දැන් මේ තියෙන ආර්ථිකේ එක්ක කාලා ඇඳලා ඉන්න බෑ. ඕකට කෑ ගගහ හිටියා කියල නිකං සල්ලි එන්න ඉතිං ඔයාලා එක්කො බටහිර කුමන්ත්‍රණකාරයො වෙන්නෝන නැත්තං රාජ්‍ය නොවන සංවිධානවල ඈයො වෙන්නෝන. ඇත්තටම නං අපේ ආර්ථිකේ ගොඩදාගන්න අපි වෙහෙසෙන්න ඕන. ඉතිං සමහරුන්ට කරන ජොබ් එකේ පඩි මදිනං වෙනිං රැකියාවක්වත් කරන්න වෙනවා. ඒකට ඉතිං උපාධියක් අරන් රැකියා ජනනය නොකර ආණ්ඩුවෙන්ම රැකියා ඉල්ලන තත්ත්වෙට පත් නොවී, රනිල් මහත්තයා 2020දි රැකියා දසලක්ෂෙ ගේනකං කටඇරං බලන් ඉන්නෙ නැතුව මේ ලෝකෙ තියෙන අටෝරාසියක් ජොබ්වලින් තමුන්ට කැමති එකක් පාට්ටයිම් ජොබක් විදියට කරන්න ඕන. හැබැයි එහෙම කරන්න කලින් හිතන්න දේවල් ටිකක් තියෙනවා. අන්න ඒ ටික ගැන, ඒ විදියෙ ධෛර්‍යවන්ත මිනිස්සු වෙනුවෙනුයි මේ සටහන ලියන්නෙ.
1. මොකද්ද කරන්නෙ?

Image Source – bangkok.com
ඕනනං කරගෙන යන ජොබ් එක වගේම ජොබ් එකක් පාට් ටයිම් ජොබ් එක විදියටම කරන්න පුළුවන්. උදාහරණෙකට දවල්ටත් එකවුන්ටන්ට්… රෑටත් එකවුන්ටන්ට්… නැත්තං සුළු වෙනසක් ගන්න පුළුවන්. දවල්ට පත්තරේකට ආටිකල් ලියලා, රෑට වෙබ් එකකට ආටිකල් ලියන්න පුළුවන්. එහෙමත් නැත්තං ලොකු වෙනසක් කරන්න පුළුවන්. දවල්ට ඌබර් එක දුවලා හවසට ක්ලබ් එකක සින්දු කියන්න යන්න පුළුවන්. එහෙමත් නැත්තං දවල්ට ක්ලාක් වැඩේ කරලා ඇවිල්ලා හවසට ඉඳිආප්ප තම්බලා කඩවලට දාන්න පුළුවන්. අන්න ඒ විදියට තමුන් මොකද්ද කරන්නෙ කියන එක මුලින්ම හිතන්න ඕන.
2. කොහොමද කරන්නෙ?

Image Source – geckosrilanka.wordpress.com
ඉඳිආප්ප අනන්න පිටි අනන මහන්සියත් එක්ක වැඩ වැඩියිද? කඩවල්වලට ඉඳිආප්ප දාද්දි පරක්කු වෙනවද? දවල්ටත් එකවුන්ට්ස් එක්ක හැප්පිලා රෑටත් වගු දිහා බලං ඉද්දි බෝරිංද? දවල්ට පත්තරේට ලියලා රෑට වෙබ් එකට ලියද්දි ඔක්කොම පැටලෙනවා වගේද? මහපාරෙම ගෙවිච්ච ජීවිතේට තමුන් ආසා කරන විනෝදාංශය වෙච්චි ගිටාර් එක ආවම මහන්සිය ලොවෙත් නැති වෙලා යනවද? මෙන්න මේ දේවල් හිතන්න ඕන. ඊට අමතරව ප්‍රධාන ජොබ් එක කරලා අනිත් ජොබට යන්න ගොඩක් දුර ට්‍රැවල් කරන්න වෙනවද? කෑමබීමට ලොකු අමතර වියදමක් යනවද? පාට්ටයිම් කරලා මහන්සියට ප්‍රධාන ජොබ් එක කරද්දි නින්ද යනවද? ඒ ඔක්කොම ගැන හිතන්න.
3. කීයටද කරන්නෙ?

Image Source – communityhealthmagazine.com
කොහොම සල්ලි හෙවුවත්, පාට් ටයිම් ජොබ් කළත් නින්දට සරිලන වෙලාවක් වගේම තමුන්ගෙ පෞද්ගලික ජීවිතයට වෙලාවකුත් තියාගන්න. නැත්තං පවුල් සම්බන්ධතා බිඳෙන්න ඉඩ තියෙනවා වගේම ලෙඩෙක් වෙන්නත් සැළකිය යුතු ඉඩක් තියෙනවා. ඒ නිසා ඒ ගැන නිශ්චිත අදහසක් තියාගන්න. ඒ වගේම ඒ නිශ්චිත අදහසට අනුව කටයුතු කරන්න. උදාහරණෙකට ප්‍රධාන රස්සාවට පාඩුවක් නොවෙන්න රස්සාව කරගෙන යන හැකියාව තියෙනවානම්, මුල් රස්සාව කරන වෙලාවෙ වුනත් ඒ රස්සාව කරගෙන යන්න. හැබැයි ඒකෙදි නීතිමය පියවර ගැන සැළකිලිමත් වෙන්න. ඒ වගේම රෑට රස්සාව කරනවානම් ගෙදරට පුළුවන් තරම් අඩුවෙන් වැඩ අරගෙන යන්න.
4. කීයක් හොයනවද?

Image Source – alinabradford.com
කීයක් හොයන්න ඕනද? කියලා ප්ලෑන් එකක් හදාගන්න. ඒකෙ වාසි කිහිපයක්ම තියෙනවා. උදාහරණයකට මාසයේ වියදමට රුපියල් 60,000ක් වියදම් වෙනවා කියලා හිතමු. එතකොට ඊට අමතරව මාසයකට රුපියල් 10,000ක් හදිසියකට සහ ඉතුරුම් විදියට වෙන් කරන්න වෙනවා. නමුත් 70,000ක් අවශ්‍ය වුනත් රැකියාවෙන් ලැබෙන්නෙ 55,000යි නම්… අපේ පාට් ටයිම් ජොබ් එකෙන් අවශ්‍ය මුදල වෙන්නෙ රුපියල් 15,000ක්. මේ විදිහෙ සීමාවක් පනවා නොගත්තොත් අපිට අපේ අනිත් වැඩ බැලන්ස් කරගන්න බැරි වෙනවා. විවාහකයි නම් බිරිඳ සහ දරුවන් එක්ක, නැතිනම් පෙම්වතිය සහ දෙමවුපියන් එක්ක ගත කරන කාලය, මූලික රැකියාවේ වැඩකටයුතු, තමුන්ගෙ විනෝදාංශ, තමුන්ගේ සෞඛ්‍යය වගේ හැම දෙයක්ම ඇස් පනාපිට කඩාගෙන වැටෙනවා දැනේවි.
අපි මේ කියන උපරිම ඉලක්කය දමාගැනීමේ ප්‍රධානම අරමුණ වෙන්නෙ හිත පාලනය කරගන්න එක. උදාහරණෙකට රුපියල් 15,000ක මුදල දිනකට අමතර පැයක් වැඩ කිරීමෙන් සොයාගන්න පුළුවන් වුනොත්, පැය දෙක ගාණෙ වැඩ කරලා වැඩිපුර 30,000ක් හොයලා, ඒ අමතර 15,000න් කරන්න වැඩ කප්පරක් මතක් වේවි. අලුතෙන් ෆෝන් එකක්, ක්ලබ් යන්න, හැමදාම රෑට කඩෙන් කෑම කන්න වගේ අමතර අනවශ්‍ය වැඩ ගොන්නක් ඔය 15,000ක මුදලේ ඉඩට බහීවි. ඒ විදියට දිගටම ගියොත් මුදල් ඉපයීම ඇබ්බැහියක් වෙලා විශාල අන්තරායක් වෙන්න පුළුවන්. අපි මුලිනුත් කිවුවනෙ ජීවිතය බිඳවැටෙන හැටි ගැන. නිකමට හිතන්න පාට් ටයිම් ජොබ් එකටම හිත ගිහින් දවසක අස්ථාවර රුපියල් 30,000ක් වෙනුවෙන් ස්ථාවර රුපියල් 55,000ක් අතාරින්න ඔබේ හිත කිවුවොත්? අපි අපේ හිත්වලට යටයි මිත්‍රයා!
5. හොරෙන්ද?

Image Source – passportincome.com
මෙහෙම අමතර රැකියාවක් කරද්දි ඒක ගැන තමුන්ගෙ ආයතන ප්‍රධානියාට කියන එකේ වාසියක් තියෙනවා. ප්‍රධානම දේ තමයි කනිං කොනිං ලොක්කට ආරංචි වෙන්න කලින් තමුන්ම කියන එකේ හොඳේ. දෙවැනි එක තමයි එහෙම කියලා තිබ්බම හදිස්සියකදි ඔෆිස් එක ඇතුළෙ ඉඳම්ම ප්‍රශ්නයක් නැතුව පාට් ටයිම් වැඩක් කරන්න පුළුවන් වීමේ හොඳේ. තුන් වෙනි හොඳකුත් වක්‍රාකාරව සිද්ධ වෙන්න පුළුවන්. නිකමට හිතන්න මෙහෙම. ලොක්කට හිතෙනවා මගේ ගාව පඩි මදි නිසා මහන්සි වෙලා තවත් වැඩ කරන කොල්ලට මේ රුපියල් 15,000 වැඩි කරනවා කියලා. අමතර වැඩක් රැකියාවට එකතු වුනත් ඒක වෙනත් තැනකට බැඳිලා කරන දෙයක් නෙමෙයි වගේම පඩියටම එකතු වෙන මුදලක් බවත් මතක තියාගන්න.
6. සල්ලිම විතරද?

Image Source – startupdonut.co.uk
දැන් ඉතිං මේ විදියට පාට් ටයිම් ජොබක් කරන එකේ වාසිය තියෙන්නෙ සල්ලි අතින්ම විතරද? ගිටාර් ගහන්න දක්ෂ මිනිහෙක් දිගින් දිගටම සුක්කානමට අත හුරුවුනාම ගිටාර් කෝඩ් මගහැරෙන්න ඉඩ තියෙනවා. තමුන්ගෙ විනෝදාංශය තමුන් ළඟම තියාගෙන, පුහුණුවත් එක්ක අමතර ගාණක් හොයාගන්න ඒ හරහා පුලුවන් වීම කොච්චර දෙයක්ද? නැත්තං තමුන්ට පුළුවන් තමුංගෙ සිහින රැකියාව පාට් ටයිම් කරන්න. පස්සෙ දවසක වැඩේ සක්සස් නං අත්තෙන් අත්තට පනින්න බැරියැයි.
7. ප්ලෑනක්

Image Source – tripolientrepreneurs.org
මහ ජොබට ප්ලෑනක් නැතත් පාට් ටයිම් ජොබට ප්ලෑනක් තියාගන්න. ඒකට තියෙන හේතුව අපි උඩ කියපු කාරණා ඔක්කොටම අදාළයි. ඔය ඔක්කොම විනාසබාවං කරවන්න ප්ලෑනක් නැති වීම හේතු වෙන්න පුළුවන්. කීයටද පළවෙනි ඔෆිස් එකේ වැඩ ඉවර කරන්නෙ? කීයටද දෙවනි ඔෆිස් එකට යන්නෙ? එහෙමත් නැත්තං කීයටද දෙවනි ඔෆිස් එකේ වැඩ ගෙදර ඉඳන් පටන්ගන්නෙ? කීයටද ඒ වැඩ නවත්තන්නෙ? සිකුරාදා රෑට ඩ්‍රින්ක් එකක් දාන නිසා එදා වැඩ ටික කවදටද කරන්නෙ? හදිසි කරදරයක් වුනොත් කෝකටත් රෝලක් ගහලා තියාගන්නෙ කොහොමද? මේවා හිතන්නම ඕන!
Cover Image Source – pixabay.com
Leave a Reply