ඉස්කෝලේ පෙළපොත්වල තිබුණ මතකයේ ඇඳුණ කවි පන්ති

ඉස්කෝලේ කාලේ රහ දැනෙන්නේ ඒක ඉවර වුණාට පස්සේ. යාළු මිත්‍රයෝ එක්ක කරපු දේවල් අංක එක තමයි. ඒත් සමහර ඉගෙනගත්ත දේවලුත් මේ රහට අයිති. ඒ දවස්වල ඉගෙනගත්තු කවි කතන්දර තමයි ඉතින් වැඩියත්ම මෙහෙම පස්සෙන් එන්නේ. මේ තියෙන්නේ ඒවායින් කීපයක්. ඒ දවස්වල පාඩම් කරගන්න හෙන අමාරු වුණාට දැන් නම් පොතක් නොබලා වුණත් කියන්න පුළුවන් මේවා.

 

1. තාරකා

poems

Image Source – experimentexchange.com

දෙක වසර කියන්නේ පන්තිය හෙල්ලෙන්න හැමෝම එක හඬින් කවි කියන කාලේ. ඒ කාලේ සිංහල කියවීම් පොතේ තිබුණ මේ පැදිපෙළ කොහොම මතකයෙන් අමතක කරන්නද? ලිව්වේ ආනන්ද රාජකරුණා කවියා. ළමයින්ටම කවි ලියන්න උපන් හපනෙකු වුණ මෙතුමා තරු ගැන ලියපු මේ සරල නිර්මාණය සම්පූර්ණ අතීතයක් මතක් කරවන්න තරම් ප්‍රබලයි. මීට අමතරව කෝච්චිය, මට හරි ආසයි, ඇවිදින ගෙයක් සහ හාවාගේ වග කියන කවි පන්ති දෙක වසරේ සිංහල පොතේ තිබ්බා.

2. මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ

poems

Image Source – ellsworthchamber.org

දෙක වසර ඉඳලා හතර වසරේ සිංහල පොතට පනින්නයි මේ යන්නේ. මේ පොතේ මේ නිර්මාණයට අමතරව හැමෝම දන්න සිරිමත් කවි පන්තිය, මෙහෙමයි වී බත් වන්නේ, මගෙ සිත පිබිදෙන්නේ වගේ නිර්මාණ තියනවා. දැන් මේ කතා කරන්න යන කවියේ වස්තු බීජය වුණේ තමන්ගේ කූඩුව කඩලා දාන්න හදන නසරාණි කොලු රෑනකට කුරුල්ලෙක් කියන කතාව. මේක ලිව්වේ ආර්. ඇන්. එච්. පෙරේරා ශූරීන්.

3. හැම විට සිහි වේ අම්මා

මේක ගුවන්විදුලි මාධ්‍යයේ අදටත් ඇහෙන ගීතයක්. ගායනා කරන්නේ සුසිල් ප්‍රේමරත්න එක්ක ඉන්ද්‍රානි සේනාරත්න. පද මාලාව සරත් විමලවීර කලාකරුවාගෙන්. තියෙන්නේ පහ වසරේ පොතේ. අම්මා ගැන ආදරයක් හිත්වල ඇති කරවන්න හොඳම කාලයක ඒ නිර්මාණය පෙළපොතට ඇතුළත් කිරීම ප්‍රශංසනීයයි. ටිකක් විතර ලොකු, අතට අහුවෙන පොත් විදියට ඇවිල්ලා එක පාරම චූටි පොතක් විදියටයි පහ වසරේ කියවීම් පොත ආවෙ. මීට අමතරව වැස්ස කියන නමින් වගේම අනුරාපුර පොළොන්නරුව සීගිරි මනබන්දනීය පේළිය තියෙන පින්බර ලක්මව කියන විරිඳුවත් මේ විෂය නිර්දේශයට අයත්.

4. පෙරට මැ යමු ලංකා

අට වසරේ සිංහල පොතේ තියන මේ නිර්මාණයත් ප්‍රසිද්ධ ගීතයක්. ලංකාවට තියන ආදරය වැඩි කරවන දේශාභිමානී ගීයක්. ලියන්නේ අරිසෙන් අහුබුදු ශූරීන්. කියන්නේ අයිවෝ ඩෙනිස්. ජාතීන් අතර එකමුතුබව හරහා දියුණු හෙට දවසක් දැකීමට පෙළඹවීම තමයි ගීතයේ හරය.

 

5. අයියනායක පද්‍ය පන්තිය

පුංචි පුංචි කවි සින්දු ගැන ඉගෙනගෙන ඉස් ඉස්සෙල්ලාම ටිකක් ගැඹුරින් කවියක් දිහා බලන්න යොමු කෙරුණු මේ නිර්මාණය නවය වසරේ පෙළපොතටයි අයිති. විමලරත්න කුමාරගම යන විශිෂ්ට කවියාගේ පැසසිය යුතුම නිර්මාණයක් විදියට හඳුන්වන්න පුළුවන්. ගම්වල අහිංසක මිනිසුන්ගේ අහිංසක විශ්වාස පිළිබඳ සංයමයෙන් බලන්න හුරුපුරුදු කළ නිර්මාණයක්. ඒත් ඉතින් සමහරුන්ට ඒක පුරුදු කරගන්න බැරි වුණා. මීට අමතරව මේ පොතේ ගිරා සංදේශයේ එන වන වැණුමත් ඇතුළත්.

6. වැස්ස

poems

Image Source – oddee.com

ආසම දේවල් අන්තිම හරියට. සාමාන්‍ය පෙළ කරන්න පොත පෙරලුවත් හරි ඉස්සෙල්ලාම හම්බ වෙන කාව්‍ය නිර්මාණය තමයි ඒ. කුඩලිගම කවියාගේ තියන දක්ෂතාවද අපේ දක්ෂතාවද කියන්න දන්නේ නැහැ හැරෙන තැපෑලෙන් කවිය පාඩම්.

7. කිඳුරු වලප

poems

Image Source – tripsavvy.com

කොල්ලන්ට කෙල්ලන්ට බලපු ක්ෂණයෙන් මීටරේට වැටුණ නිසා පාඩම් කරන්න අනවශ්‍ය වෙහෙසක් දරන්න වුණෙත් නැහැ. චන්ද කින්නර ජාතකය අනුසාරයෙන් ලියැවුණු පැරණිම ජාත්ක කාව්‍ය තමයි සඳ කිඳුරු දා කව. එහි ඇතුළත් මේ කවිපන්ති ටිකේ හීය වැදුණු කුමාරයෙක් ගාව ඉඳන් කුමරියක් ශෝකයෙන් ගායනා කරන කවි ලියවිලා තියනවා. මීට අමතරව පියසේන ඇසූ ප්‍රශ්නයක්, කිසාගෝතමියක නොවේ වගේ කවි 10-11 සිංහල සාහිත්‍ය සංග්‍රහයේ තියනවා.

 

 

මේ දේවල් මතක් වෙනකොට පුංචිම හරි දුකක් ඇති වෙනවා නම් ඒ කියන්නේ පෙළපොත්වලට මේවා දැමීම සාර්ථක වෙලා තියනවා කියන එකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *