පෑන්, නෝට්බුක් වගේ ලිපිද්‍රව්‍ය වලින් කාර්යක්ෂමතාවය ඉහළ දමාගන්නේ මෙහෙමයි!

අපි කොයි තරම් වයසක හිටියත් පොත් කඩේකට ගියහම ඒකේ ඔය ස්ටේෂනරීස් කියලා කියන සෙක්ෂන් එක දැක්කහම ආසාවක් හිතෙන්නේ නැද්ද? නානාප්‍රකාර විදියේ, එක එක පාට පෑන්, නෝට්බුක්, පොත් සහ තවත් දහසකුත් එකක් දේවල් දැක්කහම කරන්න ආපු වැඩේ අමතක වෙනවා. මේවායින් එකක් දෙකක් වත් වුවමනා නොවෙයිද කියලා හිතනවා. හැබැයි අන්තිමට මේවල ප්‍රයෝජනයක් හොයාගන්න බැරි නිසා ස්ටේෂනරීස් ගන්නෙ නැතුව යනවා. හැබැයි ඇත්තටම ඔ‍ෆිස් රස්සාවක් කරන කෙනෙක්ට විතරක් නෙවෙයි, වෙනත් ‍රැකියාවක් කරන කෙනෙක්ට වුනත්, ඉගෙනගන්න කෙනෙක්ට වුනත් මේ ලිපිද්‍රව්‍ය පාවිච්චි කරලා තමන්ගේ කාර්යක්ෂමතාවය, ඵලදායීතාවය ඉහළ දමාගන්න පුලුවන්. ඒ කොහොමද කියන එක තමයි මේ කියන්න යන්නේ!

 

1. පෑන්!

stationaries

Image Source – unpackageme.wordpress.com

අපි ඕනම කෙනෙක්ට ඕනම මොහොතක වුවමනා වෙන දෙයක් තමයි පෑන්. ඇයි කොයි මොහොතේ මොනවගේ දෙයක් ලියාගන්න වෙයිද කියන්න බැහැනේ. ආන්න ඒ නිසා ඕනම කෙනෙක් තමන් ගාව පෑනක් තියාගෙන ඉන්න එක හොඳයි. එක්කෝ හෑන්ඩ් බෑග් එකේ, නැතිනම් සාක්කුවේ. හැබැයි ඉතින් සමහර ඔ‍ෆිස් තියෙනවා, සල්ලි පිරුණු පර්ස් එකක් දාලා යතෑකි, ඒත් පෑනක් මේසයක් උඩ තියලා ගියොත් ඒක නැහැ!

පෑන් කියනකොට හැමෝම ලියන්නේ බෝල්ට්පොයින්ට් පෑන් වලින්නේ. ඒක කමක් නෑ. බෝල්ට්පොයින්ට් පෑන් ලියලා බලලා තදට ලියවෙන එකක් ගන්න පුලුවන්. හැබැයි නිතර ලියන කෙනෙක්ට තීන්ත පෑනකින් ලියන එකේත් පොඩි ආතල් එකක් තියෙනවා, හීරෝ පෑනක් හරි පාකර් පෑනක් හරි වෙන තීන්ත පුරවන මාදිලියක පෑනක් හරි ගන්න පුලුවන් තීන්ත බෝතලේකුත් එක්ක. ටිකක් කරදරයි තමයි. හැබැයි තීන්ත පෑනකින් ලියන එකේ තියෙන ක්ලැසික් ගතිය මාරයි.

අනික් කාරණාව තමයි පුරුෂ පක්ෂයේ හාදයෙක් සාක්කුවේ පෑනක් ගහගෙන යන එක. මේකට බෝල්පොයින්ට් පෑන් නම් කැතයි. ඉස්සරහා සාක්කුවේ ලස්සනට ගහගන්න නම් හොඳ වර්ගයේ අත්සන් කරන්න ගන්න පෑනක් තමයි ගැලපෙන්නේ. හොඳ පාකර් එකක් වුනත් කමක් නෑ.

 

2. නෝට්බුක්!

stationaries

Image Source – striiiipes.com

නෝට්බුක් එකක් කියන්නේ බොහොම ලේසියෙන් ඕනෑම ලියන කියන වැඩකට වුවමනා වෙන දෙයක්. හදිසියට නෝට් එකක් ගහගන්න, හිතට එන දේවල් ලියලා තියාගන්න, වැඩ ලැයිස්තුගත කරන්න වගේ හැම වැඩකටම නෝට්බුක් එකක් ඉස්තරම්. දැන් කියන්න එපා ඔය හැමදේකටම ස්මාට්ෆෝන් එකේ ඇප් තියෙනවා කියලා. තියෙනවා තමයි, හැබැයි ඒවලින් ඇත්ත නෝට්බුක් එකක් පාවිච්චි කරන ගතිය ගන්න බැහැනේ.

සාමාන්‍යයෙන් කාර්යාලයක වැඩ කරන කෙනෙක් ගාව නෝට්බුක් දෙකක්වත් තියෙන එක වටිනවා. එකක් හැම මොහොතකම අතේ තියාගන්න. මීටින් එකක කථා කරන දේවල් වුනත්, බොස් කරන්න කියපු දෙයක් වුනත්, ඔ‍ෆිස් එකේ වැඩක් ගැන හිතට එන අයිඩියාවක් වුනත් සටහන් කරන්නේ මේකේ. මේ නෝට් පොතේ කුරු‍ටු බලි ඇඳලා, ප්‍රස්තාර ඇඳලා තිබ්බට කමක් නෑ. මේකේ තියෙන අන්තර්ගතයන් පහසුවෙන් කියවාගන්න පුලුවන් නම් එච්චරයි. දෙවෙනි නෝට් පොත තියාගන්නේ සවිස්තරව තමන්ට කරන්න තියෙන වැඩ ගැන සටහන් කරගන්න.

 

3. ස්ටිකි නෝට්ස්!

stationaries

Image Source – medium.com

ස්ටිකි නෝට්ස් කියන්නේ අර පාට පාටින් තියෙන, පැත්තක ඇලවෙන තීරුවක් තියෙන පුංචි කොළ වලට. සාමාන්‍යයෙන් ඔ‍ෆිස් වල ස්ටිකි නෝට්ස් පාවිච්චි කෙරෙනවා. සමහරුන්ගේ කම්පියුටර් ස්ක්‍රීන් එහෙම අර මල් බයිසිකලයක් සරසලා වගේ තමයි පේන්නේ. පාට පාට ස්ටිකි නෝට්ස් වලින් වටේටම පිරිලා. මේ ස්ටිකී නෝට්ස් වල තමන්ට අමතක වෙන දෙයක් ලියලා තියාගන්න පුලුවන්. කාට හරි කෝල් කරන්න තියෙනවා නම් නම්බර් එකත් එක්කම ලියලා පේන තැනකින් අලවලා තිබ්බහම ඒක අමතක වෙන්නෙ නෑ. තව කෙනෙක්ට මැසෙජ් එකක් තියන්න ස්ටිකි නෝට්ස් පාවිච්චි කරන්න පුලුවන්. ඕනම නම් තරහ කාරයෙක්ගේ කම්පියුටර් ස්ක්‍රීන් එක වැහෙන්න ස්ටිකි නෝට්ස් අලවලා තියන්නත් පුලුවන්!

 

4. Memo පෑඩ්

stationaries

Image Source – simpleheart.bigcartel.com

දැන් අපි හිතමු කාට හරි ටෙලිෆෝන් නම්බර් එකක් නැතිනම් ඇඩ්‍රස් එකක් ලියලා දෙන්න වුනාය කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි කරන්නේ ළඟ තියෙන පොතකින් කොළයක් කඩලා, එහෙම නැතිනම් වැඩකට නැති කොළ කෑල්ලක් හොයලා ඒක ලියලා දෙන එකනේ. හැබැයි Memo පෑඩ් එකක් ළඟ තියෙනවා නම් ඒ කරදර නෑ. කෙලින්ම පෑඩ් එකෙන් කොළයක් ගත්තා, අවශ්‍ය දේ ලියලා දුන්නා. විශේෂයෙන්ම Memo පෑඩ් එකක කොළ ගොඩක් ලොකු නැති, හුරුබුහුටි ප්‍රමාණයෙන් එන නිසා මොනවා හරි දෙයක් ලියන්න මේ කොළයක් පාවිච්චි කරන එක අපිට වගේම, කොළේ අරගන්න කෙනාටත් බොහොම පහසුයි.

 

5. ප්ලෑනර් එකක්!

stationaries

Image Source – hayleolson,com

සාමාන්‍යයෙන් අපි දවස ප්ලෑන් කරන්නේ එදා උදේටනේ. එතකොට සතිය ප්ලෑන් කිරීමක් මළාට වෙන්නෙ නෑ. ඒත් ඒක නෙවෙයි හරි විදිය. දවසේ එදිනෙදා වැඩ එදා උදේට හරි කලින් රෑ හරි ප්ලෑන් කළාට කමක් නෑ. ඒත් දීර්ඝ කාලීන සැලසුම් කිරීමකුත් තියෙන්න ඕන, විශේෂයෙන්ම කාර්යබහුල මනුස්සයෙක්ට. ඇයි? අපි කියමු සති දෙකකට පස්සේ කෙනෙක් එක්ක මීටින් එකක් තියෙනවා කියලා. නැතිනම් සති දෙකකින් මියුසිකල් ෂෝ එකක් බලන්න යන්න තියෙනවා කියලා. ඕනෑ නම් ෆෝන් එකේ රිමයින්ඩර්ස් දාලා තියාගන්න පුලුවන්. හැබැයි අපි හිතමු මේ අතරේදී තව මීටින් එකක් ඒ දවසට වැටෙනවා. ඒත් අපිට ඊට කලිනුත් ඒ දවස මීටිමකට බුක් වෙලා කියලා මතක් වෙන්නෙත් නෑ. රිමයින්ඩර් එකෙන් හොයාගන්නත් බෑ. ආන්න ඒ වෙලාවට තමයි ප්ලෑනර් එකක වටිනාකම තියෙන්නේ. මේ විදියේ ප්ලෑනර්ස් ඕනෑ නම් හදාගන්න පුලුවන්, ඕනෑ නම් ඩවුන්ලෝඩ් කරලා ප්‍රින්ට් කරගන්න පුලුවන්, ඕනෑ නම් කඩෙන් ගන්නත් පුලුවන්. එහෙම නැතිනම් ඔය ඩයරියක තියෙන ප්ලෑනර් එකක් වුනත් පාවිච්චි කරන්න පුලුවන්. මෙතනදී විශේෂත්වය වෙන්නේ පෙරළපු ගමන් අපිට තියෙන විශේෂ වැඩ මේවාය, තියෙන්නේ මෙන්න මෙදාය කියන එක ගැන අදහස ලැබෙන එක.

 

6. කරෙක්ෂන් ටේප්, ටිපෙක්ස්!

stationaries

Image Source – wildheartsofficewebstore,com

ඕනම කෙනෙක් ටිපෙක්ස් කිවුවහම දන්නවනේ. ඇත්තටම අපි මනුස්සයොනේ. වැරදීම් අනිවාර්යයෙන්ම වෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් තමන්ගේ නෝට් පොතේ ලියනකොට වැ‍රැද්දක් වුනොත් ඉතින් කපලා ආයෙමත් ලියන්න පුලුවන්. හැබැයි ඉතින් නිල ලියුමක් වගේ දෙයක් ලියනකොට මෙහෙම වැරදීම් බෑ. වැරදුනොත් කපලා ආයෙ ලියන්නත් බෑ. එතකොට ඕනම කෙනෙක්ට පිහිටට එන දේ තමයි ටිපෙක්ස්. ඇත්තටම මේවලට කියන්නේ Correction Fluid කියලා. මේක ගාණට වැරදුණු තැන උඩින් ආලේප කරලා පොඩ්ඩක් වේලෙන්න දෙන්න ඕන. දැන් ඒක උඩින් හරි එක ලියන්න පුලුවන්.

කරෙක්ෂන් ටේප් කියන්නෙත් මේ වගේම දෙයක් තමයි. හැබැයි ටිපෙක්ස් වලට වඩා නීට්. වැරදුණු තැන උඩින් අලවන්න පුලුවන් පොඩි ටේප් කෑල්ලක් මේක. දැන් ඒක උඩින් ලියන්න පුලුවන්!

 

7. ස්ටේප්ලර්, ෆයිල් ක්ලිප්, අල්පෙනෙති

stationaries

Image Source – draymondstory.com

ස්ටේප්ලර් එකක් නම් ඕන ඔ‍ෆිස් එකක තියෙනවනේ. ගෙදරක වුනත් ස්ටේප්ලර් එකක් තිබුණට පාඩු නැත්තේ කොයිම මොහොතක හරි ස්ටේප්ලර් එකක අවශ්‍යතාවය මතුවෙන නිසායි. එතකොට කොළ දෙක තුනක් එකට අමුණන්න පුලුවන් ෆයිල් ක්ලිප් පවා ඕනෑම මොහොතක අවශ්‍ය වෙන්න පුලුවන්. ඒ නිසා අතට පහසු ප්‍රමාණයේ ස්ටේප්ලර් එකක්, ෆයිල් ක්ලිප් පෙට්ටියක් හරි ළඟ තිබුණට කමක් නෑ.

අල්පෙනෙත්ති කියලා අපි කිවුවේ අර කෙටි තුඩක් සහ අතට අල්වා ගන්න පුලුවන් විදියේ ඔලුවක් තියෙන අල්පෙනෙති ගැන. මේවා කොළේකට හරි වෙන දේකට හරි ගහන්න බෑ. හැබැයි වෙනත් දේකට ප්‍රයෝජනවත්. අපිට පුලුවන් සිහින්, අඩි කීපයක දිග පළලින් යුතු රෙජිෆෝම් පුවරුවක් හාඩ්වෙයාර් එකකින් ගන්න. දැන් මේ රෙජිෆෝම් පුවරුව නෝටිස් බෝඩ් එකක් විදියට අපි වැඩ කරන තැන බිත්තියේ හයි කරන්න පුලුවන්. දැන් මේක යොදාගන්න පුලුවන් අපිට වැදගත් කරුණු තියෙන කොළයක් දෙකක් සවි කරලා තියන්න. විශේෂයෙන්ම පාඩම් වැඩ කරන අයට මේක වටිනවා. දැන් ඔය රෙජිෆෝම් පුවරුවට කොළ අමුණන්න තමයි අපිට අර කිවුව අල්පෙනෙති වැදගත් වෙන්නේ!

Cover Image Source – scoopwhoop.com/ globalagenciesonline.com

 

 

zvr
Your Reaction

Comments