උස සිරුරකින් හෙබි පන්දු යවන්නෙක් අඩි ගණනාවක දිග දුරක් වේගයෙන් දුවගෙන එනවා. ප්‍රේක්ෂකාගාරය දෙපිළකට බෙදිල. එක පිරිසක් අත්පොළසන් දෙමින්, පුටුවලට තට්ටු කර ශබ්ද නගමින් පන්දු යවන්නාගේ ජවාත්මක ආරම්භයට පසුබිම් සංගීතයක් සපයනවා. පිතිකරුවාගෙත් පන්දුවට පහරදෙන පිළේ ප්‍රේක්ෂකයන්ගෙත් හදගැස්ම ඉහළයි. පන්දු යවන්නාගෙ අතින් වේගවත්ව මිදෙන පන්දුව පිතිකරුවා දිහාට ඇදෙන්නෙ හුළං කපාගෙන වගේ. හිතන්නවත් වෙලාවක් ඉතිරි නොකර ඉහළට ඉපිළ යන පන්දුව පිතිකරුවාට හරිහැටි පහරක් සම්පූර්ණ කරන්නටවත් ඉඩක් නොදී, පිත්තේ ගෑවි නොගෑවී කඩුළු රකින්නා අතට ඇදිල යනව.
ඒ ඇවිල්ලා ක්‍රිකට් තරඟයක දකින්න පුළුවන් ලස්සනම අවස්ථාවක්…
දූවිලි අවුස්සමින් පිතිකරුවාගේ දෙපා අතරට පතිත වෙන ඉන්ස්වින්ගින් යෝකර් පන්දුවකට මැද ඉන්න ගැලවිලා විසිවෙලා යන අවස්ථාවකටත් වඩා ඒ මොහොත ලස්සනයි. කලාත්මකයි කියලත් කියන්න පුළුවන්. ක්‍රිකට් කියන්නේ බොහොමයක් ක්‍රීඩා එක්ක ගත්තහම මන්දගාමී ක්‍රීඩාවක්. එහෙවු ක්‍රීඩාවකට විදුලි සැරයක් වගේ වේගයක් ජවයක් ගෙනෙන්නට පුළුවන් වේග පන්දු යවන්නෙක්ටම තමයි. මේ කියන්න යන්නේ එහෙවු වේග පන්දු යවන්නන් අතරිනුත් සුවිශේෂ වූ පිරිසක් ගැනයි. ක්‍රිකට් ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවුණු බිහිසුණුම වේගයකින් පන්දු යැවූ පන්දු යවන්නන් හත් දෙනා ගැනයි මේ…
1. ෂොයිබ් අක්තාර්

Image Source – espncricinfo.com
රාවල්පිණ්ඩි එක්ස්ප්‍රස් කියල හඳුන්වපු ෂොයිබ් අක්තාර් කියන්නේ කාලයක් ලෝකේ ඉහළම පිතිකරුවන්ව පවා අසරණ කරපු පකිස්ථානුවෙක්. ෂොයිබ් තමන්ගෙ ක්‍රීඩා ජීවිතේ පුරාම පැයට කිලෝමීටර 150කට ඉහළ වේගයක් රඳවගනිමින් පන්දු යවපු ක්‍රීඩකයෙක්. පන්දුවේ වේගය මනින්න පටන් ගත්තාට පසුව පැයට සැතපුම් 100 වේගය පසුකරන පන්දුවක් යැවූ ලෝකෙ පළමු ක්‍රීඩකයා තමයි ෂොයිබ් අක්තාර්. 2003 ලෝක කුසලාන තරඟාවලියේදි එංගලන්තයට එරෙහිව තමයි ෂොයිබ් මේ දස්කම දැක්වුවෙ. ඒ පන්දුවේ වේගය පැයට සැතපුම් 100.23ක් හැටියට තමයි සඳහන් වුණේ. කිලෝමීටර වලින් කිව්වොත් පැයට කිලෝමීටර 161.3ක්. මේක තමයි ලෝකයේ එතෙක් මෙතෙක් ඉලෙක්ට්‍රොනිකව මනින ලද වේගවත්ම පන්දුව හැටියට සැලකෙන්නෙ. 1997 ඉඳන් 2011 දක්වා පැතිරුණු ෂොයිබ්ගේ අන්තර්ජාතික ක්‍රිකට් ජීවිතයෙදි එක්දින කඩුලු 247කුත්,ටෙස්ට් කඩුලු 178කුත් දවාගන්නට ඔහු සමත් වුණා.
2. බ්‍රෙට් ලී

Image Source – espncricinfo.com
ෂොයිබ් අක්තාර්ගෙ සමකාලීනයෙක් වුණු බ්‍රෙට් ලී වේගය අතින් ෂොයිබ් එක්ක කරට කර හිටපු ක්‍රීඩකයෙක්. බ්‍රෙට් ලීත් ෂොයිබ් අක්තාර් වගේම පැයට සැතපුම් 100 සීමාව පන්නනව. ඒ 2005දි නවසීලන්තයට එරෙහිව පැයට සැතපුම් 100.1ක් එහෙමත් නැත්නම් කිලෝමීටර161.1ක පන්දුවක් යවල. බ්‍රෙට් ලීත් තමන්ගෙ ක්‍රීඩා දිවිය පුරාම පැයට කිලෝමීටර 145ට 150ට පහළ නොබහිමින් පන්දු යවපු ක්‍රීඩකයෙක්. ඩෙත් ඕවර්ස් වල යෝකර් එකෙන් ලකුණු අඩු කරල කඩුළු ගන්න වගේම මැද කොටල ඉහළ නග්ගන පන්දුවෙන් පිතිකරුවන් අන්දමන්ද කරන්නත් බ්‍රෙට් ලී එක සේ දක්ෂයි. ටෙස්ට් කඩුලු 310කුත් එක්දින කඩුලු 380කුත් තමන්ගෙ ක්‍රීඩා ජීවිතේ තුළදි රැස් කරගන්න ලී සමත්වෙලා තියනවා.
3. ෂෝන් ටේට්

Image Source – espncricinfo.com
ෂොයිබ් අක්තාර් සහ බ්‍රෙට් ලී ඇරුණම සැතපුම් 100 වේග සීමාව පසු කරන්නට සමත් වුණ එකම තැනැත්තා තමයි ෂෝන් ටේට්. 2010 දි එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් වලදි ටේට් පැයට කිලෝමීටර161.1ක වේගයකින් පන්දුවක් යවමින් තමයි පැයට සැතපුම් 100 සමාජයට එකතු වුණේ. පිතිකරුවන්ව පුදුම කරවනසුළු වේගයකින් පන්දු යැවුවත් බ්‍රෙට් ලී සහ ෂොයිබ් අක්තාර්ගෙ මට්ටමට ළඟා වෙන්නවත් ටේට් සමත් වුණේ නැහැ. පාලනයකින් තොර පන්දු යැවීමත්, අනවශ්‍ය විදිහට පිතිකරුවන්ට ලකුණු ලබාදීමටත් අමතරව කලින් කලට ආපු ආබාධ නිසා ටේට්ගේ අන්තර්ජාතික ක්‍රිකට් දිවිය අඩු තරඟ ප්‍රමාණයකට සීමා වුණා.
4. ජෙෆ් තොම්සන්

Image Source – espncricinfo.com
අක්තාර්, ලී හෝ ටේට් ටත් වැඩි වේගයකින් පන්දු යවපු ක්‍රීඩකයෙක් හැටියට තමයි බොහෝ දෙනා හිටපු ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෙක් වුණු ජෙෆ් තොම්සන්ව සලකන්නෙ. අවාසනාවකට ඔහු පන්දු යවපු සැබෑ වේගය මනින්න තරම් තාක්ෂණයක් ඔහු ක්‍රීඩා කරපු කාලෙ තිබ්බෙ නෑ. මාලිංගගෙ වගේ ස්ලිංග් ඇක්ෂන් එකක් තමයි තොම්සන්ටත් තිබ්බෙ. මේ පන්දු යැවීමේ විලාසය පිතිකරුවන්ව කොතරම් තැති ගන්වනසුලු වුනාද කියනවනම් වරක් ග්‍රේග් චැපල් තොම්සන්ගේ පන්දු වලට මුහුණ දෙන්න පිටියට ඒමත් ප්‍රතික්ෂේප කළාලු. ජීවිතයේ වැඩි කලක් පැයට කිලෝමීටර 160ක පමණ වේගයක් රඳවාගෙන ඔහු පන්දු යැවුවාය කියල තමයි විචාරකයන් කියන්නේ.
5. මයිකල් හෝල්ඩිංග්

Image Source – espncricinfo.com
දැන් විස්තර විචාරකයෙක් හැටියට වඩාත් ප්‍රසිද්ධ මයිකල් හෝල්ඩිංග් කියන්නෙ වේග පන්දුවෙන් ක්‍රිකට් ලෝකෙ හොල්ලගෙන හිටපු ක්ලයිව් ලොයිඩ්ගෙ කොදෙවු කණ්ඩායමේ ප්‍රබලතම ආසියෙක්. වෙන වේග පන්දු යවන්නො වගේ පිතිකරුවට රවන, ඔරවන පුරුද්දක් හෝල්ඩිංග් සතුව තිබ්බෙ නෑ. එහෙම වුනත් මැල්කම් මාෂල්, ඇන්ඩි රොබර්ට්ස්, ජොඑල් ගාර්නර් වගේ දරුණු කොදෙවු වගේ පන්දු යවන්නන් අතරින් පිතිකරුවන් වඩාත්ම බයක් දැක්වුවෙ මයිකල් හෝල්ඩිංග්ටයි. ඔහුගේ පන්දුවේ ඇති බිහිසුණුකම හෝල්ඩිංග්ට යෙදී ඇති අන්වර්ථ නාමයෙන්ම හිතාගන්න පුළුවන්. ඒ නම තමයි Whispering Death. විටෙක පිතිකරුවන්ව සීරීම් තැලීම් සහ ආබාධ වලට ලක්කරන්නත් හෝල්ඩිංග්ගේ පන්දු සමත් වුණා. ඒ වගේම පැයකට සැතපුම් 95ක විතර වේගයක් රඳවගනිමින් පැයක් දෙකක් වුණත් පන්දු යවන්න හෝල්ඩිංග් අතිදක්ෂයෙක්.
6. පැට්‍රික් පැටර්සන්

Image Source – espncricinfo.com
වේග පන්දුවෙන් කොදෙවුවන් ක්‍රිකට් ලොව සලිත කරපු, ලෝකෙම අණසක පතුරගෙන හිටපු යුගයේ ඔවුන්ගේ ප්‍රමුඛතම කඩුලු රකින්නෙක් වුනේ ජෙෆ්‍රි ඩුජෝන්. ඩුජෝන් කියන්නෙ ඇන්ඩි රොබර්ට්ස්, මැල්කම් මාර්ෂල්, මයිකල් හෝල්ඩිංග් වගේ අධිවේග පන්දු යවන්නන් රැසකට කඩුළු රැක්ක ක්‍රීඩකයෙක්. ඔහුගෙන් එක්තරා අවස්ථාවකදි මාධ්‍යවේදීන් ප්‍රශ්නයක් නගනවා ඔබ දුටු වේගවත්ම පන්දු යවන්නා කවුද කියලා. ඩුජෝන් දෙන උත්තරය තමයි පැට්‍රික් පැටර්සන්. පැටර්සන්ට මුහුණ දෙද්දී තමන් ශාරීරිකව අබාධ වලට ලක්වේවිය කියා මහත් බියක් ඇතිවුණ බවට ඔහුගේ සමකාලීන එංගලන්ත ප්‍රතිවාදීන් පවා ප්‍රකාශ කරනව. පිතිකරුවන් බොහෝ දෙනෙක් පැටර්සන්ගේ පන්දු හමුවේ දැවෙන්නේ තමන්ගේ ශරීරය ආරක්ෂා කරගන්න ගිහිල්ලයි. කොහොම වෙතත් ප්‍රචණ්ඩකාරී වේගයක් තිබුණත් පැටර්සන්ට කොදෙවු ශ්‍රේෂ්ඨයෙක් වෙන්න අවස්ථාවක් නම් හිමිවුණේ නැහැ. පන්දු වල පාලනය සහ නිසි නිරවද්‍යතාවය මද වීම හේතුවෙන් පැටර්සන්ට ටෙස්ට් සහ එක්දින කඩුලු 100 සීමාව වත් පසු කරන්නට අවස්ථාව ලැබුණේ නෑ.
7. ෆ්‍රෑන්ක් ටයිසන්

Image Source – espncricinfo.com
ලෝකයේ ශ්‍රේෂ්ඨතම පිතිකරුවා වුණු ඩොන් බ්‍රැඩ්මන් කියන විදිහට ඔහු දුටු වේගවත්ම පන්දු යවන්නා තමයි එංගලන්ත ක්‍රීඩක ෆ්‍රෑන්ක් ටයිසන්. බොඩි ලයින් පන්දු යැවීමේ ශූරයෙක් වුණු හැරල්ඩ් ලාවුඩ් වගේම පසුකාලීනව ලෝකයේ වේගවත්ම පන්දු යවන්නාය විරුදාවලිය ලබපු ජෙෆ් තොම්සන්ටත් තමන්ගේ ජීවිතේ පනස් වැනි වියේදී බ්‍රැඩ්මන් මුහුණ දුන්නා. නමුත් බ්‍රැඩ්මන්ට අනුව ලෝකයේ වේගවත්ම පන්දු යවන්නා ටයිසන් වීම විශේෂ කරුණක්. ඒ වගේම ලෝකයේ සිටි ප්‍රවීණතම ක්‍රිකට් විචාරකයෙකු වුණු රිචී බෙනෝට අනුවත් ලෝකයේ වේගවත්ම පන්දු යවන්නා වෙන්නෙ ෆ්‍රෑන්ක් ටයිසන්. ටයිසන් කොතරම් වේගයකින් පන්දු යැවුවාද කිවුවොත් ඔහු පන්දු යවද්දී ස්ලිප් ක්‍රීඩකයන් රැඳවන ලද්දේ යාර 40ක් පමණ පසුපසින් යැයි කියනවා. Typhoon, එහෙමත් නැත්නම් සුළි කුණාටුව නමින් විරුදාවලි ලත් ටයිසන් තමන්ගේ ක්‍රීඩා දිවිය තුළ ටෙස්ට් තරඟ 17කට ක්‍රීඩා කර කඩුලු 76ක් දවාගෙන තියෙනවා.
Cover Image Source -espncricinfo.com/ magzter.com
Leave a Reply