ළමයිත් එක්කාසු කරගෙන කොහෙහරි යන්න කියල හිතාගෙන උන්නට කොහෙද ඉතිං වෙලාවක්? දුරබැහැර පළාතක ඉන්නවා නම් කොළඹ දිහා නෑයෙක් බලන්න ඇවිත් හරි, එහෙම නැත්තං චාරිකාවක් විදියට හරි කොළඹ බලන්න ඒම නම් එන්නම ඕනි ගමනක්. කොළඹ මොන වගේද? ඒ ගිහින් අපිට ගන්න පුලුවන් අත්දැකීම් මොනවද කියලා වචනයෙන් විස්තර අහනවාට වඩා චාරිකාවක් හරහා අත්දැකීමෙන්ම ඒ දේවල් ලබාගන්නට ළමයිනුත් බොහෝම කැමති වෙයි. ඒ කොළඹ ගමනේදී බලන්නම ඕනි තැන් මොනවද? අපි ටිකක් ඒ ගැන හොයා දැනගනිමු.
1. ග්‍රහලෝකාගාරය

Image Source – aplf-planetariums.info
ග්‍රහලෝක, තාරකා ගැන සජීවීව ඉගෙනගන්න ග්‍රහලෝකාගාරය තරම් වෙන තැනක් ඇත්තේ නැහැ. ග්‍රහලෝකාගාරය දිනකට දර්ශන වාර දෙකක් පැවැත්වෙනවා. එකක් උදේ 10 අනික හවස 2. සතියේ දිනවල නම් උදේ දර්ශන වාරය වෙන්වෙන්නේ පාසැල් දරුවන්ට. මෙහි දර්ශන වාරයක් පැය එකහමාරක කාලයක් පැවැත්වෙනවා. මේ ග්‍රහලෝකාගාරය තියෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලය කිට්ටුවමයි. ටිකට් එකක් වැඩිහිටියන්ට රුපියල් 100/=ක් සහ ළමුන්ට රුපියල් 50/=ක් වෙන ග්‍රහලෝකාගාරය තුළට කෑම රැගෙන යන්න නම් ඉඩ දෙන්නේ නැහැ. ග්‍රහලෝකාගාරයේ ආසන සීමිතයි. එසේම රට වටෙන්ම දරුවෝ එනවා මේක නරඹන්න. බලන්න යනවා නම් පැයකටවත් කලින් ගිහින් ටිකට් එකක් වෙන්කරගන්න පුලුවන් නම් වඩා හොඳයි.
2. සත්තු වත්ත බලමු

Image Source – youtube.com
සත්තු බලන්න පොඩි ළමයි හැමෝම වගේ ආසයි. මේ සත්තු බලන්න ඉතිං දුර බැහැර වනෝද්‍යාන වලට යනවට වඩා කොළඹ ඇවිත් සත්තු වත්තේ සත්තු බලන එක ලේසියි. සත්තු වත්ත තියෙන්නේ දෙහිවල. එතරම්ම ඉඩ කඩ තියෙන තැනක් නොවුනත්, බලන්න සත්තු ගොඩාරියක් දෙහිවල ඉන්නවා. ඒ ඒ සතුන්ගේ නම් ආදිය කූඩුව ළඟ ගහල තියෙනවා. දරුවෝ එක්ක පෙරහැර යනවා වගේ ඔහේ යන්නේ නැතිව දරුවන් එක්ක සතුන්ගේ චර්යාවන්, ඔවුන්ගේ හැසිරීම් ආදිය බලලා සතුටු වෙලා එන්න සත්තු වත්ත හොඳ තැනක්.
3. ගෝල්ෆේස් එක

Image Source – newsfirst.lk
කොළඹ ඇවිත් ගෝල්ෆේස් ගියේ නැහැ කියන්නේ ඒ ගමන වැඩක් නැහැ වගේ අදහසක් තියෙන්නේ. ගෝල්ෆේස් එකට මෑත කාලයේ ගියොත් නම් අලුතින් හදන ශැංග්‍රිලා බිල්ඩිමයි, අයිටීසි එකයි බලාගන්නත් පුලුවන්. ගෝල්ෆේස් එකේ සරුංගල් උත්සව, ක්‍රීඩා උත්සව, සැණකෙළි, පහන් කූඩු ආදිය තියෙන දවසක යන්න පුලුවන් වුනොත් දරුවන්ට ගොඩක් සතුටු හිතෙයි. සාමාන්‍යයෙන් ගෝල්ෆේස් ටිකක් කට්ටිය වැඩි තැනක්. ඒත් ගෝල්ෆේස් එකට කට්ටිය ගොඩක් ආවත් හොඳට ඉඩ තියෙන තැනක්. මුහුදට බහිනකොට නම් දරුවෝ එක්ක ටිකක් පරෙස්සමින් බහින්න ඕනා. රට ඉඳන් ලංකාවට එන විදේශිකයින් අතර ස්ට්‍රීට් ෆුඩ් වලට ජනප්‍රියම තැනක් තමයි ගෝල්ෆේස් එකේ වෙරළ අයිනේ දිගට තියෙන කඩ ටික. ඒවායෙන් ඉස්සෝ වඩයක, නාන් රොටියක රස බලන්න ළමයි උනත් ගොඩක් ආසා වෙයි.
4. කොටුව දිහා පොඩි වෝක් එකක් දාමුද?

Image Source – pinterest.com
කොළඹ කොටුවේ මොනවද බලන්න තියෙන්නේ? කොළඹ කොටුව තුළ යටත්විජිත කාලේ පැරණි ගොඩනැගිලි ආදිය ඒ තිබුන විදියටම වගේ තවමත් තියෙනවා. ඔස්ට්‍රේලියානු බිල්ඩිම, කාගිල්ස් බිල්ඩිම, පැරණි තැපැල් කන්තෝරුව වගේ හරි ලස්සන ගොඩනැගිලි කිහිපයක්ම කොටුව සීමාව තුළ තියෙනවා. ඩච් හොස්පිටල්, ජනාධිපති මන්දිරය පැත්තත් බලලා එන්න පුලුවන් නම් හොඳයි. පොඩ්ඩොත් එක්ක ලෝක වෙළඳ මධ්‍යස්ථානේ පැත්තේ ගියොත්, ඒ ඉස්සරහපිට තියෙන පසුබිමේ සෙල්ෆියක් ගහන්නත් යන අය අමතක කරන්නේ නැහැ.
5. කැළණි විහාරය

Image Source – picture.lk
කැළණි විහාරය කියන්නේ කොළඹ පළාතේ තියෙන ඉපැරණිතම සිද්ධස්ථානය කිව්වොත් නිවැරදියි. කොළඹ නගරයේම නොවුනත් සති අන්තයක නම් කොළඹ ඉඳලා පැයකින් වගේ කැළණි විහාරයට එන්නට පුලුවන්. කැළණි විහාරයේ චෛත්‍යය, බෝධිය, විහාර ගෙය සහ කෞතුකාගාරය ආදී දේ කැළණි විහාරයේ නරඹන්නට තියෙන දේවල් අතර මූලිකම තැනක් ගන්නවා. කැළණි ගංගාවත් ඒ අසබඩින්ම යන නිසා කැළණි විහාරය කමණීය විහාරස්ථානයක්. ගඟෙන් එහා පැත්තේ තිබෙන විහාරස්ථානයට එදා නම් ගිහින් තියෙන්නෙ පාරු වලින්. දැන් නම් එතන ලස්සන පාලමක් තියෙනවා එහා පැත්තට යන්නට. කැළණි විහාරය තුළ ඇති සෝලියස් මෙන්දිස් මහතා ඇන්ද චිත්‍ර නූතන බෞද්ධ සිතුවම් කලාවේ නමගිය සිතුවම් පෙළක්. ළමයින්ට ආගම දහම පොඩි කාලෙදි කියා දෙන්න ඕනා. ඒ නිසා බෞද්ධ අයෙක් නම් කැළණි විහාරය, මුස්ලිම් අයෙක් නම් රතු පල්ලිය, ක්‍රිස්තියානි නම් කොච්චිකඩේ පල්ලිය, ද්‍රවිඩ අයෙක් නම් මයුරපති කෝවිල ආදී වටිනා සිද්ධස්ථාන කොළඹ ගමනකදී දරුවන්ට පෙන්වන එක බොහෝම හොඳයි.
6. නිදහස් චතුරශ්‍රය ආකේඩ්

Image Source – srilankafinder.com
නිදහසේ ස්මාරකය ලෙස හැඳින්වෙන නිදහස් චතුරශ්‍රය අවට දැන් වසර කිහිපයක සිට බොහොම ලස්සනට තියෙන තැනක්. දරුවන් එක්ක ගිහින් විනෝද වෙන්න, උයනේ ඉඳන් සතුටු වෙන්න නිදහස් චතුරශ්‍ර භූමිය හොඳයි. උද්‍යානයේ එක් පසෙක පෙම්වතුන් සිටියත්, බොහෝ පෙම්වතුන් නොමනා ලෙස හැසිරෙන්නේ නැහැ. ඒ අවට රූපවාහිනී සංස්ථාව, චිත්‍රපට සංස්ථාව දෙසට තියෙන මාර්ගය, ආකේඩ් එක, ඇවිදින මංතීරු, බයිසිකල් පැදීම ආදී දේ නිසා දරුවන් එක්ක පැය දෙක තුනක් වුනත් විවේකයෙන් ගත කරන්න පුලුවන් තැනක් තමයි නිදහස් චතුරශ්‍රය ආසන්න කලාපය. යාලුවන්ගේ ෆැමිලි එකක් දෙකකුත් සෙට් වුනොත් දරුවන්ට පොඩි සෙල්ලමක් කරගෙන ඉන්නත් ඉඩ පහසුව මේ ඉමේදි ලැබෙනවා.
7. කටු ගෙය

Image Source – timeout.com
ඉතිහාසය කියන්නේ ළමයින්ට පාසැලේදිත් ඉගෙනගන්න තියෙන විෂයයක්. කටුගේ හෙවත් කෞතුකාගාරය පැත්තේ දවසක් ගිහින් ළමයින්ට ඉතිහාසේ මතක සටහන් ගැන පොඩි දැනුමක් දෙන එක බොහොම නැණවත් වැඩක්. කොළඹ 07 තියෙන ප්‍රධාන කෞතුකාගාරය වගේම පිටකොටුවෙත් ලන්දේසි කෞතුකාගාරයක් තියෙනවා. කෞතුකාගාරය තියෙන කොළඹ 07 සීමාවේ දැන් නම් ලස්සන නෙළුම් පොකුණ රඟහල, විහාරමහාදේවී පාක් එක හෙමත් ආසන්නයේම තියෙනවා. කෞතුකාගාරය බලලා ඉවර වෙලා, ඇවිදලා ටිකක් නිදහසේ ඉන්න ළමයි එක්ක විහාරමහාදේවී පාක් එකට යන්න හැකියි.
ළමයින්ට කොළඹ බලාගන්න තියෙන්නේ මේ 7 පමණක් නෙවෙයි. තවත් වැදගත් ගොඩක් දේවල් තියෙනවා. නාට්‍යයක්, ෆිල්ම් එකක් බැලීම, හොඳ ප්‍රදර්ශනයක් බැලීම, පොත් පත් බැලීම වගේ දේවලුත් දරුවන් එක්ක කොළඹ ඇවිත් කරන්න පුලුවන් වටිනා වැඩ. ළමයි අවදිව ඉන්න දවසේ පැය 16ක් විතර කාලේ සතියේ දවස් හතම ළමයින්ට පාඩම් වැඩම කරන්නට කියා කියන්නට හොඳ නැහැ. ඔවුන්ට පාඩම් පොත් වලින් පමණක් නොව අවට සමාජයෙන්, ලෝකයෙන් දෙයක් ඉගෙනගන්නටද පහසුව සැලසීම දෙමාපියන්ගේ වගකීමක්. ළමෝ එක්ක කොළඹ චාරිකාවක් යෑම ඔබට, ඔබේ සහකාරයට විතරක් නෙමෙයි, මුලු පවුලටම අමුතු සැහැල්ලුවක් ලැබෙන දෙයක්. කොළඹ ගමන ළමයින්ට දැනුමකුත්, විනෝදෙකුත් ලැබෙන හොඳ අත්දැකීමක් කරගන්න මේ පෝස්ටුවේ කියන තැන් හරහා ඔයාලට පුලුවන් වේවි.
Cover Image Source – nkartravelhouse.com
Leave a Reply