සිංහල ගීතයේ විෂය පථය ගත්තොතින් සෑහෙන ලොකුයි. ආදරය කියන මාතෘකාව අස්සේම වෙන්න පුළුවන් දේ සහ නොවෙන දේවල් රාශියක් ගැන නිර්මාණය වුණ කතා තියෙනවා. සාමාන්‍යයෙන් ආදර සම්බන්ධයක් තියෙන්නේ දෙන්නෙක් අතරයි. තුන්වැන්නෙකුගේ පැමිණීම කියලා කියන්නේ තුන්දෙනෙකු අතර වෙන සම්බන්ධය නෙවෙයි. තුන්වැන්නෙක් ඇවිල්ලා කලින් සඳහන් කරපු දෙන්නගෙන් එක්කෙනෙක්ව ඩැහැ ගන්න කුරුමානම් ඇල්ලීම. එහෙමත් නැත්නම් දෙන්නගෙන් එක්කෙනෙක්ගේ හිත වෙනත් කෙනෙක් සතුවීම. ඉතින් ඒ ගැනත් ලියවුණු ගීත තියෙනවා. මේ ඒ අතරින් කීපයක්.
1. රන් කෙන්දෙන් බැඳ

Image Source – music.yandex.ru
දුහුළු මලක් චිත්‍රපටයේ ගීතයක් ලෙස කරලියට එන මේ ගීතය රචනා කරන්නේ අජන්තා රණසිංහයන්. සංගීතය සරත් දසනායකයන්. ගායනය නන්දා මාලිනියන්. අකුරු කරන්නට අමාරු සංකීර්ණ හැඟුම් සමුදායක් මේ සංයෝගයෙන් ඉතා අලංකාරව ඉදිරිපත් කරලා තියෙනවා. ඇය විවාහක ස්ත්‍රියක්. ඒත් ඒ විවාහය හිස්. අන්න ඒ නිසා අසම්මතයි කියා හංවඩු ගැහුණු වෙනත් තරුණයෙකුගේ ප්‍රේමයක් කරා තරුණියගේ හිත දිව යනවා. මෙතන දී ස්ත්‍රියකගේ චපලත්වයක් ගැන අංශුමාත්‍රයක සඳහනක් නැහැ. ගීතය අහන අපිට ඇගේ අසරණකම තේරෙනවා.
2. මට මෙන් ඔහුට ද කඳුළ ඔබයි

Image Source – fragmenteyes.blogspot.com
කේ. ඩී. කේ. ධර්මවර්ධන කියන විශිෂ්ට පද රචකයාගේ ගී සංකල්පනාවක්. තරුණයෙක් ඉන්නවා තරුණියක් එක්ක ප්‍රේමයෙන් වේළුණ. ඒ හා සමානව ඒ වගේම ප්‍රේමයක් හදවතේ තියාගෙන ඉන්නා තවත් තරුණයෙක් ඉන්නවා. මේ තුන්දෙනාම මේ හුටපටය ගැන දන්නවා. ඒ නිසාම මේ තරුණයන් දෙන්නා අනාගතය ගැන හිතලා දුක් වෙනවා. මේ ගීතය කියන තරුණයා අවසානයේ තීරණය කරනවා අනික් තරුණයාගේ හිත නොරිද්දා ඔහුට ඇයව භාර කරන්න. ඉතින් මේ කතාව අපිට කියන්නේ මිල්ටන් මල්ලවාරච්චි. සංගීතය ක්ලැරන්ස් විජේවර්ධන.
3. ඔබ පෙම් කරනා ඔබේ කුමාරි

Image Source – anurasrinath.com
ගුණදාස කපුගේ ගේ මියුරු හඬට මේ පදවැල් ඇමිණුවේ සුනිල් ආර්. ගමගේ මහතායි. ඔහුට අනුව මේ ගීතය ඔහුගේ යාළුවෙකුගේ අත්දැකීමක්. පාසල් කාලයේ පටන් පෙමින් සිටින දෙදෙනෙකු විශ්වවිද්‍යාල දෙකකට තේරෙනවා. දැන් ඉස්සර වගේ තාක්ෂණය හෙමත් නැති නිසා හමුවන්නවත් හරිහැටි සිද්ධ වෙන්නේ නැහැ. මේ අවසරයෙන් මේ පෙම්වතිය වෙනත් කෙනෙකු හා ඇසුරක් පටන් ගන්නවා. ඒ අලුත් හිමිකරුට තමන්ගේ ප්‍රේමයේ අරුම තැන් ගැන කියන සංවේදී ගීතයක් විදියට දකින්න පුළුවන්.
4. එපා තවත් ඔබ මා හඬවන්නට

Image Source – youtube.com
වසන්තා තිලකාංගනී කියන නාමය එක යුගයක් වශී කළා. ඒ මේ ගීතය නිසා. බන්දුල නානායක්කාරවසම්ගේ පදවලට සංගීතය රෝහණ වීරසිංහයන්ගෙන්. මේ ගීතයේ දී ප්‍රේමවන්තිය දැනගන්නවා තමන්ගේ පෙම්වතා තුන්වැන්නෙකු සමග ප්‍රේමයෙන් වෙලී ඇති බව. එයින් මොන තරම් පීඩා වින්දත් අවසානයේ ඈ තීරණයකට එනවා ඔහුගෙන් සමුගන්න.
5. සමකෝණී ත්‍රිකෝණයකි

Image Source – picssr.com
සමන් චන්ද්‍රනාත් වීරසිංහ කියන ප්‍රවීණ මාධ්‍යවේදියා, ගීත රචකයාගේ මේ රචනය වෙනස් විදියකින් අදහස් දැක්වීමක්. මනුෂ්‍ය හැඟීම් පිලිබඳ ජ්‍යාමිතික අත්හදා බැලීමක්. තරුණයෙක් ඉන්නවා තරුණියන් දෙදෙනෙකුගේ නේත්‍ර පූජාවට ලක් වෙන. මේ දෙදෙනාගේම ඇසුර ඔහුට ප්‍රියයි. ඒත් මේ වගේ කතා අහවර වෙන්නේ ශෝකාන්තයකින් බවත්, ප්‍රායෝගික නැහැ කියලත් ඔහු දන්නවා. තුන්කොන් පෙමකට මේ තරම් පරසිඳු තවත් ගීතයක් නැති තරම්. ගායනය සහ තනුව දයාරත්න රණතුංගයන්ගෙන්
6. ඒ මගේ මලයි

Image Source – youtube.com
අනූව දශකයේ එක කාල සීමාවක උන්මාදයක් ඇති කළ මේ ගීතය ඒ දවස්වල ආකර්ෂණය දිනාගත් තරුණ කලාකරුවන් දෙදෙනෙකුගේ නිර්මාණයක්. ලූෂන් බුලත්සිංහලයන්ගේ පුත් හර්ෂ බුලත්සිංහල සහ මිල්ටන් මල්ලවාරච්චිගේ පුත් රනිල් මල්ලවාරච්චි මේ දෙන්නයි. පද රචනය ලූෂන් බුලත්සිංහල. සංගීතය හර්ෂ බුලත්සිංහලගෙන්. තරුණයන් දෙදෙනෙක් ඉන්නවා බොහෝ විට මේ දෙන්නා මිත්‍රයන්. මොවුන් එක තරුණියකට පෙම් බඳිනවා. ඒ තරුණිය වඩාත් කැමති තමාටයි කියන මතය ඔප්පු කරන්න මේ දෙන්නා කියන කතාව තමයි මේ.
7. සිත ඔබට මුවා වී

Image Source – youtube.com
පෙම්වතියට තේරෙනවා තමන්ගේ පෙම්වතාගේ ජිවිතයට අලුතින් කෙනෙක් ඇවිත් කියලා. නිරෝෂා විරාජිනී සිය සංගීත ජිවිතයේ මුල් වකවානුවේ ගැයූ මේ ගීය සංගීතවත් කරන්නේ සමන්ත පෙරේරා. පද සංකල්පනාව අරුණ කිත්සිරිගෙන්. පෙම්වතිය අවබෝධ කරගන්නවා මේ තුන්වැන්නියට ඔහු දක්වන සෙනෙහස කිසිදාක තමන්ට නොලැබුණු බවත් තනිකරම සිද්ධ වෙලා තියෙන්නේ ඒකපාර්ශ්වීය ප්‍රේමයක් බවත්.
Leave a Reply