දැන් කාලේ කාගෙ අතේද ස්මාට්ෆෝන් එකක් නැත්තේ? එතකොට දැන් කාලේ කවුද ෆොටෝ ගහන්න ආස නැත්තේ? අතේ ස්මාට්ෆෝන් එකකුත් තියෙනවා නම්, ස්මාට්ෆෝන් එකේ කැමරා එකකුත් තියෙනවා නම්, දැන් කාලේ කාටද ෆොටෝ එකක් අල්ලන්න බැරි?
හැබැයි ඉතින් එහෙම කිවුවට හැමෝටම සුපිරි ලෙවල් එකේ ලස්සන ෆොටෝස් ගන්න බෑ. හැබැයි ස්මාට්ෆෝන් කැමරාවක් පාවිච්චි කරලා සුපිරි ලෙවල් ෆොටෝස් ගන්න බැරිත් නෑ. අන්න ඒ කාරණාවට උදවු වෙන ටිප්ස් කීපයක් අපි ලබාදෙන්න ලැහැස්තියි!
1. ක්ලීන් ලෙන්ස්!

Image Source – technicaljahid01.blogspot.com
හරි. පටන් ගන්න ඕන මෙතනින්. වහාම ස්මාට්ෆෝන් කැමරාවේ ලෙන්ස් එක හොඳින් පිහිදාලා තමයි වැඩ අල්ලන්න ඕනා. ගොඩක් වෙලාවට ෆොටෝස් වල පැල්ලම්, තිත් එහෙම තියෙන, බොඳ වුණු ගතියක් පේන්න ප්‍රධාන හේතුව තමයි දූවිලි, කුණු තැවරුණු කැමරා ලෙන්ස් එක ඉස්සරහා වීදුරුව. මේ පිරිසිදු කිරීම වෙනුවෙන් මයික්‍රෝ ෆයිබර් රෙදි කෑල්ලක්, ඒ කියන්නේ අර ඇස් කණ්ණාඩි එහෙම පිරිසිදු කරන්න බොක්ස් එකේ එන රෙදි කෑල්ලක් පාවිච්චි කරන්න ඕන.
2. ලයිට්!

Image Source – bluecollarcomp.com
ඇත්තටම ෆොටෝග්‍රැෆි කියන්නේ සම්පූර්ණයෙන්ම ආලෝකය මත පදනම් වුණු කලාවක්නේ. අන්න ඒ නිසා ෆෝන් එක අරගෙන කැමරා මෝඩ් ඔන් කරලා සට සට ගාලා ගහගෙන යන්න කලින් පොඩ්ඩක් හිතන්න ආලෝක තත්ත්වය ගැන. ඒ කියන්නේ ස්වභාවික ආලෝකය වෙන ඉර එළියෙන් හරි වෙනත් කෘත්‍රිම ආලෝකයකින් හරි විවිධ වස්තූන් වලින් වැටෙන සෙවණැලි, ආලෝක පරාවර්තනයන් එහෙම නිරීක්ෂණය කරන්න. ෆොටෝ එකක් ගන්න කලින් ආලෝකය පැමිණෙන දිශාවට අනුව විවිධ කෝණ වලින් ඒ ෆොටෝ එක කොහොමද කැප්චර් වෙන්නේ කියන එක අත්හදා බලන්න. එතකොට ඔය “Golden hour” කියලා හඳුන්වන ඉර පෑයුවට පස්සේ වෙලාව සහ ඉර බහින්න පෙර වෙලාව අතරේ කොහොමද ස්වභාවික ආලෝකයෙන් ගන්න ෆොටෝස් කියලා අත්හදා බලන්න. මෙහෙම අත්හදා බැලීම් කරනකොට ආලෝකය එක්ක සිරා ෆොටෝ එකක් පට්ට සිරා වෙන්නේ කොහොමද, ඩල් ෆොටෝ එකක් වුනත් සිරා වෙන්නේ කොහොමද කියන එක ඔලුවට වැටෙනවා.
3. සූම් කිරීම ගැන දෙපාරක් හිතන්න!

Image Source – androidcentral.com
දැන් තියෙන ස්මාට්ෆෝන් කැමරා මාරම නවීනයි තමයි. හැබැයි ඉතින් ස්මාට්ෆෝන් කැමරා එකක් කියන්නේ DSLR සූම් ලෙන්ස් එකක් නෙවෙයිනේ. අන්න ඒ නිසා ලේසියට ඉන්න තැන ඉඳන් ඈත තියෙන දෙයක් ෆොටෝ ගන්න සූම් කරන්න යන්න එපා. ගොඩක් වෙලාවට ස්මාට්ෆෝන් එකේ තියෙන ඩිජිටල් සූම් එකෙන් ලස්සනට ගන්න පුලුවන් ෆොටෝ එකක් වුනත් අප්සෙට් යන්න වැඩි ඉඩක් තියෙනවා.
4. කැමරා කෝණ

Image Source – phonearena.com
සාමාන්‍යයෙන් ඡායාරූපකරණය වෘත්තිය වශයෙන් ඉගෙන ගන්නකොට කැමරා කෝණ ගැනත් ඉගෙන ගන්න වෙනවා. ස්මාට්ෆෝන් එකෙන් ෆොටෝ එකක් සටස් ගාලා ගන්න කලින් පොඩ්ඩක් හිතන්න ඒ ෆොටෝ එක මොන වගේ ඈන්ගල් එකකින්ද වඩාත් ලස්සනට ගන්න පුලුවන් කියලා. ඇත්තටම ඒකට හදිසි නොවී ඈන්ගල් කීපෙකින් ෆ්‍රේම් එක බැලුවත් ඇති. උදාහරණයක් විදියට ගත්තොත්, මුහුදු වෙරළක තියෙන පොඩි ඔරුවක ෆොටෝ එකක් ගන්නකොට එක්කෝ ඒ ඔරුව සහ පසුබිමින් මුහුද අහුවෙන්න අපිට ඉන්න තැන ඉඳලම ෆොටෝ එක ගන්න පුලුවන්. හැබැයි අපි ඔරුව ළඟට ගිහිල්ලා, මුහුද පසුබිම් කරලා ඔරුව හයි ඈන්ගල් ෂොට් එකකින් අහුකරගන්නකොට වඩාත් ලස්සන පින්තූරයක් මැවෙන්න පුලුවන්. ඕන නම් ලෝ ඈන්ගල් ෆ්‍රේම් එකකින් ඊට සම්පූර්ණයෙන්ම වෙනස් කලාත්මක ඡායාරූපයක් මැවෙන්න පුලුවන්. මෙතනදී වැදගත් වෙන්නේ හදිසි නොවී තමන්ට ඡායාරූපයක් ගන්න පුලුවන් කෝණ මොනවද කියලා පොඩ්ඩක් පිරික්සන එක.
5. ෆ්‍රේම් එක හරියට!

Image Source – youtube.com
දැන් අපි ෆොටෝ එකක් ගන්නකොට අපිට පේනවනේ ෆොටෝ එකේ ෆ්‍රේම් එක. අපි ඔය ෆ්‍රේම් එක ඇතුළට අපිට පේන දේවල් කොහොමද ඇතුළත් කරගන්නේ? මොනවද ඇතුළත් කර නොගන්නේ? මේ ගැන ෆොටෝ එකක් ගන්න කලින් හිතන්න වෙනවා. ෆොටෝ එකේ ෆ්‍රේම් එකට අපිට ඕන ප්‍රධාන වස්තුව ඇතුළත් කර ගන්න කොට හිතන්න වෙනවා ඒ වස්තුව තියෙන්නේ ෆ්‍රේම් එක ඇතුළේ ඕනෑවට වඩා කුඩාවටද, ඕනෑවට විශාලවද කියලා. ඒ වගේම ඒ වස්තුව ගොඩක් වෙලාවට සුදුසු වෙන්නේ ෆ්‍රේම් එකේ කොයි හරියේ තිබුණොත්ද? මෙතැනදී The rule of thirds කියලා ෆොටෝග්‍රැෆි වල උගන්නන තියරි එක පොඩ්ඩක් කියවලා බලන එක පාඩුවක් නෑ.
6. හදිසි වෙන්නත් එපා, පරක්කු වෙන්නත් එපා

Image Source – videoblocks.com
මේක වෘත්තිය මට්ටමේ කැමරාවකින් ෆොටෝ එකක් ගත්තත්, ස්මාට්ෆෝන් කැමරා එකකින් ෆොටෝ එකක් ගත්තත් වෙනස් වෙන්නේ නැති න්‍යාය ධර්මයක්. හදිසි වෙන්න එපා කියන්නේ මේකයි. සමහර විට යම් කිසි ෆොටෝ එකක් ගන්න සුදුසුම අවස්ථාව එනකල් ඉවසන්න වෙනවා. උදාහරණයක් විදියට පොඩි දරුවෙක්ගේ ෆොටෝ එකක් ගන්නකොට එයා කැමරාව දිහා බලන මොහොතක් එනකල් ඉවසගෙන ඉන්න වෙනවා. යම් කිසි ෆොටෝ එකක හරිම මොහොත ගැන ෂුවර් එකක් නැතිනම් හොඳම වැඩේ තමයි ෆොටෝ කීපයක්ම ගන්න එක. එතනින් හරිම මොහොත තෝරගන්න පුලුවන්.
දෙවෙනියට පරක්කු වෙන්න එපා කියන්නේ මේකයි. සමහර ෂොට් තියෙනවා එක ක්ෂණයකින් සුන්දර මොහොතක් මිස් වෙනවා. විශේෂයෙන්ම අපි මේක ෆොටෝ එකකට ගන්නවද නැද්ද කියලා හිතන පරක්කුවට ඒ මොහොත නැතිවෙන්න පුලුවන්. අන්න ඒ නිසා ඕනෑවට වඩා පරක්කු වෙන්නත් එපා. හිතෙන මොහොතේදී ආයෙමත් හිතන්නේ නැතුව ෆොටෝ ගන්න.
7. කැමරාවේ තියෙන ටෙක්නික් පාවිච්චි කරන්න

Image Source – uplist.com
දැන් ඔය ස්මාට්ෆෝන් එකකින් ෆොටෝ ගන්න එක සාපේක්ෂව හරි ලේසියි. හැබැයි නිකම්ම අහුවෙන විදියට ෆොටෝ එක ගන්නවට වඩා ඉතාමත් හොඳයි ස්මාට්ෆෝන් කැමරාවේ තියෙන ඔය ටෙක්නික් කෑලි ගැන පොඩ්ඩක් දැනුවත් වෙන එක. අපි කියන්නේ එක පාරින්ම මැනුවල් මෝඩ් දාලා ෆොටෝ ගහන්න කියලා නෙවෙයි. ඒකට පොඩ්ඩක් ප්‍රැක්ටිස් එකක් ඕන. හැබැයි ස්මාට්ෆෝන් එකක කැමරාවේ විශේෂාංග තියෙනවා. උදාහරණයක් විදියට කිවුවොත් පැනොරාමා මෝඩ් එක. එතනින් ගියහම HDR. අලුත් ස්මාට්ෆෝන් කැමරා ඇප් එකේම විවිධ ෆිල්ටර්ස් එහෙමත් එනවා. චලනය වෙන වස්තුවක් ෆොටෝ එකට හසුකරගන්නවා නම් Burst mode දාන්න පුලුවන්. මේ වගේ තව විශේෂාංග තියෙනවා. පොඩ්ඩක් හොයලා බලන්නයි ඕන.
8. හැම ටෙක්නික් එකමත් පාවිච්චි නොකරන්න

Image Source – oppo.com
මේක අනෙක් කාරණාව. දැන් ඔය OPPO ෆෝන් වල එහෙම එනවා Beautification කියලා විශේෂාංගයක්. ඕක ඔන් කරලා කට්ට කලු කොලුවෙක් සෙල්‍ෆියක් ගත්තත් ඌව පේන්නේ චීනේ ලී යිෆෙන්ග් වගේ තමයි. එතකොට සමහර ෆොටෝස් තියෙනවා HDR ඔන් කරලා තිබ්බහම ෆොටෝ එකේ ලස්සන නැතිවෙනවා. එතකොට ඔය Vivid mode එක ගැන වුනත් කියන්න තියෙන්නේ එමම තමයි. මෙතැනදී අපි කියන්නේ බොහෝම සරල කාරණාවක්. ස්මාට්ෆෝන් එකක කැමරාවේ තියෙන ඔය වගේ විශේෂාංග වුවමනා වෙන තැන් තියෙනවා. හැබැයි ඒවා ඒ වුවමනා තැන් මොනවද කියලා හඳුනාගනිමින් පාවිච්චි කරනවා මිසක් හැමතැනටම යොදාගෙන හරියන්නෙ නෑ.
9. එඩිටින්ග් සහ ඇප්ස්

Image Source – pinterest.com
ඇත්තටම ස්මාට්ෆෝන් එකකින් ඡායාරූප ගැනීමේ ප්‍රධානතම කොටසක් තමයි ෆොටෝ සංස්කරණය. ඒකට ස්මාට්ෆෝන් එක වෙනුවෙන්ම එන එඩිටින්ග් ඇප්ස් ඕනෑ තරම් තියෙනවා. ඉන්ස්ටග්‍රෑම් වගේ යෙදුමක් ගත්තොත් ඒකේ ස්ථාපනය කරපු ෆොටෝ එඩිටින්ග් මෙවලම් පෙට්ටියක් තියෙනවා. මේන්න මේ එඩිටින්ග් ඇප්ස් සහ ටූල්ස් වලින් උපරිම ප්‍රයෝජන ගන්න. ෆොටෝ එකට අමුතු ගතියක් ගන්න ෆිල්ටර්ස් මාරු කරලා බලන්න පුලුවන්. ෆොටෝ එක තව නීට් වෙන්න හරි ආටිස්ටික් වෙන්න හරි කපන්න පුලුවන්. වර්ණ තීව්‍රතාවයන්, ආලෝක තත්ත්වය, සෙවණැලි වගේ හැම දෙයක්ම අඩු වැඩි කරන්න, සීරුමාරු කරන්න පුලුවන්. සංස්කරණයෙන් පුලුවන් අපි ගන්න සාමාන්‍ය ඡායාරූපයක් වුනත් සිරා මට්ටමකට ගේන්න.
10. පරිචය

Image Source – digitalartsonline.co.uk
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි. ස්මාට්ෆෝන් එකෙන් ෆොටෝ ගත්තත්, වෙන වෘත්තිය මට්ටමේ කැමරාවකින් ෆොටෝ ගත්තත් වැඩේ හරියටම අහුවෙන්න නම් දිගින් දිගටම වැඩේ යෙදිලා ඉන්න ඕන. ඒ කියන්නේ දිගට හරහට ෆොටෝ ගන්නකොට, ඒ ෆොටෝ ගැනිල්ල සවිඥාණිකව, හැඟීමක් ඇතිව කරනකොට ඒ ගැන හොඳ පළපුරුද්දක්, පරිචයක් ලැබෙනවා. කොහේ හරි ෆොටෝ එකක් ගන්න හිතුනහම තමන්ට ඕන වස්තුව හෝ දර්ශනය අල්ලගන්න පුලුවන් හොඳම ෆ්‍රේම් එක, හොඳම කෝණය වගේ කාරණා පටස් ගාලා පේන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා ස්මාට්ෆෝන් එකෙන් ෆොටෝ ගහන වැඩේ දිගින් දිගටම කරන එක තමයි ඒකේ ප්‍රවීණත්වය ලබාගන්න හොඳම පාර!
Cover Image Source – pxhere.com / techhealthclub.com/ lifewire.com
Leave a Reply