උත්සව අවස්ථාවකදී පහසුවෙන්ම සැරසෙන්න පුළුවන් ලස්සන සාරි විලාසිතා 7ක්

සාරි විලාසිතා කියන්නේ අපේ යුවතියන් අතර ඉතාම ජනප්‍රිය දෙයක්. විශේෂයෙන්ම උත්සව අවස්ථාවන් වලට සැරසෙන්න යුවතියන් වඩාත්ම ආසා කරන්නේ සාරි විලාසිතාවකින්. ඉතින් සාමාන්‍යයෙන්  අපි සැරසෙන සාරි විලාසිතාව හැරුනාම ඉතාම ලෙහෙසියෙන් වගේම ඉක්මණින් සාරියෙන් සැරසෙන්න පුළුවන් විධි ගැන අපේ තරුණියෝ හරිම විමසිලිමත්. ඒ නිසාම අද අපි ඔබට ලෙහෙසි පහසු වගේම අලංකාර සාරි විලාසිතා කිහිපයක් ගෙනෙන්නට සිතුවා. බලන්න එකම සාරියෙන් මේ  වගේ විවිධ ආකාරයට සැරසෙන්න පුළුවන් බව ඔබ දැනසිටියාද කියලා…

 

1. Front Pallu Style

ඔබේ සාරිය හොඳ වර්ක් එකක් සහිත ඉදිරිපස පල්ලුව සහිත සාරියක් නම් මෙම විලාසිතාව ඉතා හොඳ විකල්පයක්. සාමාන්‍ය ආකාරයටම සාරිය අඳින්න. ඉන්පසුව පල්ලු කොටස සාමාන්‍ය පරිදිම ඉදිරිපසින් රැගෙන උරහිස මතින් වෙනුවට ඔබගේ වම් අත යටින් දමා, වම් උරහිසෙන් සාරි පොට ඉදිරියට ගෙන කටු ගසා ගන්න. අවසානයේ එය පින්තූරයේ පෙනෙන ආකාරයේ විය යුතුයි. මෙය ඉතා ආකර්ෂණීය පෙනුමක් ලබා දෙන විලාසිතාවක්.

 

2. Neck Wrap Style

බෙල්ල වටේට සාරි පොට යවලා සැරසෙන මේ විලාසිතාවත් හරිම අලංකාරයි. මේ විලාසිතාවට වඩාත් ගැලපෙන්නේ ටිකක් විවෘත සාරි ජැකට්ස්. කොණ්ඩයට ගැලපෙන්නෙ ඉහළට දැමූ විලාසිතාවක්. පෞරුෂය ඔප් නංවන මෙම විලාසිතාව ටිකක් විතර භයානකයි කිව්වත් වැරදි නැහැ. මොකද සාරි පොට කරවටේ යවන නිසා බෙල්ල හිර කරගන්න නම් එපා. මේ විලාසිතාවෙන් සැරසෙන වෙලාවට තමන්ගේ විලාසිතාව ගැන විශ්වාසයකින් යුතුව හැසිරෙන්නත් ඕන.

 

3. Lehenga Saree

මෙම විලාසිතාව අපේ තරුණියන් අතර ඉතාම ප්‍රසිද්ධයි. ඔබට මෙම විලාසිතාවෙන් සැරසෙන්න උවමනා නම් අලුතින්ම සාරියක් මිලදී ගැනීමට කොහෙත්ම අවශ්‍ය නැහැ. ඔබේ වැඩදමා තියෙන සාරියක් වුනත් ලෙහන්ගා එකක් බවට පත්කර ගන්න පුළුවන්. ඔබේ සාය වටා සාරිය වරක් යැවූ පසු කුඩා කුඩා ප්ලීට්ස් තියන්න පටන් ගන්න. ප්ලීට්ස් අතර දුර කුඩා හා සමාන වෙන තරමට ලෙහන්ගා සාරිය අලංකාරයි. ඉන වටේටම කුඩා ප්ලීට්ස් තබාගත් පසු ඉතිරි වන පල්ලු කොටස ඔබේ දකුණු උරහිස මතින් ඉදිරියට ගෙන වම් ඉන අසළින් සායට තබා කටු ගසා ගන්න.

 

4. Half Saree Style

සම්පූර්ණ සාරියක් අර්ධ සාරියකට හරවාගෙන ඉන් සැරසෙන්න අවශ්‍ය නම් මෙන්න කදිම විලාසිතාවක්. මෙම විලාසිතාවෙන් ඔබව සිහින් කර පෙන්වනවා වගේම තරුණ පෙනුම රැකදෙන විලාසිතාවක්. සාමාන්‍ය ආකාරයටම සාරිය ඇඳ, සාරි පොට වම් උරහිස මතින් පිටුපසින් ඉදිරියට ගෙන, එහි දකුණු කොන හොඳින් පිටුපසින් ඇද වම්පසින් ගෙන ඉදිරියෙන් තබා කටු ගසන්න.

 

5. Easy Bengali Style

මෙන්න ඔබට තවත් අලුත්ම විලාසිතාවක්. බෙන්ගාලි සාරි විලාසිතාවක් ටිකක් අලුත් විදිහට. සාමාන්‍ය ආකාරයට සාරිය ඉන වටේ රඳවාගෙන ඉදිරිපස රැලි ටික ඉනේ පළලටම වන්න රැලි තුන හතරක් පමණක් තබා ගන්න. අවසානයට තියන රැල්ල දකුණු පසින් අවසන් කර සාමාන්‍ය සාරි පොට දමන විදියටම සාරි පොට නවාගෙන තරමක් බුරුලට හිටින්න වම් උරහිසින් පිටුපසට දමා කටු වලින් රඳවගන්න. සාරි පොට දකුණු උරහිස මතින් ඉදිරියට ගෙන පොටේ රැලි දිග හැරගෙන හෝ දිග නොහැරම දකුණු උරහිස මත කටු ගසා රඳවාගන්න.

 

6. Double Drape

Mumtaj Saree විලාසිතාවට ඇලුම් කරන නමුත් ඉන් සැරසී ඇවිදින්න අපහසු වෙයි කියලා හිතන ඔබට මෙන්න විසඳුමක්. සාමාන්‍ය පරිදිම සාරිය ඇඳ 3/4 ක් පමණ දිග තිබියදී සාරිය ඔබේ ඉන වටා රවුමක් ගෙනියන්න. මේ පළමු වටයයි. මෙය ගොඩාක් තදින් නොගන්න. දැන් සාමාන්‍ය පරිදිම ඔබේ දකුණු අත යටින් සාරිය ගෙන වම් උරහිස මතින් මුදාහරින්න. මේ දෙවන වටයයි. මෙම විලාසිතාව ඔබව සිහින් කර පෙන්වනවා මෙන්ම ඔබට වැඩි උසක් ලබා දෙන්න සමත් වෙනවා. ඔබ වඩාත් ආසා කරන Mumtaj Saree  විලාසිතාවේ පෙනුම මේ මගින් ඔබට ලබා ගන්න පුළුවන්.

 

7. Coorgy Twist Style

කලින් වගේම ඉතාම පහසු විලාසිතාවක් තමයි මෙයත්. මෙහිදීත් සාරිය සාමාන්‍ය පරිදිම අඳින්න. පල්ලු කොටස ඔබේ ඇඟ වටා ඔතා, කටු ගසා රඳවා ගන්න. පසුව පල්ලු කොටස වම් උරහිස මතින් ඉදිරියට ගෙන, අලංකාරව ප්ලීට්ස් තබා රඳවාගෙන සැරසෙන්න.

 

ඉතින් අද අපි ඔබට ඉදිරිපත් කළේ ඉතාම සරල හා ඔබට තනිවම ඉතා පහසුවෙන් සැරසිය හැකි සාරි විලාසිතාවන් කිහිපයක්. ඔබත් උත්සාහ කරලා බලන්නකො එහෙනම්.

Cover Image Source – womenfitness.com / rediff.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *