන කන්න ගන්න බැහැ. අන්න ඒ නිසා කෑම බීම අමුද්‍රව්‍ය මිලදී ගන්න ෂොපින් කරන්න කලින් අවශ්‍ය කරන ද්‍රව්‍ය ලිස්ට් එකක් හදන එක වැදගත්. ඒ ලිස්ට් එකට අවශ්‍ය දේවල් වගේම අවශ්‍ය ප්‍රමාණයත් සඳහන් කරන එක වැදගත්. ඒ ප්‍රමාණය සඳහන් කරන්න ඕන හැබෑ ලෙසම කල් තියාගෙන, සම්පූර්ණයෙන් පරිභෝජනය කරන්න පුලුවන් උපරිම ආහාර ප්‍රමාණය ගැන හිතලා. වැඩිපුර ගේන්න අවශ්‍ය නෑ.

 

2. කල් ඉකුත් වීමේ දින බලලා ආහාර මිලදී ගමු

Food waste

Image Source – healthline.com

ඔය පැකට් කරපු ආහාර වර්ග එහෙම ගන්නකොට කල් ඉකුත් වීමේ දිනය බලන පුරුද්ද හැමෝම අතරේ නෑ. ගොඩක් දෙනෙක් බඩු ටික ගත්තා, ආවා මිසක් ඔය වගේ දේවල් ගැන අවධානය යොමු කරන්නේ නෑ. හැබැයි ඉතින් කඩේක වුනත්, සුපර් මාකට් එකක වුනත් තියෙන්න පුලුවන් කල් ඉකුත් වෙන්න ආසන්න වුණු ආහාර පාන. උදාහරණයක් විදියට ගත්තොත් අපි කල් ඉකුත් වෙන්න සතියක් තියෙන කෝඩියල් බෝතලයක් ගෙදර ගෙනාවා කියලා දෙවේලට කෝඩියල් හදලා බොන්නද? ඉතින් ඒක අපරාදේ. කෙනෙක් කියන්න පුලුවන් කෝඩියල් බෝතලේ කඩේ තිබුණත් අපරාදේ තමයි කියලා. හැබැයි ඉතින් මෙතනදී අපි බලන්නේ අපිට පුද්ගලිකව සිද්ධ වෙන පාඩුව ගැන. ඒ නිසා කොහොම වුනත් කල් ඉකුත් වීමේ දින බලලා බඩු ගන්න එක හොඳ පුරුද්දක්.

 

3. එදිනෙදා අවශ්‍ය ප්‍රමාණයට ආහාර පිසිමු

Food waste

Image Source – goingzerowaste.com

මේකත් සිද්ධ වෙන්නේ හරි හැටි මුළුතැන්ගෙයි කටයුතු ගැන දැනුමක් නැති ආධුනික කුක් කෙනෙක් අතින් තමයි. සාමාන්‍යයෙන් කීප දෙනෙක් ඉන්න පවුලකට වුනත් ආහාරයට ගන්න පුලුවන් ප්‍රමාණයක් තියෙනවනේ. සමහර වෙලාවට එහෙම ප්‍රමාණයට ඉවුවත් කෑම ඉතිරි වෙනවා. එහෙම වෙලාවක ෆ්‍රිජ් එකේ දාලා තියලා, ඊළඟ වේලට රත් කරලා ගන්න පුලුවන්. හැබැයි ප්‍රශ්නය මේකයි. හැම කෑමක්ම එහෙම හීලට කන්න බෑ. ඉතාම ඉක්මනට පිලුණු වෙන්න තියෙන ඉඩ වැඩියි. එතකොට මැල්ලුමක් වගේ දෙයක් ෆ්‍රිජ් එකේ තියලා කන්න කොහොමත් බැහැනේ. ආන්න ඒ නිසා හරියටම ප්‍රමාණයට උයන සාස්තරේ ඉගෙන ගන්න ඕන.

 

4. ෆ්‍රිජ් එකේ දවස් ගණන් කෑම තියාගන්නෙ නැතුව ඉමු

Food waste

Image Source – inddist.com

සාමාන්‍යයෙන් ගෙදරක උයන පිහන කොට ඉඳලා හිටලා හරි කෑම ඉතුරු වෙනවා. එතකොට අපි කරන්නේ ඒක ෆ්‍රිජ් එකට දාන එකනේ. හැබැයි ඉතින් ගොඩක් දෙනෙක්ට සිද්ධ වෙන දෙයක් තමයි ඉන් පස්සේ ෆ්‍රිජ් එකේ එහෙම දෙයක් තියෙනවා කියලා අමතක වෙන එක. විශේෂයෙන්ම ෆ්‍රිජ් එක ෆුල් පැක් වෙලා නම් ඕක වෙන්න තියෙන ඉඩ සෑහෙන්න වැඩියි. ඉන් පස්සේ එක්කෝ වෙන මොනවා හරි ගන්න යනකොට තමයි ඔය ලෙෆ්ට් ඕවර් ටික අහුවෙන්නේ. නැතිනම් නරක් වෙලා ෆ්‍රිජ් එකම ගඳ ගහනකොට. කොහොම වුනත් ඉතින් එතන වෙන්නේ නාස්තියක්. ආන්න ඒ නිසා හැම මොහොතකම වැඩිපුර ඉතිරි වෙන කෑම ටිකක් ෆ්‍රිජ් එකට දානවා නම් කරුණාකරලා ඒක මතක තියාගෙන ඉඳලා ඊළඟ ආහාර වේලට ඒක යොදාගන්න. දවස් ගණන් අමතක වෙලා හරි අමතක නොවී හරි ෆ්‍රිජ් එකේ නරක් වෙන්න දෙන්න එපා.

 

5. හීල් කෑම වලින් අලුත් රෙසිපි

Food waste

Image Source – delish.com

හීල් කෑම කනවා කියන්නේ සමහරුන්ට මාලු පිණි නිකම්ම රත් කරලා ඊළඟ වේලට ගන්න එක. නැත්නම් පොඩි මික්ස් එකක් දාලා කන එක. ඔය ෆ්‍රයිඩ් රයිස් එහෙම හදනකොට එහෙමනේ. හැබැයි ඔතනින් තව එහා ගියපු රසවත් රෙසිපි තියෙනවා හීල් කෑම වලින් ට්‍රයි කරන්න පුලුවන්. උදාහරණයක් විදියට කැකුළු බත් ඉතුරු වුනා කියමු. කරන්න තියෙන්නේ රෑට ඒක වතුර එකක දාලා තියන එක. උදේට ඒක මිරිකලා ගත්තා, ලුණු, සීනි, පොල් කිරි එක්ක කෙසෙල් ගෙඩි කීපයක් කපලා දාගත්තා. ඔන්න තියෙනවා බොහොම පෝෂ්‍යදායී, රසවත් දියබත්!

අපි කියමු පාන් ගෙනැත් ඉතුරු වුනා කියලා. ඒක දවසක් හෝ දෙකක් පරණ වුනොත් කරන්න තියෙන්නේ ෆ්‍රෙන්ච් ටෝස්ට් හදන එක. කිරිවල දවටලා ටෝස්ට් කරලා ගත්තට පස්සේ දිව්‍යලෝක රස පරාදයි. එහෙම නැතිනම් පාන් පුඩිමකට එහෙමත් පරණ පාන් ගන්න පුලුවන්.

එතකොට ඉතුරු වුණු මාළු කබලේ දාලා ටෝස්ට් කරලා උම්බලකඩ වගේ වෙනත් කෑමක් එක්ක කන්න ගන්න පුලුවන්. ඉතුරු වෙන බත් වේලලා අරගෙන, කුඩුකරලා අග්ගලා හදන්න ගන්න පුලුවන්.

 

6. හරි තැන් වල කෑම අසුරමු

Food waste

Image Source – logitronicengineering.wordpress.com

හරි තැන්වල කෑම අසුරන එකත් ආහාර නාස්ති වෙන එක වළක්වා ගන්න අනුගමනය කළ යුතුම ක්‍රමයක්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අර අපි උඩින් කියපු විදියේ මුළුතැන්ගෙයි පළපුරුද්ද නැති කෙනෙක් දන්නෙ නෑ, හරි විදියට කෑම කල් තියාගන්න කොහොමද කෑම බීම අසුරන්න ඕන කියලා. ඒ කියන්නේ සමහර කෑම ජාති තියෙනවා සුළං නොවදින්න අසුරන්න ඕන. සමහර කෑම ජාති අඩු සීතලක තමයි තියන්න ඕන. උදාහරණයක් විදියට එළවලු. ගොඩක් වෙලාවට පොල් කිරි එහෙම අසුරන්න ඕන අධිශීතකරණයේ. මේ වගේ දේවල් එක්කෝ අම්මගෙන් තාත්තගෙන් වගේ දන්න කෙනෙක්ගෙන් අහලා දැනගන්න ඕන. එහෙම නැතිනම් පළපුරුද්දෙන් දැනගන්න ඕන. කොහොම වුනත් හරි විදියට ආහාර පාන අසුරන එක, ශීතකරණයට හැම දේම දාන්නේ නැතුව අවශ්‍ය තැන අසුරන එක, කූඹි හෝ කැරපොත්තෝ හෝ හූනෝ වගේ සත්තුන්ට යන්න බැරි විදියට ආහාර අසුරන එක අනිවාර්යයි. ඒකෙන් සෑහෙන්න ආහාර නාස්තිය මග හරවා ගන්න පුලුවන්.

 

7. කෑම කල් තබාගන්න ක්‍රම අනුගමනය කරමු

Food waste

Image Source – piktag.com

අපිට කෑම කල් තියාගන්න මොනතරම් ක්‍රම තියෙනවද? සාම්ප්‍රදායික ක්‍රම වගේම නවීන ක්‍රමත් ඕනෑ තරම් තියෙනවා. උදාහරණ විදියට පෙන්නුවොත් අ‍ටු කොස්, අ‍ටු දෙල්, ලුණු දෙහි, වේලා ලුණු දමපු අඹ, වේලා ලුණු දමපු බිලිං, අච්චාරු, වම්බ‍ටු මෝජු… මේ වගේ දීර්ඝ ලැයිස්තුවක් දෙන්න පුලුවන්. ඒ වගේම එළවලු ජාති ගොඩක් ඒවා තියෙනවා විනාකිරි වල දාලා කල් තියාගන්න පුලුවන්. මේක ආර්ථිකමය අතිනුත් හොඳයි. යම් කිසි පළතුරු වාරයක වැඩිපුර ඉතුරු වෙන පළතුරු නරක් වෙලා විසික් කරන්නේ නැතුව දීර්ඝව කල් තියාගන්නත් පුලුවන්. නාස්තියත් මග ඇරෙනවා.

 

8. වැඩිපුර කෑම අවශ්‍ය අයට දෙමු

Food waste

Image Source – buzzfeed.com

දැන් අපි කියමු ගෙදරක පාටි එකක් එහෙම දැම්මා කියලා. පාටියට හදපු, ගෙනාපු කෑම බීම සම්පූර්ණයෙන්ම අවසාන වෙන්නේ කලාතුරකින්. කෑම බීම මදිවෙන්නේත් කලාතුරකින්. හැබැයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන දෙයක් තමයි පාටියට හදපු, ගෙනාපු කෑම බීම ඉතුරු වෙන එක. දැන් ඒ ඉතුරු වුණු කෑම බීම වලට කරන්නේ මොකද්ද? ගෙදර නෑදෑයෝ මිතුරෝ එකතු වෙන පාටියක් නම් ඒ අයට ගෙනියන්න පාර්සල් කරලා දෙන්න පුලුවන්. ඒකෙන් තවත් වේලක් පිරිමැහෙනවනේ. හැබැයි එහෙම නැතිනම් කරන්න තියෙන්නේ ඒ කෑම බීම ප්‍රයෝජනයට ගන්න බැරි තත්ත්වයට පත් වෙන්න කලින් වහාම අවශ්‍ය අයට ලබාදෙන එක. ඒ කියන්නේ ළමයි ඉන්න නිවාසයක්, වැඩිහිටියෝ ඉන්න නිවාසයක් වගේ තැනක් වුනත්, යාචකයෝ පිරිසක් ඉන්න තැනක් වුනත් ‍තෝරගන්න පුලුවන්. වැදගත් වෙන්නේ මේ ඉතිරි වුණු ආහාර පාන නරක් වෙලා යෑම හෝ වළ දැමීම හෝ කුණු ගොඩට දැමීම සිද්ධ නොවී, ඒකෙන් තවත් කෙනෙක්ගේ වේලක් පිරිමහගන්න පුලුවන් වෙන එක. අන්න එතකොට සතු‍ටු වෙන්න පුලුවන් පාටිය දාලා කෑම බිඳක්වත් අපතේ ගියේ නැහැ කියලා.

මේ විදියේ ස්වේච්ඡා සේවාවක් ඉෂ්ට කරන කණ්ඩායම් දෙකක් ගැන අපිට සඳහන් කරන්න පුලුවන්. ගෙදර හරි හෝටලයක හරි පාටියක් එහෙම දාලා, කෑම සෑහෙන්න ඉතිරි වෙලා නම්, ඒවා හොඳ තත්ත්වයේ තියෙන අතරේම මේ අයව සම්බන්ධ කරගෙන බලන්න. එතකොට වේලක් කන්න නැති කෙනෙක්ගේ කුස පුරවන්නත් පුලුවන්. කෑම නාස්තිය වළක්වා ගන්නත් පුලුවන්.

 

We Give Stuff Away

Robin Hood Army Sri Lanka

 

එහෙමනම් මේ ලෝක ආහාර දිනය දවසේ ඉඳන් හිතාගමු ආහාර පාන නාස්තිය හැකි තරම් වළක්වා ගන්නවා කියලා. අපි නාස්ති නොකරන එක කෑම වේලක් කියන්නේ කුසගින්නේ ඉන්න පවුලක කුසගිනි නිවන වේලක් කියන එක අමතක කරන්න එපා!

zvr
Your Reaction

Comments