අපරාධ ලෝකය හොල්ලපු කාන්තා පාතාල නායිකාවෝ

ගෑණුන්ගේ මොළේ හැඳිමිටේ කිව්වට ඒක තුවක්කු බටේක වුණත් තියෙන්න පුළුවන්කමක් ඇතැයි කියලා කවමදාකවත් හිතිලා තියනවද? මාෆියා ලෝකය ගැන අපි දන්නේ බොහොම චුට්ටයි. ඒවත් ඉතින් පොතක් පතක් කියවලා නෙවේ මොකක් හරි බයිස්කෝප් එකක් බලලා. ඉතින් එහෙම කියවීමක් නොකර එක පාරට විශ්වාස කරන්න අමාරු දෙයක් තමයි පාතාල ලෝකයේ කාන්තා ආධිපත්‍යය කියන එක. එක එක කාලවල චණ්ඩිකම් පෙන්නාපු මෙයාලා ගැන කියවලා බලන්නකෝ.

 

1. මා බාකර්

Female Crime Lords

Image Source – biography.com

ඉස්සෙල්ලාම මේ උන්දැ ගැන ලියන්න හිතුණේ ලංකාවේ අපි Boney M රසිකයෝ නිසයි. ඒකයි මේකයි අතර තියන සම්බන්ධය මෙන්න මේ සින්දුව ඇහුවාම මතක් වෙයි. සින්දුවලට විතරක් නෙවෙයි, ගොඩක් චිත්‍රපටවලටත් වස්තු බීජය වෙච්චි මේ අම්මණ්ඩි ඇය තග දාපු කාලයේ ජීවත් වුණ වඩාත් භයානක සහ බුද්ධිමත්ම අපරාධකරුවා විදියට නිර්වචනය කරලා තියනවා. ඇත්තම නම කේට් බාකර්. ඔය මා කෑල්ලක් ඉස්සරහින් ඇවිල්ලා අමුතු එකක් බවට පත් වුණේ තමන්ගේ පුතාලා එක්ක මේ අම්මා අපරාධ කරපු නිසයි. මේ අපරාධ කල්ලිය හොරකම්, මිනීමැරුම්, කප්පම් සෑහෙන ගාණකට සම්බන්ධයි. පුතාලගේ තාත්තා මේ වෙන දේවල් දරාගන්න බැරුව වෙන් වෙනවා. අවස්ථා කීපයකදීම FBI එකේ කනෙන් රිංගුවත් අන්තිමේදී මරණය සියදිවි නසා ගැනීමක් කරගන්න තැනට වැටුණෙත් ඒ නිසාම තමයි. ඔත්තුවක් මත එක නිවසකට FBI එක කඩා වැදෙනවා.එයාලාට දකින්න ලැබෙන්නේ තමන්ගේ එක පුතෙකුටත් වෙඩි තියාගෙන තමන්ටත් වෙඩි පාරක් උරුම කර දීලා එලොව ගිය බාකර් නෝනගේ නිසල දේහය. මොන තරම් භයානක ගැහැනියක් වුණත් ලෝකයේ සමහර දෙනෙක්ට මෙයා ලෙජන්ඩ් කෙනෙක්.

 

2. ග්‍රිසෙල්ඩා බ්‍ලැන්කෝ

Female Crime Lords

Image Source – youtube.com

මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන කිව්වොත් කවුරුත් කියන්නේ පැබ්ලෝ එස්කොබාර් ගැන. හැබැයි ඊටත් කලින්ම ඔය ක්ෂේත්‍රයේ කප් ගහපු මේ නෝනා ගැන දන්නේ බොහොම ටික දෙනයි. කොලොම්බියාව කියන්නේ මේ ජාවාරම්වලට පාරාදීසයක්. ඒ පාරාදීසේ අධිකාරිය ගෑනු මනුස්සයෙක්ට ගන්න තියෙන සම්භාවිතාවේ දිග පළල හොඳහැටි ලෝකෙට කියා දුන්න කෙනෙක් තමයි මේ. වැඩිය ඕනි නැහැ. කොකේන් සම්බන්ධ මුදල් අවුලකදී තමන්ගේ සැමියාව කිසිම හිතක් පපුවක් නැතුව වෙඩි තියලා මරලා දානවා. ඊට පස්සේ කරපු මේ වගේ වික්‍රමත් එමටයි. කොලොම්බියාවේ ඉඳලා ලෝකේ පුරාම කොකේන් බෙදුවෙත් ඇය තමයි. එහෙම කරලා ඒ වගේ දෙයක් කරපු පළවෙනි කාන්තාව විදියටත් නම තිබ්බා. මනුස්සයෙක්ව මරලා දාන්න එයාට හේතුවක් ඕනි වුණේ නැහැ. සමාජ ශාලාවලට ගිහින් උඩුකය නිරුවත් ගෑනුන්ට වෙඩි තැබීම, විනෝදයට ගැබිනියන්ට වෙඩි තැබීම, තමන් සමග ලිංගික ඇසුරට අකමැති පිරිමින්ට වෙඩි තැබීම වගේ දේවල් ඇය කරලා තියනවා. අවුරුදු 20ක සිරබත් කෑමකින් පස්සේ ඇමරිකාවේ ඉඳලා කොලොම්බියාවටම පිටුවහල් කෙරුණු ග්‍රිසෙල්ඩා සාමකාමී ජීවිතයක් පටන් ගත්තයි කියලයි කියන්නේ. හැබැයි එහෙම පටන් ගත්තත් හරි දවසක් දා යතුරුපැදිකරුවෙක්ගේ තුවක්කු පාරකින් ජිවිතයෙන් සමුගන්නවා. හොඳම සිද්ධිය තමයි යතුරුපැදිවලින් ගිහින් මිනිස්සු මරණ ක්‍රමේ හඳුන්වා දුන්නෙත් ඇයම වීම.

 

3. තෙල්මා රයිට්

Female Crime Lords

Image Source – youtube.com

ජැකී රයිට් කියන හෙරොයින් කප්පිත්තාට තෙල්මාව හම්බ වෙන්නේ ජීවිතේ අහම්බයක් විදියටම නෙවෙයි. හැබැයි ජැකී ජීවිතෙන් සමුගත්තේ තෙල්මාගේ ජීවිතය අහම්බයක් නොකර. ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා කියන පැත්ත පාලනය කරපු හෙරොයින් රජා තමයි ජැකී. එයාගේ ආදරණීය බාරියාව තෙල්මා. මේ දෙන්නාට පුතෙකුත් හිටියා. මේ බිස්නස් එකේ කට්ටියට තියන අනතුර වැඩියි. ඒ අනතුරට ජැකීටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. වෙඩි පාරකින් ඔහු මරුමුවට පත් වුණාම දෙවරක් හිතන්නේ නැතුව මේ බිස්නස් එක තෙල්මා තමන්ගේ අතට ගත්තා. එහෙම කරලා මාසිකව ඩොලර් 400,000ක් විතර හොයාගත්තා කියලයි කියන්නේ. කොහොම හරි මැර කල්ලි දෙකක් අතර වෙඩි හුවමාරුවකදී ඇයව අහු වෙනවා. යන්තම් මරණය පෙනී පෙනී ජීවිතය බේරා ගන්නවා. දැන් ඉතින් නවගුණවැල කරකවන තත්ත්වයට පත් වෙලා තියනවා. මේ වගේ ඇබ්බැහිවීම්වලට යොමු වුණ කාන්තාවන් යහමගට ගන්න එක තෙල්මගේ ජීවිතයේ අභිප්‍රාය වෙලා. තමන්ගේ ජීවිත කතාව ආශ්‍රයෙන් පොතකුත් ලියලා.

 

4. ඇනා ග්‍රිස්ටිනා

Female Crime Lords

Image Source – nydailynews.com

ජිනා මැඩම් ගැන අපි දන්නවා. මේ කියන්නේ මෑන්හැට්න් මැඩම් ගැන. නිව්යෝක්වල ජීවත් වෙන්න මිනිස්සු හීන දකිනවා. ආයේ ඉතින් ජීවත් වෙනවට ජීවත් වෙන ටයිප් එකේ නෙවෙයි, හෙන හයිෆයි ජීවිතයක් ගතකිරීමේ අරමුණ මිනිස්සුන්ට තියනවා. අන්න ඒ නිසයි එයා තමන්ගේ ගෙදර නවීන පන්නයේ ගණිකා මඩමක් බවට පත් කරේ. මේක එසේ මෙසේ එකක් නෙවෙයි. මෙතන හිටපු තරුණියන් හැම දෙනෙක්ම උගත් රූමත් අය. සමහරු වයසින් ඉතා ලාබාල අය කියලත් කියනවා. අනික ඇනාගේ කස්ටමර්ස්ලා නම් දරාපු කට්ටිය. හොලිවුඩ් සුපිරි නළු චාලි ෂීන් එහෙම කෙනෙක්. 2012දී අත්අඩංගුවට පත් වුණත් දැන් ඇය නිදහස්. හැබැයි පරිවාස කාලයකට යටත්. මේ ව්‍යාපාරයෙන් ඇනා ඩොලර් මිලියන 15ක් විතර උපයාගෙන තියෙනවා.

 

5. මාරියා ලිචාඩි

Female Crime Lords

Image Source – cronaca.il24.it/

ඉතාලිය ජාතක කරපු අමනුස්ස ගැහැනියක් තමයි මේ. මාරියත් ඇනා වගේම ගණිකා ව්‍යාපාරයේ නිරත වුණා. හැබැයි ඊට වඩා දරුණු කැත විදියට. ගණිකා සේවයේ යොදවපු තරුණියන්ට හැම වෙලේම මත්ද්‍රව්‍ය පොව්වලා තියනවා. ඒ වගේම තවදුරටත් මුදල් උපයා දෙන්න අපහසු කාන්තාවන් මරා දමලා තියනවා. මීට අමතරව පැහැරගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරමත් ගජරාමෙට කරලා තියනවා. හෙරොයින් සම්බන්ධ ප්‍රශ්නයකදී තවත් මැර කල්ලියක් එක්ක ඇවුළුණු නිසා අනවශ්‍ය අවධානයක් මාරියාට ලැබෙනවා. මැර කල්ලියත් එක්ක වුණේ පුංචි යුද්ධයක්. ඒකෙන් මිනිස්සු සිය ගණනක් මැරෙනවා. ඒකට තමන්ට හිරේ ලගින්න වෙන බව දන්න නිසා දිස්ත්‍රික්කයේ අටෝර්නිවරයාගේ කාර්යාලයත් ගිනි තියනවා. ඒ කොහොම වුණත් අන්තිමේ මාරියාට කූරු ගණන් කරන්න යන්නම වෙනවා. හැබැයි හිරේ හිටියත් බිස්නස් වැඩ කියලයි කියන්නේ.

 

6. ගර්ටෘඩ් ලිත්ගොයේ

Female Crime Lords

Image Source – sallyjling.org

එකදාස් නවසිය බර ගණන්වල ඇමරිකාවේ තිබුණා ඇල්කොහොල්වලට තහනම් කාල සීමාවක්. හැබැයි ඉතින් ඔය තහනම් අස්සේ හොරෙන් ගේම දුන්න අයත් හිටියා. ඒවාට ගොඩක්ම යොමු වුණේ ඉතින් පිරිමි උදවිය. හැබැයි සමහර ගැහැනු වෙළෙන්දනුත් වැඩේ අත ඇරියේ නැහැ ඒ අය අතරින් ගර්ටෘඩ් කැපිලා පේන්නේ බිස්නස් එක කරගෙන ගියපු මදාවි ගතිය නිසයි. එයාගේ ඒරියා එකේ මේවා විකුණලා තමන්ගේ බිස්නස් එකට කෙළවන්න ආපු අයට කෙළවීම තමයි මෙයාගේ ක්‍රමේ. බහමාවේ රැජිනිය කියන නාමයෙන් තමයි හඳුන්වලා තියෙන්නෙත්. නිව් යෝක් ටයිම්ස් වගේ බර බර පත්තරවලත් හරි හරියට මෙයාගේ කතාව ගැන ලියවිලා තියෙන්නේ ඒ කාලේ ඇයට තිබුණ කීර්තියට හානි නොවෙන විදියට.

 

7. කැත්ලීන් පෙටින්ගිල්

Female Crime Lords

Image Source – youtube.com

කැත්ලීන් කියන්නේ තවත් එක්තරා මා බාකර් කෙනෙක්. පෙටින්ගිල් පවුල කියන නමින් හඳුන්වපු පවුලක අම්මා තමයි මේ. මේ පවුල මෙල්බර්න්වල අපරාධ කල්ලියක්. කැත්ලීන්ට තියෙන්නෙත් මහා භයානක පෙනුමක්. ඇහැට වැදුණ වෙඩිල්ලක් නිසා එක ඇහැක් දැන් තනිකර වීදුරු. ඇය ගණිකාවක් විදියටත් ඉඳලා තියනවා. එතනින් නොනැවතී ගණිකා මඩමක මැඩම් කෙනෙක් වෙලත් ඉඳලා තියනවා. මෙයාගේ ඩෙනිස් කියන පුතා තමයි තුප්පහිම වැඩ කරපු එපාම කරපු එකා. ළමයි හිරේ ගිය හැම වතාවකම ඇප දීලා කැත්ලීන් එයාලාව බේරාගෙන තියනවා. “Animal Kingdom” කියන චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නේ මේ පවුලේ කතාව අනුසාරයෙන්.

Cover Image Source – unfetteredequality .com/ lateet.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *