සිංහල සිනෙමාවට මෑත කාලයේ පෑයූ තරු චිත්‍රපට 7ක්

New films

චිත්‍රපට කියන්නේ අපේ ආසම විෂයක් නොවැ. අන්තර්ජාලය එක්ක ගනුදෙනු කරන තරුණ පරපුර බොහෝ විට සිංහල චිත්‍රපට වලට වඩා විදේශීය චිත්‍රපට වලට ඇලුම් කරන කාලයක් මේක. එහෙම ඇලුම් කරන එකේ වරදකුත් නැහැ එළිදකින බොහෝ සිංහල සිනෙමා නිර්මාණ දිහා බැලුවමනම්. ඒත් හිටි ගමන් සිංහල සිනමාවට හොඳ තරු චිත්‍රපට කල එළි බහිනවා. මේ කියන්න යන්නේ අන්න එහෙම චිත්‍රපට කිහිපයක් ගැනයි. මෑත කාලයේදී ආපු මේ සුපිරිම චිත්‍රපට 7ම ඔබත් බලලා තියෙද කියලා බලන්නකෝ.

 

1. සමනල සංධ්වනිය

Image Source – ticketslk.com

සමනල සංධ්වනිය කියන්නේ සංගීතමය චිත්‍රපටයක්. සංගීතමය චිත්‍රපටයක් කියන්නේ සංගීතඥයෙක් හා බැඳුණු කතාවක් තියෙන හන්දම නෙමෙයි, චිත්‍රපටය පුරාවටම සංගීතය හොඳ ආයුධයක් කරගෙන තිබුණ හන්දයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ වයසට නොයන සොඳුරු අධ්‍යක්ෂකවරයෙක් වෙන ජයන්ත චන්ද්‍රසිරි. සූර්යා, උද්ධික සහ යශෝධා මෙහි ප්‍රධාන චරිත වලට අපූරුවට පණ පොවනවා. මේ චිත්‍රපටය සුපිරිම චිත්‍රපටයක් වෙන්නේ එක අතකින් මේ චිත්‍රපටයේ සංගීතයේ භාවිතය නිසා. අමතක නෑනේ කාටත් “මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා..” ගීතය. අනෙක් අතින් මේ චිත්‍රපටයේ කතාව හරිම වෙනස් සහ විශේෂීයි.

 

2. ආලෝකෝ උදපාදී

Image Source – opendharma.com

මේක තමයි ෆිල්ම් එක. උඩ ෆිල්ම් එක බලන්න කිවුවේ කතාව සහ සංගීතය හන්දා. මේක බලන්න කියන්නේ හැමදේම හන්දා. තාක්ෂණය, කතාව, තිර රචනය, අධ්‍යක්ෂණය… මේ හැමදේම පර්ෆෙක්ට් විදිහට කරන්න බොහෝ උත්සාහයක් අරගත්තු චිත්‍රපටයක් තමයි මේක. වළගම්බා රජුගේ කාලයට දිවෙන ඓතිහාසික කතා පුවතක් සහිත මේ චිත්‍රපටයෙ අධ්‍යක්ෂණය චත්‍ර වීරමන්ගෙන්. ලංකාවේ චිත්‍රපටියක්ද කියලා දෙපාරක් බලන්න හිතෙන තරමේ සීන් බොහොමයක් මේකෙ අඩංගුයි. උද්ධිකමයි මේකෙත් ප්‍රධාන චරිතයට පණ පොවන්නේ.

 

3. ප්‍රවේගය

Image Source – hungama.com

ආයෙ කියලා වැඩක් නෑ මේකනම්. මසාලා ගණයේ ෆිල්ම් ගහන්න ලංකාවේ උදවිය කොච්චරක් ට්‍රයි කළත් ඒ එකකටවත් ප්‍රවේගයේ අහලකටවත් එන්න බැරි වුණා කියලයි මටනම් හිතෙන්නේ. කතාව ඉන්දියන් ටැමිල් වුණාට හොඳට අනුවර්තනය කරන්න පරිවර්තකයට හැකියාව තිබිලා තියෙනවා. ඒ වගේම රඟපෑම් කාගෙත් හොඳ මට්ටමක තියනවා. හේමාල් අනාගත සිනෙමා වීරයා බවට හරියාකාරව ඉඟියක් ලැබෙන්නේ මෙන්න මේ ෆිල්ම් එකෙන්. ඒ විතරක් නෙමෙයි, ෆයිට් සීන්ස් වල තියෙන ගැම්ම නියමෙටම දෙන්න අධ්‍යක්ෂකවරයාට හැකියාව ලැබිලා තියෙනවා. ඉන්දියානු නිර්මාණ ශිල්පීන් බොහොමයකගේ සහයත් ඇතුව මේ සිනෙරුව අධ්‍යක්ෂණය කළේ ඩොනල්ඩ් ජයන්ත.

 

4. මායා

Image Source – naiyageni.blogspot

මායා කියන්නේ චිත්‍රපටයක් විදිහට ගත්තම මටනම් පර්ෆෙක්ට් කියන විරුදාවලිය දෙන්න පුලුවන් තරමේ ෆිලුමක් නෙමෙයි. හැබැයි මායා වල VFX දක්ෂතා සහ තාක්ෂණික දක්ෂතා අනෙක් ලාංකීය සිනෙමා පට එක්ක බලද්දී ඉදිරියෙන් තියෙන හන්දා මේ චිත්‍රපටයත් මේ ලැයිස්තුවට දාන්න මම හිතුවා. මේකත් අධ්‍යක්ෂණය කළේ ඩොනල්ඩ් ජයන්ත.

 

5. ඝරසරප

ghara

Image Source – garasarapa.com

ජයන්ත චන්ද්‍රසිරිගේ අලුත්ම සිනෙරුව තමයි ඝරසරප. ජයන්ත මෙවරත් අර තමන්ගේ “වයසට නොයන” ගතිය පෙන්නමින් සොඳුරු සහ වෙනස් ආදර කතාවක් ‍රිදී තිරය මත සිත්තම් කරනවා. මේ අපූරු ආදර කතාවට පදනම් වෙන්නේ ලංකාවේ ජන විඥාණය තුළ මුල් බැහැ ගත්තු කලු කුමාර දිෂ්ටිය. කතාව, තිර රචනය සහ ගුප්ත සංගීතය අපූරුවට චිත්‍රපටයට සාධාරණයක් ඉෂ්ට කරනවා. බලන්න කියලා ආරාධනා කරනවා නොවැරදීම.

 

6. ධර්ම යුද්ධය

Image Source – sinhala.srilankamirror.com

ධර්මයෙන් කොහොමද යුද්ධ කරන්නේ..? බැරි නෑ ඒක. ධර්ම යුද්ධයත් මලයාලම් ෆිලුමක කොපියක්. ඒකෙ නම ඩ්‍රිශ්‍යාම්. මලයාලම් එකේ  ප්‍රධාන චරිතය රඟපාන්නේ මෝහන් ලාල්. ඊට පස්සේ ටැමිල් එක එනවා. ඒකෙ නම පාපනාසම්.  ඒකෙ ප්‍රධාන චරිතය රඟපාන්නේ කමල් හසන්. ඊළඟට හින්දි එක එනවා ආපහු ඩ්‍රිශ්‍යම් කියලා. ඒකෙ ප්‍රධාන නලුවා අජේ දේවුගන්. ලංකාවට ඕක ආවම කවුද ප්‍රධාන චරිතය කරන්නේ..? ඒවා ප්‍රශ්නයක් නෑ  ජැක්සන් ඉන්නකන්. ජැක්සන් මේ චරිතය විශිෂ්ට ලෙස කරලා පෙන්නනවා. මේක අධ්‍යක්ෂණය ක‍ළේ චෙයියර් රවී කියන ඉන්දියානු අධ්‍යක්ෂකවරයා සමගින් ගිහාන් රංග බණ්ඩාර. තාක්ෂණය අතිනුත් ඉදිරියෙන් ඉන්න සිනෙමා පටයක් විදිහට මේක හඳුන්වන්න පුලුවන්.

 

7. හෝ ගානා පොකුණ

Image Source – ddlslmovies.blogspot.com

“හෝ ගාණා පොකුණේ… අපි එනවා..” මතකද මේක..? අමතක වෙන්න විදිහක් නෑ බැලුවනම්. මේ අපූරු මුහුද බලන්නට එන චාරිකාව, ඒ දිරිය ගුරුවරිය, ඒ අධිෂ්ඨානය පිරිච්ච ළමයි ටික, ඒ කතාව, ඒ අපේ හිත් ඇද බැඳ ගත් සංගීතය අමතක වෙන්නේ කොහොමද..? ඉතින් ඒ ඔක්කොමත් එක්ක අපි මේ බලන්නේ සිනෙමා පටයක් කියන එකත් අපට අමතක වෙනවා ෆිල්ම් එක බලද්දී. සංගීතය ගැන වෙනම කියනවනම් දිනේශ් සුභසිංහගේ ඒ සංගීතය ඉතාම විශිෂ්ටයි.


 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *