“දරුවන්ට ආදරේ නිසයි හොඳම දේ එයාලට දෙන්නේ” යැයි දෙමාපියන් කීවද අපිට අද වෙළඳපොලෙන් මිලදී ගන්නට ලැබෙන බොහෝ දේ හොඳම ඒවාදැයි සැක සහිතය. එළවලු පළතුරු ටිකට පවා විෂ රසායන කවා එන්නත් කර වෙළඳපොලට එයි. වැඩිහිටියන්ට කෙසේ වෙතත් දරුවන්ට කන්නටවත් ගෙදර පළතුරු ගහක් දෙකක් වවාගන්නට හැකිනම්, එය හොඳය. නාගරික තට්ටු නිවාසවල සිටින අයට ඒ වාසනාව නැතත් එක් පළතුරු පැලයක් හෝ සිටුවාගැනීමේ ඉඩ පහසුව බොහෝ දෙනාගේ ගෙවත්තේ තිබේ.
1. පැපොල් (ගස්ලබු)

Image Source – en.dailypakistan.com.pk
පැපොල් යනු ආහාර දිරවීම පහසු කරවීමට ගත හැකි හොඳ ලාභදායී පළතුරකි. කඩෙන් ගන්නා පැපොල් ගෙඩියක් ඇතැම් කලෙක රුපියල් දෙතුන් සීයක් දක්වා මිලකට ඉහළ යනු ලැබේ. ගෙදරම පැපොල් ගස් කිහිපයක් වවාගන්නට ලොකු අපහසුවක් නැත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හඳුන්වා දී ඇති රත්න නම් පැපොල් විශේෂයේ මදය රතුපාටය, එය ඉදුණු පසු ටික කලක් තබාගන්නට ද හැකිය. එසේම කුඩා ගෙඩි සහිත මැලේෂියන් මාදිලියේ පැපොල්ද වෙළඳපොලේ ජනප්‍රිය වී තිබේ. පැපොල් ඇට පොඩි තවානක හෝ පෝච්චියක දමා පැල කර, අඟල් හත අටක් උසකට වැවෙන්නට වූ කල, ලොකු වලක් කපා, පෝර පුරවා එහි පැපොල් ගස සිටුවිය යුතුය. පැපොල් ගස් අතර පරතරය මීටර 2-3ක් තබාගැනීම වටී.
2. දොඩම්

Image Source – clairegibsonphotography.com
දොඩම් වල වර්ග කිහිපයකි. දරුවන්ට සෙමට දීමට ආයුර්වේද බෙහෙත් ආදිය සඳහා යොදාගන්නේ ඇඹුල් දොඩම්ය. ඇඹුල් දොඩම්ද යහමින් සීනි දමා සිසිල් කර තැනූ කල රසවත් පානයකි. සිට්රස් කුලයේ ශාකයන් වන දෙහි, දොඩම් ආදිය වැවෙන්නේ වියළි කලාපයේය. තෙත් කලාපයේ සහ කඳුකර පැතිවල දොඩම් වගාව තරමක් අපහසුය. පැණි දොඩම් ඇට කිහිපයක් රැගෙන සෝදා, වේලා ඉන් පසු බඳුනක සිටුවාගත යුතුය. මදක් ගස් වැඩුන පසු භූමියේ කැපූ වලක් තුළ සිටුවාගත හැකිය.
3. ජම්බු

Image Source – youtube.com
හොඳට ජම්බු හැදුණු ගහක් යනු පොඩි දරුවන්ට සතුටු හිතෙන දසුනකි. ඇරත් ජම්බු පිරුණු ගහක් යනු ගෙවත්තට ආලෝකයකි. රතු ජම්බු, වැලි ජම්බු, පිණි ජම්බු, රට ජම්බු ආදී ජම්බු වර්ග කිහිපයක්ම තිබේ. ජම්බු ලෝකයට එන්නේ අන්දමන් සහ නිකොබාර් දුපත් වලිනි. ජම්බු ගස උඩරට, පහතරට, මැදරට භේදයක් නැතිව රටපුරාම සරුවට වැවේ. එහෙත් දැඩි නියං සහිත හම්බන්තොට, පුත්තලම පළාත් වලට ජම්බු නොගැලපේ. ජම්බු ගස වගාවෙන් පසු කප්පාදු කිරීමෙන් නියමිත උසකදී වැඩි ඵලදාවක් ලබාගත හැකිය.
4. දිවුල්

Image Source – commons.wikimedia.org
වියළි කලාපයේ වැවෙන දිවුල් වවනවාදැයි ඇතැමෙකුට ඇතිවිය හැකි ප්‍රශ්නයකි. අපිට අද වෙළඳපොලේ හොඳින් ඉදී, ගහෙන් වැටුන රසම රස දිවුල් ගෙඩියක් සොයාගන්නට අපහසුය. තිබුණද, පැරණි වී ගිය අමු දිවුල්ද ඒ දිවුල් සමඟ අපේ මල්ලට වැටේ. පැඟිරි කුලයට අයත් දිවුල්ද කටුක පරිසරයේ කට්ට කාගෙන වැඩීමට සමත් ගසකි. මීටර 450ට අඩු භූමි මට්ටම් වලදී සාර්ථකව වැවෙන දිවුල්, වැලි පසක වුව සාර්ථකව වැවේ. දිවුල් මුල් මගින්ද, ඇට මගින්ද පැළ කරගත හැකිය. හොඳ ගසකින් බද්ධ කිරීම මගින් ලබාගන්නා දිවුල් පැළයක් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා දේ.
5. අඹ

Image Source – yumsome.com
තිබෙන, වැවෙන වර්ග සංඛ්‍යාව අතරින් අඹ තරම් වූ වර්ග සහිත පළතුරක් ලංකාවේ නොමැති තරම්ය. එතරම් අඹ වර්ග ගණනක් විවිධ පළාත් වල පැතිරී පවතී. පෙට්ටි අඹ, යාපනේ අඹ, ගිරා අඹ, සීනි අඹ, කොහු අඹ, කර්තකොලොම්බන් ආදී අඹ වර්ග රැසක් අපේ ගම් වල එදා තිබුණි. ගෙදරක අඹ ගස එකල නම් සිටවූවාට වඩා ඉබේ පැළවූ ඒවා විය. කර්තකොලොම්බන්, විලාඩ්, මල්වාන, පෙට්ටි අඹ, ගිරාඹ ආදී වශයෙන් ජනප්‍රිය අඹ වර්ග සාර්ථකව ඒ ඒ පළාත්වලදී වැවේ. අඹ වගාවේදී මුල් කාලසීමාවේදී පැළයට වතුර යහමින් යෙදීම අවශ්‍ය වේ. අඹ වගාවක් ලෙස සිදුකරන්නේ නම්, රසායනික පොහොර යෙදීමෙන් ඵලදාව ඉක්මන් කරගත හැකිවාක් මෙන්ම, ලැබෙන අස්වැන්නද වැඩි කරගත හැකිය.
6. රඹුටන්

Image Source – youtube.com
රඹුටන් ගසක් දෙකක් වවාගැනීම නම් ගෙදරට අමතර ආදායමක්ද ලබාගත හැකි සරුසාර මගකි. වර්ෂාපතනය වැඩි, තෙත් කලාපීය මුහුදු මට්ටමේ සිට අඩි 500 සීමාවේ රඹුටන් හොඳින් වැවේ. ගස් අතර පරතරය මීටර 10ක්වත් විය යුතු අතර අඩි දෙකක් ගැඹුරු, පළල සහ උස වූ වලවල් පුරවා රඹුටන් පැළ සිටුවීම කළ යුතුය. රඹුටන් පැළ ලබාගැනීමට සාර්ථකම ක්‍රමය බද්ධ පැළ හරහා බෝ කරගැනීමයි. මල්වාන, මැලේෂියන් රතු, ජාවා ස්පෙශල් ආදී වර්ග කිහිපයකම රඹුටන් ලංකාවේ වගාකළ හැකිය.
7. කෙසෙල්

Image Source – youtube.com
ලංකාවේ ජනතාව වැඩිපුරම ආහාරයට ගන්නා පළතුර වන්නේ කෙසෙල්ය. කෙසෙල් වර්ග ගණනාවක් තිබේ. එයින් ආනමාලු, ඇම්බුන්, සීනි කෙසෙල් වැනි කෙසෙල් වර්ග තෙත් කලාපයට උචිත වේ. උයන පිහන ආහාරයක් වශයෙන්ද කෙසෙල් ගන්නා අතර කිතල, ඇටමරු ලෙස එම කෙසෙල් වර්ග දැක්වේ. මනා ජල වහනයක් ඇති බිමක සාර්ථකව වැවෙන කෙසෙල්, නිවසේ ජලය ගලායන තැනක වුවද වවාගත හැකිය. ස්වාභාවික කෙසෙල් පඳුරකින් ගලවාගන්නා පැළ, කෙසෙල් පැළයක් ලබාගත හැකි ලේසිම ආකාරය වේ. තරමක් විශාල වලක් පුරවා එහි කොම්පෝස්ට් පස් පිරවීමෙන් පසු කෙසෙල් පැළයක් එහි රෝපණය කරගත හැකිය.
කෘත්‍රිම පාන්පිටි, තෙල්, මාංශ මෙන්ම අපේ ආහාර වේලට නැවුම් එළවලු පළතුරුද අවශ්‍යය. පිටරට මාස ගණන් නැව් වලින් පැමිණ තවත් කාලයක් ශීත ගබඩා වල තිබෙන ලස්සන පළතුරු වලට වඩා, ගෙදර වවාගෙන කන පළතුරු අපිට විශ්වාසය. වවපු වගාවක් රූපවාහිනියෙන් නරඹනවා තරම් වැවීම පහසු නැත. එහෙත් අමාරුවෙන් හරි වවාගතහොත් එහි වාසිය ලැබෙන්නේ අපටමය.
Cover Image Source – youtube.com
Leave a Reply