ඉස්සර ළමයි නම් සෙල්ලම් ගෙවල් දාල ඒවයෙ බත් උයන අත්දැකීම ලබන්නෙ අවුරුදු හතේ අටේ ඉඳන්මයි. ඒත් පාන්දරින් ඉස්කෝලෙ ගිහින් ඒ ඇඳුම් පිටින්ම පන්ති ගාණෙ දුවන අද කාලෙ ළමයින්ට සෙල්ලම් ගෙවල් අත්දැකීම ලබන්න කාලයක් නෑ. එහෙම ළමාවියක් ගෙවල උසස් අධ්‍යාපනයට බෝඩින් වල ඉන්න උනාම හදිස්සියකට හොද්දක් බතක් උයාගන්න දන්නෙ නෑ. අද අපි මේ කියන්න හදන්නෙ ඕනෙම කෙල්ලෙක් කොල්ලෙක් අවුරුදු විස්ස වෙද්දි අනිවා උයන්න, හදාගන්න දැනන් ඉන්න ඕන කෑම බීම ටිකක් සරලව. හැමදාම කඩෙන් කන්න බෑනෙ නේද 😉
1. ඇට්ටකුණා වෙන්නෙ නැතුව බතක් උයන්නම්…

Image Source – realsimple.com
රයිස් කුකර් එකක් නම් දැන් එච්චර ලොකු බඩුවක් නෙවෙයි. තනි කෙනෙක්ට උයාගන්න පුළුවන් සයිස් ඒවත් තියෙනව. හැබැයි කරන්ට් එක නැති දාක උයල හමාරයි නේ ඒකටම පුරුදු උනොත්. ලිපේ බතක් උයාගන්න එක හරි ලේසි වැඩක්. හැබැයි බත ලිපේ තියල කඩේ දුවන්න නම් තියාගන්න එපා, කන්න වෙන්නෙ දංකුඩ.
- හාල් ටික තුන් හතර පාරක් සෝදගන්න. ඉස්සර නම් ගරන්න ඕන උනාට දැන් එන්නෙ ගල්, වැලි වලින් තොර හාල්නෙ.
- සෝදගත්ත හාල් ටිකට හාල් ගත්තු ප්‍රමාණෙ වගේ එකහමාරක් වතුර තියාගන්න. ඒ කියන්නෙ රයිස් කුකර් කප් එකෙන් එකක් හාල් ගත්ත නම් ඒ කප් එකෙන්ම එකහමාරක් වතුර තියාගන්න.
- දැන් ගින්දර වැඩි කරල ලිපේ තියන්න. බත් උතුරනකොට ලිප අඩු කරන්න මධ්‍යම ගාණට පොඩ්ඩක් අඩුවෙන්න. උතුරන ගතිය අඩු උනාම පියන ඇරල බලන්න. යන්තම් තැන තැන බුබුළු මතු වෙන ගාණට වතුර හිඳිල නම් ලිප අඩුම කරල ඒ වතුර ටික හිඳෙන්න තියන්න. ලිප නිවල ටිකකින් කූරු ගාගන්න. එච්චරයි.
2. ආදරණීය පරිප්පු

Image Source – taste.com.au
අපිට ඕනෙම කරන මොනා හරි දෙයක් හරි කෙනෙක් හරි නැති උනාම පුරුද්දට වගේ කියන්නෙ ‘පරිප්පු නැති හෝටලේ වගේ’ කියල. ඒකෙන් කියන්නෙ පරිප්පු වලට බහුතර ජනතාවගේ ඇති කැමැත්ත. හැබැයි පරිප්පු කාලම එපා උන සෙට් එකකුත් ඉන්නව. ඒ කොහොම උනත් අවුරුදු විස්ස වෙද්දි නම් පරිප්පුවක් උයන්න දැනගෙන ඉන්නම ඕන. නැත්නම් කන්න වෙන පරිප්පු ගැන කියල වැඩක් නෑ 😀
අවශ්‍ය ද්‍රව්‍ය
- පරිප්පු 50g
- අමු පහේ තේ හැඳි 1/2
- කහ තේ හැඳි 1/4
- මිරිස් කුඩු සැර අනුව
- කෑලි මිරිස්
- අබ තේ හැඳි කාලක්
- ලුණු
- ළූණු, සුදුළූණු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා
- පොල්කිරි (අවශ්‍යම නෑ)
- තෙල් ටිකක්
- මුලින්ම පරිප්පු ටික හොඳට සෝදගන්න. වතුරෙ සුදුපාට ගතිය නැති වෙලා විනිවිද පෙනෙන ගාණට එනකන් සෝදගන්න. සෝදගත්ත පරිප්පු වලට වතුර කප් එකක් දාල ඒකට කහ, මිරිස්, අමු පහේ දාල තම්බගන්න.
- තැම්බුනාම පරිප්පු ටික භාජනෙන් ඉවත් කරල ඒ භාජනේටම තෙල් මේස හැන්දක් විතර දාල රත් වෙන්න තියාගන්න. තෙල් රත් උනාම අබ ටික දාල, අබ ටික පුපුරන්න ගන්නකම් තියල, ඒකට ළූණු, අමුමිරිස්, සුදුළූණු, රම්පෙ, කරපිංචා දාගන්න. ඔය රම්පෙ, කරපිංච එහෙම නම් බෝඩින් ලයිෆ් ගෙනියන අය ගාව නිතර නැති දේවල්. ඒව නෑ කියල ලොකු අවුලක් නෑ. තිබ්බොත් දාන්න රස වැඩිවෙන්න.
- ළූණු ටික රන්වන් පාට වෙලා තෙම්පරාදු වෙනකොට කෑලි මිරිස්, ලුණු එහෙම දාගෙන කලවම් කරගන්න. කිරි දානව නම් කිරි, නැත්නම් හොද්ද හිටින්න වතුර ටිකක් මේ තෙම්පරාදුවට එකතු කරන් ඒකට තම්බගත්ත පරිප්පු දාල කලවම් කරගෙන උතුරව ගන්න. හිඳෙන්න පරිප්පු කන්න කැමති නම් හින්දගන්න ටිකක් වෙලා ලිපේම තියල.
3. හාල්මැස්සො/කරවල තෙලට හදමු

Image Source – pinterest.com
බෝඩින් ජීවිතේදි හාල්මැස්සො කියන්නෙ ලේසියෙන්ම, ලාබෙට, වැඩි පෝෂණයක් ගන්න පුළුවන් කෑමක්. මස්, මාළු ගෙනත් තියාගන්න ෆ්‍රිජ් එහෙම නෑනෙ. අනික බතක් උයන් පරිප්පුවක් හදාගෙන හාල්මැස්සො ටිකක් තෙල් දාගත්තම බිත්තරයක් තිබ්බ නම් ඇති වේලක් ශේප් වෙන්න. රසත් වැඩියි.
අවශ්‍ය ද්‍රව්‍ය
- ඔළුව කඩල ඉවත් කරගත්ත හාල්මැස්සො කප් 1
- හීනියට කපාගත්ත ළූණු ගෙඩියක් හෝ දෙකක් කැමැත්ත අනුව
- සුදුළූණු, රම්පෙ, කරපිංචා, අමුමිරිස්
- කෑලි මිරිස් සැර අනුව
- කහ චුට්ටක්
- ලුණු
- සියඹලා ඉස්ම හෝ දෙහි ඇඹුල්
- තෙල්
- හාල්මැස්සො ටික විනාඩි දහයක් විතර පෙඟෙන්න තියල හොඳට සෝදගන්න. වතුර බේරෙන්න පැත්තකින් තියන් ඒ අතරතුර ළූණු ටිකට තෙල් හැර අනෙක් සියළුම දේවල් දාල අනාගන්න. සියඹලා වෙනුවට දෙහි ගන්නව නම් දෙහි ටික දාගන්න එපා.
- තෙල් ටික රත් වෙන්න තියල ඒකට වතුර බේරගත්ත හාල්මැස්සො ටික එකතු කරගන්න. ටිකක් බැදෙන්න ඇරල ළූණු මිශ්‍රණය එකතු කරගන්න. ළූණු ටික මැලවිලා දුඹුරු පාටට එනකොට ලිප නිවල ටිකකින් දෙහි ඇඹුල් එක් කරගන්න සියඹල නොදානව නම්.
- කරවල තෙල් දාන්නෙත් මේ විදියටමයි. හාල් මැස්සො වෙනුවට කරවල ගන්න. හැබැයි කරවල ගනිද්දි දාන ලුණු ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න. කරවල කොහොමත් ලුණු රසයි.
4. සැපට දුකට පොල් සම්බෝලෙ

Image Source – mysrilankanrecipe.com
සම්බෝලයක් හදාගත්ත නම් බත් කන්නත් පුළුවන්, පාන් කන්නත් පුළුවන්. ඔය රුපියල් එකසිය පණහකට විතර පොඩි වංගෙඩි තියෙනව කඩවල. ඒකක් ගෙනත් තියාගන්න එක කොහෙත්ම පාඩුවක් නෑ. කතාවට කියනවනෙ අපෝ සම්බෝලයක්වත් හදාගන්න බැරි නම් වැඩක් නෑ කියල. ඒ හින්ද බලමු කොහොමද සම්බෝලයක් හදන්නෙ කියල.
අවශ්‍ය ද්‍රව්‍ය
- ගාගත් පොල් කප් එකක්
- රතු ළූණු ගෙඩි හතරක් පහක්
- කෑලි මිරිස් සැර අනුව
- ලුණු
- දෙහි
- සැරට කැමති නම් අමුමිරිස් කරලක්
- ළූණු, කෑලි මිරිස්, අමු මිරිස්, ලුණු ටික එකට දාල වංගෙඩියක කොටාගන්න. ළූණු ටික කෙටුනට පස්සෙ ඒකටම පොල් ටිකත් එකතු කරන් කොටාගන්න. වංගෙඩියෙන් එළියට අරන් දෙහි ටිකක් මිරිකල අනාගන්න.
5. රොටිය බලය වේ

Image Source – under500calories.com
උදේකට රෑකට ලේසියෙන්ම හදල වැඩියෙන් බඩ පුරෝගන්න පුළුවන් කෑමක් තමා රොටි. පොල් ටිකක් යහමින් දාල ගත්තම බටර් ගාගෙන නිකන් උනත් කන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
- පොල් කප් 1 1/2
- පාන් පිටි කප් 2
- ලුණු රස අනුව
- බටර් මේස හැන්දක්
- කැමති නම් චොප් කරපු ළූණු, අමුමිරිස් ටිකක්
- පොල් වලට ලුණු, බටර්, ළූණු සහ අමු මිරිස් එක්කර අනාගන්න. ඒකටම පිටි ටික එකතු කරන් අනාගෙන යන්තම් වතුර ඉහමින් අතේ නොඇලෙන පදමට පිටි එක හදාගන්න.
- බටර් පොඩ්ඩක් තවර ගත්ත පිඟානක රොටි තුනී කරගෙන, තැටියක දාල දෙපැත්ත පුච්චගන්න.
6. ලාස්ට් බට් නොට් ද ලීස්ට්… ස්ට්‍රෝන්ග් ටී

Image Source – flickr.com
සමහරුන්ට නම් කන්න නැතත් කමක් නෑ දැනෙන්න රසට තේ එකක් බොන්න තියෙනව නම්. ඔය කඩවලින් නම් අපිට ඕන තාලෙ තේ එකක් හම්බෙන්නෙ බොහොම කලාතුරකින්. රස පදමට තේ එකක් හදාගන්නෙ මෙන්න මෙහෙමයි.
අවශ්‍ය ද්‍රව්‍ය
- උතුරන වතුර 200ml
- කිරිපිටි පුරවලා මේස හැන්දක්
- තේ කොළ පුරවලා තේ හැන්දක්
- සීනි තේ හැඳි 2 (රස අනුව අඩු වැඩි කරගන්න.)
- තේ කොළ වලට උතුරන වතුර දාල වහල තියන්න විනාඩි දෙක තුනක්. ඒ අතරෙ පිටි සහ සීනි දෙක එකට කලවම් කරගන්න.
- තැම්බෙන්න තිබ්බ තේ කොළ ටික පිටි එකට ටික ටික කලවම් කරල පෙරාගෙන සීනි දියවෙනකම් මිශ්‍ර කරගන්න. ආයෙමත් පෙරාගන්න.
- මිලිලීටර් 200ක් කිව්වෙ සාමාන්‍ය තේ කෝප්පෙ ප්‍රමාණය. මග් එකක් පුරෝල තේ බොන අය ඒ ප්‍රමාණෙට මේක වැඩි කරගන්න.
Cover Image Source – akkiskitchen.com
Leave a Reply