ලෝකෙට ලොක්කා වුණත් ඇමරිකාවේ CIA එකට වැරදුණු තැන්

CIA කියන්නේ ඇමරිකාවේ රහස් ඔත්තු සේවය. මෙයාලා ඇමරිකාවට පුංචි ම හරි අවුලක් ගෙන දෙන රටක්, සමාගමක් එහෙමත් නැත්නම් තනි පුද්ගලයෙක් ගැන රහස් හෙළිදරව් කරගෙන හීන් නූලේ ගේමක් දීලා අන්තිමට හොඳ පුතෙක් වෙන්න හරිම දක්ෂයි. හොලිවුඩ් චිත්‍රපටවල එහෙම සිරා වැඩකරුවෝ කියලා පෙන්නුවට මෙයාලා අතින් සිදුවුණ අතපසුවීම් එමටයි. මේ ඉන් කීපයක්.

 

1. සැප්තැම්බර් 11 ප්‍රහාර

Image Source – giphy.com

ලෝකෙට කෙරුම්කාරයෝ කියලා හිතාන හිටපු සහ හිතාන ඉන්න ඇමරිකාව ඉතිහාසයේ මුහුණ දුන් විශාලතම ප්‍රහාරය විදියට මේක හඳුන්වන්න පුළුවන්. ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කුළුණු ද්විත්වය සහ පෙන්ටගනය ඉලක්ක කරලා අල්කයිඩා නායක බින් ලාඩන් මේ ප්‍රහාරය සිද්ධ කරන්නේ ගුවන් යානා හතරක් යොදාගෙන. ඇමරිකානු ජීවිත 3000කට වඩා මේ නිසා අහිමි වෙනවා. සිදු වූ දේපළ හානියත් එමටයි. බින් ලාඩන්ට CIA එකේ කනෙන් රිංගලා මේ වැඩය සාර්ථකව කරන්න අවකාශය ලැබුණේ කොහොමද? මේ විනාශය වළක්වන්නට පුළුවන්කමක් තිබූ බවයි කියන්නේ. බින් ලාඩන් මොකාට හරි සූදානම් වෙනවාය කියලා CIA එක දැනගෙන ඉඳලා තියෙනවා මොකද ඒ සම්බන්ධයෙන් ඔවුන් වාර්තා ඉදිරිපත් කර තියෙන නිසා. ඊට අමතරව මේ ප්‍රහාරයට සම්බන්ධ දෙදෙනෙකු ගැන ප්‍රහාරයට කලින් ම අල්කයිඩා හා සම්බන්ධ බවත් දැනගෙන ඉඳලා තියෙනවා. මෙච්චර ඉඳලත් ප්‍රහාරය වළක්වාගන්න බැරි වෙනවා. ප්‍රහාරකයන් තමන්ගේ ඇත්ත ම නම්වලින් රිසි පරිදි ඇමරිකාවේ පදිංචි වූවන් බවටත් වාර්තා වෙනවා.

 

2. ඌරුබොක්කේ ආක්‍රමණය – Bay of Pigs

Image Source – deseretnews.com

ඇමරිකාවට කියුබාව හිසරදයක් වෙන්න පටන් ගන්නේ කියුබානු විප්ලවයෙන් පස්සෙයි. ඇමරිකාව තියෙන්නේ ධනවාදය. හැබැයි කියුබාව සමාජවාදී දීගෙක ගිය අය. ඉතින් CIA එකේ එක අරමුණක් තමයි ඇමරිකාවේ ප්‍රතිපත්ති එක්ක නොපෑහෙන රටවලින් ගේම ඉල්ලී ම (හොර රහසේ ම). එහෙම කරන්නයි කියලා හිතාන ෆිදෙල් කැස්ත්‍රෝ බලයට පත් වුණාට පස්සේ CIA එක බ්‍රිගේඩ් 2506 කියන අතුරු හමුදාව යොදාගෙන කියුබාව ආක්‍රමණය කරන්නයි කියලා යනවා. ගිහින් ආපහු එන්න වෙන්නේ රෙදි නැතුව. කස්ත්‍රෝ ව ඝාතනය කරන්න ම CIA එක 600 වාරයකට වඩා උත්සාහ කරලා තියෙනවා. එකක්වත් හරි ගියේ නම් නැහැ.

 

3. ඇසෝරියන් ව්‍යාපෘතිය – Project Azorian

Image Source – youtube.com

පැසිෆික් සාගරයේ අනතුරට පත් වෙලා තිබුණ රුසියානු න්‍යෂ්ටික සබ්මැරීනයක් ගොඩ අරගෙන ඒ තාක්ෂණය සම්බන්ධ රහස් උකහා ගන්න එක තමයි මූලික ම අරමුණ වුණේ. මෙයාලා ලෝකයට මේක කිව්වේ මුහුදේ ඛනිජ සම්පත් සම්බන්ධයෙන් කරන කැණීමක් විදියටයි. මේ සබ්මැරීනය ගොඩට ගන්න අදාළ ස්ථානය කරා මුහුද දෙසට විවෘත කළ හැකි ද්වාරයක් සහිත විශාල නෞකාවක් යැවුණා. සෝවියට් හමුදාවන්ට අහු නොවී ඉතාම සූක්ෂ්මව කළ යුත්තක් නිසා ඉතා වෙහෙසකර කාර්යයක් වුණ බවට සැක නැහැ. ඊට අමතරව සබ්මැරීනය ගොඩ ගත්තට පස්සේ එය දමන්න බත්තලකුත් මුහුදට දැමුණා. කොහොමහරි සබ්මරීනය ගොඩ ගැනීමේ දී ඒ සඳහා යොදාගත්තු අඬුවට අහු වෙලා සබ්මැරීනයේ වටිනා කියන කොටස් කීපයක් කැඩිලා ආපහු මුහුදට ම ඇද වැටුණා. ඒ සඳහා දෙවන ව්‍යාපෘතියක් කරන්න ඕනි. හැබැයි ඉතින් ඒ කාලේ මේ සිද්ධිය මාධ්‍යයට අනාවරණය වූ නිසා එය කරන්න බැරුව යනවා.

4. කියුබානු මිසයිල අර්බුදය

Image Source – businessinsider.com

දින දහතුනක් පුරාවට ඇදුණු කියුබානු මිසයිල අර්බුදය සම්බන්ධයෙන් වෙන ම ලිපියක් වුණත් ලියන්න පුළුවන්. හැබැයි ඉතින් CIA එකට එතන දී වැරදුණ හැටි ඉතා ම සරලව කියන්න පුළුවන්. 1962 ජනවාරියේ දී CIA එක කිව්වා තවත් අවුරුදු 20කටවත් සෝවියට් හමුදා තමන්ගේ න්‍යෂ්ටික මිසයිල කියුබාවේ ස්ථාපිත කරන එකක් නැතැයි කියලා. ඒත් ඒ අවුරුද්දේ ඔක්තෝම්බර් වෙනකොට කියුබානු මිසයිල අර්බුදය කියලා එකකුත් නිර්මාණය වෙලා ඉවරයි. ඕනවට වඩා ධනාත්මකව හිතන්න යාමෙන් තුන්වෙනි ලෝක යුද්ධයක කෙළවරට ම එන්න CIA එකත් මේ අනාවැකි එක්ක උදව් කරලා තියනවා.

 

5. MKUltra ව්‍යාපෘතිය

Image Source – frankolsonproject.org

මේ මානව අත්හදා බැලීමක්. මනස පාලනය කරන්නට හැකි වෙතැයි සිතා කළ මේ අත්හදා බැලීම් ඒ තරම් සාර්ථක වුණේ නැති බවයි කියවෙන්නේ. අනෙක් අතට හිංසනයකින් තොරව කරන්නට පටන් ගත් මේ ව්‍යාපෘතිය මෙයට භාජනය වූ මිනිසුන්ට අපා දුක් ලබා දීලා තියනවා. හුදකලාව තැබීම, ලිංගික අපයෝජන, සංවේදක ඉන්ද්‍රියන් අහිමි කරවීම මෙන් ම LSD වැනි ඖෂධ ලබා දීම හරහා තමයි මේ අත්හදාබැලීම් සිදු කරලා තියෙන්නේ. මේ නිසා බොහෝ දෙනෙක්ට ජීවිතයත් අහිමි වෙලා තියනවා. මහල් දහතුනකින් බිමට පැන්න ෆ්‍රෑන්ක් ඔල්සන් නම් පුද්ගලයාගේ අවාසනාවන්ත මරණය මීට උදාහරණයක්.

Cover Image Source – commons.wikimedia.org / whatsupic.com/ bbc.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *