විවාහ ජීවිතේ මුල් කාලෙ අවුලක් නැතිව ගෙවන්න නම් මේ විදිහට ආර්ථිකය ප්ලෑන් කරගන්න

අම්මලා තාත්තලාගෙන් කකා බිබී, සැහැල්ලු සරළ ජීවිතයක් ගෙවාගෙන හිටපු දෙන්නෙක් පවුලක් පන්සලක් වෙන්න ගියාම මුලින්ම ඇතිවෙන ප්‍රශ්නයක් තමයි කොහොමද විය හියදම් ගාණට ප්ලෑන් කරගෙන අලුත් ජීවිතේ සාර්ථකව ගෙවන්නේ කියන එක. හුඟක් කොල්ලෝ කෙල්ලෝ කසාදයක් බඳිනකම්ම හාල් කිලෝ එකක, පොල් ගෙඩියකවත් ගාණ දන්නේ නැහැ. එහෙම අයට කසාද ජීවිතේ මුල් කාලේ විය හියදම් ප්ලෑන් කරගෙන ජීවිතේ පහසුවෙන් ගෙවන එක තරමක් දුෂ්කර කාර්යයක් වෙන්න පුළුවන්. ඉතින් අපි මේ කියන්න යන්නේ කසාද ජීවිතේකට ඇතුළු වෙන්න ආසන්නයේ ඉන්න දෙන්නෙක් වියහියදම් පාලනය ගැන දැන සිටිය යුතුම කරුණු කීපයක් ගැන.

 

1. වියදම් සටහන් කරගන්න

family budget

Image Source – mileiq.com

වියදම් කිවුවම ලොකු ලොකු වියදම් විතරක් නෙමෙයි, ටොපියෙ, ගිණි පෙට්ටියෙ ඉඳන් යෙදෙන හැම වියදමක්ම සටහන් කරගන්න එක වටිනවා. ඉස්සර වගේ පොත් පිරෙන්න ලිය ලිය ඉන්න ඕනෙ නැහැ. දැන් බජටිංග් ඇප්ස් උනත් අම්බානක තියනවනෙ. ඒවායෙන් එකක තමන්ගේ දිනපතා යෙදෙන සෑම වියදමක්ම සටහන් කරගන්න පුළුවන්. හැම මාසයක අන්තිමේම මේ වියහියදම් වල එකතුව බලාගන්නත් අමතක කරන්න එපා.

 

2. දළ වශයෙන් මාසික වියදම හඳුනාගන්න

family budget

Image Source – videoblocks.com

දැන් අපි කලින් කියපු විදිහට හැම වියදමක්ම සටහන් කරගෙන ගිහිල්ලා මාස කීපයක් යද්දී ඔයාලට තේරුම් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔයාලගෙ පවුලට දළ වශයෙන් මාසෙට වියදම් වෙන මුදල කොච්චරක්ද කියලා. මේක ඉතින් හැම මාසෙම සමාන ගාණක් වෙන්නේ නැහැ. නමුත් දළ වශයෙන් වියදම ගැන අදහසක් ගන්න මේ හරහා පුළුවන්. ඊට පස්සේ දෙන්නා දෙමාල්ලෝ උපයන ආදායමත් එක්ක මේ වියදම් සසඳලා තමන්ගේ වියදමට අනුව ආදායම ප්‍රමාණවත්ද නැද්ද කියන එක ගැන තීරණය කරන්න.

 

3. අඩු කරගත හැකි වියදම් හඳුනාගන්න

family budget

Image Source – lifehacks.io

තමන් උපයන මුදලින් ගේමක් නැතුව මාසේ වියදම් කවර් කරගන්න පුළුවන් වුනත්, බැරි වුනත්, අපිට මාසේ වියහියදම් වලින් අඩුකරගන්න පුලුවන් යම් යම් වියදම් තියනවානම් ඒවා හඳුනාගන්න එක සෑහෙන වටිනවා. මේ දේවල් හඳුනාගන්න වෙන්නේ තමන් සටහන් කරගත්ත ගණන් මිනුම් ආශ්‍රයෙන් තමයි. ඒ විදිහට අඩු කරගන්න පුළුවන් ප්‍රධානම වියදම් වර්ග තුනක් තමයි ආහාර, ප්‍රවාහන සහ මාසික බිල්පත් කියන ඒවා. විමසලා බලන්න තමන් නිතර නිතර බඩු බාහිරාදිය ගන්න ත්‍රීවීල් වලින් එහෙම ගමන් කරනවාද කියලා. එහෙම ගමන් වලට වැඩි වියදමක් යනවානම් දවසින් දවස ෂොපින් කරන්නේ නැතිව හැකි තරම් අඩු වාර ගණනකින් මාසයට අවශ්‍ය බඩු බාහිරාදිය මිලදීගන්න උත්සාහ කරන්න. ඒ වගේම අහල පහල තියන කඩසාප්පු අතරින් කොලිටි බඩු ලාභදායී මිලට ගන්න පුළුවන් තැන් ගැනත් විමසන්න. සුපර් මාර්කට් එකකින් ෂොපිං කරන එක පහසු වුනාට සමහර විට ඊට වඩා ලාභෙට ඔබට හන්දියේ තොග කඩයකින් යම් යම් භාණ්ඩ ගන්න බැරි වෙන එකක් නෑ.

ගෙදර කෑම උයනවාට වඩා පිටින් කෑම ගෙනෙනවා වැඩිද වගේ දේවල් ගැනත් අවධානය යොමු කරන්න. ටේක් අවේ ඕඩර්ස් වලට වැඩිපුර මුදල් නාස්ති වෙන එක වත්මන් සමාජයේ පවුල් අතර බහුලව දකින්න පුළුවන් තත්ත්වයක්. ඒ නිසා පුළුවන් හැම වෙලේම ගෙදර සම්බෝලයක් බතක් හරි හදාගන්න පුළුවන්නම් වටිනවා. ඒ වගේම තමයි නිවසේ ජල, විදුලි, දුරකථන ආදී බිල්පත්. ඒ පහසුකම් භාවිතා කරද්දී පුළුවන් තරම් නාස්තිය අවම වෙන විදිහට භාවිතා කිරීම වටිනවා.

 

4. බජට් ප්ලෑන් එකකට වැඩ කරන්න

family budget

Image Source – richerthanyouthink.com

මාසෙන් මාසෙට ලංකාවේ භාණ්ඩ සහ සේවා වලට යන වියදම් වැඩි වෙනවා තමයි. නමුත් ඒක බජට් ප්ලෑන් එකක් හදානොගෙන ඉන්නට නිදහසට කරුණක් නෙමෙයි. මාස කීපයක් තමන්ගේ වියදම් නිරීක්ෂණය කරලා, ඒ ඒ දේවල් වලට මාසිකව වියදම් කළ යුතු මුදල් මාසය මුලදීම සටහන් කරගෙන මුදල් වෙන්කරගන්න එක අනවශ්‍ය වියදම් ඇතිවීම අවම කරවයි. තව සමහර වියදම් තියනවා මාස කීපයකට පාරක් එන. උදාහරණයකට කිවුවොත් ගෑස් මිලදීගැනීම දක්වන්න පුළුවන්. අන්න ඒ වගේ වියදම් වැටෙන දවස් සටහන් කරගෙන ඊළඟට ඒ වියදම වැටෙන්න පුළුවන් මාස ගැන යම්කිසි අවබෝධයක් ලබාගන්න එක මේ බජට් එක තවත් සාර්ථකව ප්ලෑන් කරන්න උදවුවක් වේවි.

 

5. හදිසි අවශ්‍යතාවයකට මුදලක් ඉතිරි කරගන්න

family budget

Image Source – thelendersnetwork.com

අද කාලා බීලා ජොලි කරමු. පස්සේ බැරියැ ඉතිරි කරන්න තියරියෙන් කසාද ජීවිතේ පටන් ගන්න එපා. මොකද කරදර කියන ඒවා කිය කිය එන්නෙ නෑනෙ. ඒ නිසා තමන්ට හැකි ඉක්මනින්ම හදිසි අවස්ථාවකදි වියදමට අතේ තියෙන්න ඉමර්ජන්සි ෆන්ඩ් එකක් හදාගන්න බලන්න. හදිසි ලෙඩ දුකකදි, පවුලේ ආදායම් මාර්ගයක් අහිමි වීමකදි මේ ඉමර්ජන්සි ෆන්ඩ් එක ඔබේ පිහිටට හිටීවි. අඩුම තරමේ කිසිම ආදායම් මාර්ගයක් නැති කාලෙක මාස තුනක් හෝ හයක් ගෙවන්න තරම් මුදලක්වත් හැකි ඉක්මනින් ඉතිරි කරගන්න බලන්න.

 

6. අලුත් ආදායම් මාර්ග ගැනත් විමසන්න

family budget

Image Source – forbes.com

ලංකාව ඇතුළේ සල්ලි හම්බුකරලා හුස්මක් කටක් ගන්න අමාරුයි. යාන්තම් කාලා බීලා ඉන්න පුළුවන් ගාණක් හම්බු කරනවා කියලා හිතුවා විතරයි ජීවන වියදම නහුතෙට නැගලා බජට් චකබ්ලාස්ට් වෙලා යනවා. අන්න ඒ නිසා අමතර ආදායම් මාර්ග කීපයක් තිබුණා කියලා වරදක් වෙන්නෙ නෑ, රැකියාවට අමතරව පොඩි පාර්ට් ටයිම්, ෆ්‍රී ලාන්ස් වැඩක් දෙකක්, කුඩාවට අරඹන බිස්නස් එකක්, ඔහේ පාලුවට ඇරලා තියන ඉඩමක කරන වගාවක් හෝ බද්දට දීමක්, ගෙදර තියෙන අමතර කාමරයක් කුලියට දීමක් වගේ අතට අමතර මුදලක් එන අතක් ගැනත් හිතුවාට වරදක් නෑ.

 

7. ටිකෙන් ටික ජීවිතේ අරමුණු සපුරගන්න

family budget

Image Source – inc.com

ලුණුයි බතුයි කාලා කන්ද උඩ පැළට වෙලා ජීවිත කාලෙම ගෙවන එක ඕකේ නම් අපි ඒකට මොකුත් කියන්නේ නෑ. ඒත් තමන්ගේම කියලා ගෙයක් දොරක්, වාහනයක් ගන්න, තමන්ගේ විනෝදාංශයක් සපුරගන්න, තමන් බලාපොරොත්තුවෙන් ඉන්න ව්‍යාපාරයක් අරඹන්න, තමනුත් තමන්ගේ බිරිඳ හෝ සැමියාත් සතුව තියන හීනයක් සැබෑ කරගන්න ප්ලෑනක් ගහන එකත් වටිනවා. ඒ දේවල් වෙනුවෙන් තමන් ටිකෙන් ටික හෝ යම්කිසි මුදලක් ඉතිරි කරගෙන ඒවා ලබාගන්න උත්සාහ කරන එකත් සතුටුදායක අත්දැකීමක් වේවි. දැන් බොහොමයක් බැංකු වල එහෙමත් සේවිංග්ස් ප්ලෑන් තියනවා. ඔයාලට පුළුවන් ඔයාලගෙ අවශ්‍යතාවන් අනුව ඕනෙනම් ඒ වගේ එකක් තෝරගන්නත්.

 

8. තවත් පුංචි පුංචි කාරණා ටිකක්…

family budget

Image Source – theparentingplace.com

ෂොපිං කරන්න යද්දි අනිවාර්යයෙන් ලැයිස්තුවක් හදාගෙන යන්න මතක තියාගන්න. ඒක බොහොමයක් අනවශ්‍ය වියදම් සිදුවීම මගහරවාවි

අඩු ආදායමක් සහිත පවුලක් නම්, ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් වලින් ගෙවීම් කිරීම් හැකි තරම් අවම කරගැනීම යහපත් වේවි. ඒ වෙනුවට ඒ ඒ වියදම් වෙනුවෙන් වෙනමම මුදල් වෙන්කරලා ලියුම් කවර වල දාලා වියදම් කරන විට ගන්න. එතකොට මුදල් වල ක්ෂය වීම කාඩ් වලින් ගෙවනවාට වඩා දැනෙනවා. ඒ හරහා වියදම් ට්‍රැක් එකේ තියාගන්න ලේසි වේවි.

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ හිතුමතේ මිලදී ගන්න එකෙන් වළකින්න. මේ මොහොතේ අවශ්‍ය නොවෙන භාණ්ඩයක් මිලදී ගන්න ආසාවක් ඇති වුනොත් අඩුම තරමේ සති දෙකක්වත් ඉවසලා බලන්න තමන්ට ඇත්තටම ඒ භාණ්ඩය වුවමනාද කියලා. මේ මගින් අනවශ්‍ය පෙළඹවීම් නිසා සිද්ධ වෙන වියදම් අවම කරගන්න පුළුවන්.

අවුරුද්දකට සැරයක් හෝ කීප සැරයක් වැටෙන ලොකු වියදම් තියනවා. උදාහරණෙකට කිවුවොත්, වාහන වල ලයිසන් ඉන්ෂුවරන්ස් සහ සර්විස්, අධ්‍යාපන කටයුතු වලට ගෙවිය යුතු මුදල් වගේ ඒවා. සමහර විට එකපාර මේ දේවල් ගෙවන එකෙන් මාසෙම බජට් එක අවුල් යන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ ලොකු වියදම් සඳහා මාස්පතා මුදල් ටික ටික හරි ඉතිරි කරගන්න බලන්න. උදාහරණෙකට කිවුවොත් අවුරුද්දකට දහ අට දාහක් ගෙවන්න තියන වියදමක් සඳහා මාසෙකට එක්දාස් පන්සීයක් ගාණෙ අයින් කරන එක දක්වන්න පුළුවන්. එතකොට ඒ අදාළ මාසෙදි ඒ වියදම කරන එක සාක්කුවට ලොකුවට දැනෙන එකක් නෑ.

Cover Image Source – financialsecurityfirst.com / rd.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *