අපට පෙනෙන දේවල පමණක් නොව නොපෙනෙන බලවේග වලටද යම් ශක්තියක් ඇති බවට අදද සමාජයේ බොහෝ දෙනා විශ්වාස කරති. ශාන්තිකර්ම පැවැත්වෙන්නේ එසේ නොපෙනෙන බලවේග වලින් සිදුකරනු ලබන අහිතකර බලපෑම් අවම කරගැනීමටය. සියුමැලි කාන්තා පාර්ශවයට කළුකුමාරයා වැනි කාමලෝලී යකුන් ආවේශ වීම අද ඊයේ කරළියට පැමිණි දෙයක් නොවේ. එසේම කාන්තාවක් දරුවෙකු වදන්නට යන කල ඇයට ඇතිවන දෝෂ වලට නොපෙනෙන බලවේග වල පිහිට පැතීමද පුරාතනයේ සිට පැවත ආ සිරිතකි.
1. රිද්දි යාගය
රට යකුම හෙවත් රිද්දි යාගය පැවැත්වෙන්නේ පහතරට පළාත් වලය. දරුඵල අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ට, දරුවන් ලැබෙන්නට සිටින කාන්තාවන්ට රිද්දි යාගයෙන් සෙත සැලසේ. මෙහිදී සම්පූර්ණ ශාන්ති කර්මයේදී යකැදුරු විසින් දරුවන් ලැබෙන කාන්තාවක් සේ සැරසී ඒ අදාළ පුද පූජා ආදිය පවත්වනු ලැබේ. ඒ තුළින් දරුවෙකු ඇතිදැඩි කිරීම පිළිබඳ සිතුවිලි ඇගේ මනසට ඇතුළු වේ යැයි සැලකේ. දරුවන් නොලැබී පසුතැවෙන කාන්තාවනුත්, දරුගැබ ඉක්මණින් ගබ්සා වන කාන්තාවනුත් එදා රිද්දි යාගහෝම පවත්වා එයින් සහනය ලැබූහ. දරුඵල නොමැති යුවලක දරුවෙකු අරන් හදාගත් පසු දරු පිළිසිඳ ගැනීම් ඇතිවීමේ සිද්ධි අපිට ඉඳහිට අසන්නට ලැබේ. දරුවෙකු පිළිබඳ සිතුවිලි, දාරක ස්නේහය කෘත්‍රිමව ඇති කිරීම මගින් රිද්දි යාගයේදී දරුවන් පිළිසිඳගැනීමට මවගේ ශරීරයේ හෝමෝන ආදිය සක්‍රිය කිරීමක් සිදුවන බැව් ඇතැම් වියතුන්ගේ ද මතය වේ.
2. කළුකුමාර සමයම
කළුකුමාරයා යනු රජ කුමාරයෙකි. යම් සිද්ධියක් නිසා රටින් පිටවන්නට වූ ඔහුට හමුවන්නේ ස්ත්‍රීන් පමණක් සිටින දේශයකි. එහිදී ස්ත්‍රීන් විසින් දැඩි සේ ඔහුගේ ලිංගික පහස උකහාගන්නට යෑම නිසා කුමාරයා මරුමුවට පත් වේ. ඉන් පසු ඒ කුමාරයා කළුකුමාරයා ලෙස ස්ත්‍රීන්ට විනකරමින් සැරිසරන්නේය. මෙය කළුකුමාරයාගේ බිහිවීම පිළිබඳව ඇති ජනප්‍රවාද වලින් ජනප්‍රියම ජනප්‍රවාදයකි. මේ කළු යකා යන සංකල්පය දකුණු ඉන්දියාවේ මෙන්ම බෙංගාලයේද දකින්නට තිබෙන බව මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ගේ අදහස වී තිබේ. කළුකුමාර දිෂ්ඨිය වැහුණු පසු එය පළවාහැරීම දක්ෂ යකැදුරෙකු විසින් කළ යුතුය. ඒ සඳහා කළුකුමාර සමයම වැනි තොවිල් පවිල් පැවැත්වීම සහ දොළ පිදේනි දී කළුකුමාරයා එලවීම සාමාන්‍යයෙන් එකල ගැමියන්ගේ සිරිත විය.
3. කඩවර යක් කංකාරිය
සමයම් බලි තොවිල් ආදිය පැවැත්වෙන්නේ පහතරට පළාතේය. කංකාරි ආදිය උඩරට පළාතට ආවේණික වූවකි. දරු ගැබ ආරක්ෂා කරගැනීමට මෙන්ම දරුඵල නොමැති වීමටද කඩවර යක් කංකාරියෙන් සෙත සැලසේ. මෙම කංකාරිය උඩරට මෙන්ම උතුරු මැද සහ වයඹ පළාත්වලද ව්‍යාප්තව පවතී. මධ්‍යම පළාතේදී රීරි කඩවර, කොට කඩවර, රති කඩවර යන යකුන්ට වෙන වෙනම දොල පිදේනි, පඬුරු පාක්කුඩම් දෙමින් රැය පහන්වන තුරු කඩවර යක් කංකාරිය පැවැත්වේ. මල්වර වීමේ දෝෂ, කාන්තා රෝග වලටද එදා කඩවර යක් කංකාරිය මගින් ගැමියෝ පිහිට ආරක්ෂාව බලාපොරොත්තු වූහ. මෙහිදී රඟ දැක්වෙන කංකාරි අංග රාගික හැඟීම් ජනිත කරවන, දරුවන් වැදීම පෙන්වන ජවනිකා වලින් යුක්ත වේ.
4. කුමාර සමයම
අපගේ ශාන්තිකර්මයන්හි සබරගමු කලාපයට අයත් කුමාර සමයමද කළුකුමාරයා හෝ කළුකුමාර වැනි අවතාරයක් වූ කුමාර යක්ශයා වෙනුවෙන් කෙරෙන්නකි. මෙයද දරුගැබ දරණ කාන්තාවකගේ දරුගැබ ආරක්ෂා කිරීම වෙනුවෙන් එදා රඟදැක්වුණු, පැවැත්වුණු එක්තරා මහා යාගයකි. කුමාර සමයම අනුව එක්තරා තරුණ හිමිනමක් අනුරාධපුර වටදාගෙහි ඉහළ මහලක වැඩවාසය කරද්දී, වන්දනාවේ ආ රූමත් කුමාරිකාවක් දකින්නේය. කුමාරිකාව දැක රාගෙයන් මුසපත්ව ඔහු වටදාගෙයින් ඇදවැටී මරුමුවට පත්වී යක්ශයෙක් බවට පත් වී තිබේ. මේ කුමාරයා මෙන්ම කතාවද කුමාර සමයමේදී නිරූපණය වේ.
ගැබිණි කත යනු අදද වැඩි ආරක්ෂාවක්, පිහිටක් ලැබිය යුතු වස්තුවක් ලෙස සමාජයේ බහුතරයක් පිරිස සලකති. මන්ද ඊළඟ පරම්පරාවට ජීවය ලබා දෙන්නී ගැබිණි මාතාවම වේ. ඒ අනුව යක්ශයින්ගෙන්, පෙරේතයින්ගෙන් සිදුවන බාධාවන් දුරුකරනු පිණිස ශාන්තිකර්ම පැවැත්වීම එදා අප රටේ සංස්කෘතියේම අංගයක් විය. කුමාර සමයමේදීද ගැබිණි කාන්තාවක ලෙස සැරසී පීඨිකාවට එන යකැදුරා ලිංගිකත්වය, ගර්භණී සමයේ ආබාධ ආදිය රඟදක්වා ගැබිණි කතට සෙතක්, ශාන්තියක් ප්‍රාර්ථනා කිරීම සිදු වේ.
විද්‍යාව මගින් සෑමදෙයක්ම අනුදැන නිශ්චය කරගන්නට බැරිය. එදා ශාන්තිකර්ම මගින් ගර්භණී කාන්තාවන්ටත්, දරු ඵල නොමැති කාන්තාවන්ටත් සෙතක්, ශාන්තියක් උදා කරන ලදී. වර්තමාන කාර්යබහුල දුවන පනින තාක්ෂණික ලෝකයට තොවිල් පවිල් ශාන්තිකර්ම කෙතෙක් ගැලපේද යන්න විවාදාපන්න කරුණකි. එහෙත්, තවමත් ඇතැම් ගම්බද පළාත්වල ජනයා යම් විපත් අවස්ථාවකදී දෙවියන්ගේ සහ යකුන්ගේ ආශීර්වාදය, ඇල්ම බැල්ම ලබාගැනීමට ශාන්තිකර්ම ආදිය සිදුකරති. කාන්තාවන්ට සෙත සලසන මේ ශාන්තිකර්ම ද ඇතැම් විට රැයක් පුරා දිව යන දීර්ඝ ශාන්තිකර්ම, යාග කර්ම වේ. ඒවායේ වතාවත්ද ගුරුකුල සහ පළාත් අනුව වෙනස් වේ. කෙසේ වෙතත් දැනට අභාවයට යමින් පවතින මෙම ශාන්තිකර්ම ආරක්ෂා කරගැනීම දේශීය දේ අගය කරන අයගේ වගකීමකි.
Cover Image Source – dancinglk.blogspot.com/viewbug.com/roar.media
Leave a Reply