කමුද කොරියන්? මෙන්න ලේසියෙන්ම හදාගන්න පුළුවන් කොරියන් කෑම වර්ග 5ක්

Korean Recipes

ඔය කොරියන් නාට්ටි වලට වහ වැටුන අය මේ දවස් වල හොයන්නෙ එයාල කන බොන ජාති ගැන. ඔන්න කොරියන් නාට්‍ය රසික රසිකාවියන්ට ලයිෆි අපි අරන් ආවෙ කොරියන් කෑම රෙසිපි ටිකක්. අපේ තාලෙට ගැලපෙන්න වගේම එහෙ තියෙන මෙහෙන් හොයාගන්න අමාරු දේවල් වලට ආදේශකත් එක් කරලයි මේ රෙසිපි ලියල තියෙන්නෙ කියලත් මතක් කරනව.

 

1. කිම්චි

Korean Recipes

Image Source – maangchi.com

කිම්චි හදන ක්‍රම ගණනාවක් තියෙනව. මේ ලියන්නෙ අපේ අයට පහසුවෙන් හොයාගන්න පුළුවන් දේවල් එක්ක කිම්චි හදන ක්‍රමයක්. මේ විදියට කිම්චි හදල තියාගත්තම බොහෝමයක් කොරියන් කෑම වර්ග වලට පාවිච්චි කරන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. චයිනීස් කැබේජ් ගෙඩියක්
  2. පාන් පිටි තේ හැඳි 3
  3. වතුර කෝප්පයක්
  4. සීනි තේ හැඳි 3
  5. තලාගත් සුදුළූණු බික් තුන හතරක්
  6. තලාගත් ඉඟුරු අඟල් බාගයක්
  7. ළූණු ගෙඩියක්
  8. සිහින්ව කපාගත් රාබු සහ කැරට්
  9. කපාගත් ළූණු කොළ
  • ගෝවා ගෙඩිය දෙකට කපාගෙන කොළ ඈත් කර සෝදාගන්න. (කොළ වෙන් වෙන්නම ඈත් කරන්න එපා) වතුර බේරගෙන කොළෙන් කොළේට හැමතැනම ගෑවෙන්න ලුණු ඉහගෙන පැය දෙක තුනක් වහල පැත්තකින් තියාගන්න.
  • ඊට පස්සෙ ගෝවා පලුව කොළ වෙන් නොවෙන්න දෙතුන් පාරක් සෝදල හොඳින් දිය බේරෙන්න තියාගන්න.
  • ඒ අතරතුර වතුර කෝප්පයක් දාගත්ත භාජනයකට පාන් පිටි සහ සීනි එකතු කරල තරමක් උකු ද්‍රාවණයක් වෙනකම් ලිපේ තියල හැඳිගාමින් රත් කරගන්න.
  • ඉඟුරු, සුදු ළූණු, ළූණු ටික බ්ලෙන්ඩ් කරගෙන පැත්තකින් තියාගන්න. කලින් හදාගත්ත පාන් පිටි මිශ්‍රණයට මේ ළූණු මිශ්‍රණය සහ කපාගත් රාබු, ළූණු කොළ සහ කැරට් එකතු කරගන්න. එයටම ලුණු තේ හැන්දක් සහ මිරිස් කුඩු තේ හැඳි හයක් හතක් සැර අනුව එක් කරගෙන මිශ්‍ර කරගන්න.
  • මේ මිශ්‍රණය දිය බේරාගත් ගෝවා ගෙඩියේ කොළෙන් කොළයේ තැවරෙන පරිදි දමාගෙන, වීදුරු බෝතලයක ගබඩා කර ශීතකරණයේ තබාගන්න. අවශ්‍ය විටදි පාවිච්චි කරන්න පුළුවන්.

 

2. කිම්චි රාමෙන්

Korean Recipes

Image Source – thedailymeal.com

අර කලින් හදාගත්තු කිම්චි එකතු කරන් ලේසියෙන් හදාගන්න පුළුවන් නූඩ්ල්ස් සුප් එකක් මේ.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. ක්ෂණික නූඩ්ල්ස් පැකට් 1
  2. සිහින්ව කපාගත්ත හතු හෝ චිකන් (කැමැත්ත පරිදි)
  3. ඉස්ම සමඟ කපාගත් කිම්චි කප් 1/2
  4. සුප් කැටයක් දියකරගත් වතුර කප් 2 1/2
  5. මිරිස් කුඩු තේ හැඳි 1/2
  6. සීනි තේ හැඳි 1/4
  7. කපාගත් ළූණු ගෙඩියක්
  8. එළවළු තෙල් මේස හැන්දක්
  9. තල තෙල් බිංදු කීපයක්
  • එළවළු තෙල් භාජනයකට දමා රත් වෙන්න හැර එයට චිකන් හෝ හතු එක් කරගන්න. විනාඩි දෙක තුනක් බැදෙන්නට හැර එයට කිම්චි කැබලි ටික පමණක් එක් කරගෙන විනාඩි දෙකක් තෙම්පරාදු කරගන්න.
  • නූඩ්ල්ස් හැර ඉතිරි ද්‍රව්‍ය සියල්ලම තෙම්පරාදුවට එක් කරගන්න. නූඩ්ල්ස් එක රසකාරක පැකට් එක ඉවත් කර තම්බා පෙරාගන්න. පිළිගැන්විය හැකි බෝල් එකකට නූඩ්ල්ස් එක් කර, එයට උඩින් සාදාගත් සුප් එක එකතු කර උණුවෙන්ම පිළිගන්වන්න.

 

3. බිබිම්බැප් කොරියන් රයිස් බෝල්

Korean Recipes

Image Source – chowhound.com

මේක 4 දෙනෙකුට සෑහෙන සම්පූර්ණ ආහාරවේලක්. කොරියන් ජාතිකයන් කොහොමත් බත් කන්නෙ පොඩි ප්‍රමාණයක්. ඔබට අවශ්‍ය පරිදි බත් ප්‍රමාණය වැඩි කරගන්න. කැමති මස් හෝ මාළු වර්ගයක් එකතු කරගෙන හදාගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පිසගත් බත් කෝප්ප 2
  2. සිහින්ව දිග අතට කපාගත් කැරට් පොඩි ගෙඩි 2
  3. පැල මුං කප් 2
  4. තලාගත් සුදු ළූණු බික් 4
  5. බැදගත් තල ඇට තේ හැන්දක්
  6. සෝයා සෝස් මේස හැන්දක්
  7. කිම්චි කප් 1
  8. ඔලිව් හෝ එලවළු තෙල්
  9. ලුණු සහ ගම්මිරිස් රස අනුව
  10. බුල්සයි කරගත් බිත්තර 4ක්

ස්පයිසි සෝස් එක සඳහා

  1. සෝයා සෝස් මේස හැඳි 3
  2. කෑලි මිරිස් තේ හැන්දක්
  3. සීනි තේ හැන්දක්
  4. ඇට ඉවත් කර කපාගත් වියලි මිරිස් කරල් දෙක තුනක් එක් කර මිශ්‍ර කරගන්න.
  • තෙල් මේස හැන්දක් රත්වෙන්නට හැර එයට කපාගත් කැරට් සහ ලුණු ස්වල්පයක් එක් කරගෙන විනාඩියක් දෙකක් තෙම්පරාදු වෙන්නට හැර කැරට් ටික ඉවත් කරගන්න. එම බඳුනටම තවත් තෙල් හැන්දක් එක් කර මුංපැල සහ සුදු ළූණු එක් කර තෙම්පරාදු කරගෙන ඉවත් කරගන්න.
  • එම බඳුනටම තව තෙල් ස්වල්පයක් එක් කර කපාගත් මාළු හෝ මස් එක් කර පිසගන්න. රස අනුව ලුණු, ගම්මිරිස් සමඟ තලතෙල්, තල ඇට සහ සෝයා සෝස් එක් කර ගන්න.
  • බත් වලින් කොටසක් බෝල් එකකට දමා එයට උඩින් පිසගත් සියල්ල සමඟ කිම්චි සහ බිත්තරය තබා පිළිගන්වන්න. සැර කැමැත්ත පරිදි ස්පයිසි සෝස් එක ඉසගන්න.

 

4. දක්ගල්බි

Korean Recipes

Image Source – chowhound.com

කොරියන් චිකන් ඩිශ් එකක්. සුදු බත් එක්ක අපූරුවට ගැලපෙන කරියක්. එළවලු වර්ගත් එකතු කෙරෙන හින්ද මේක විතරකුත් ඇති බත් කන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කුඩාවට කපාගත් කටු රහිත චිකන් 500g
  2. කුඩාවට කපාගත් ගෝවා ගෙඩි බාගයක්
  3. කුඩාවට කපාගත් බතල ගෙඩියක්
  4. කපාගත් ළූණු කප් 1
  5. කපාගත් අමු මිරිස් කරල් කීපයක්
  6. සෝයා සෝස් මේස හැඳි 3
  7. තලාගත් සුදු ළූණු බික් 10
  8. තලාගත් ඉඟුරු මේස හැන්දක්
  9. චිලි සෝස් කප් 1/2
  10. කෑලි මිරිස් මේස හැඳි 2
  11. සීනි තේ හැන්දක් දියකරගත් වතුර කප් 1/2
  12. ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
  13. මිංචි කොළ මිටක්
  • චිකන් වලට සෝයා සෝස් මේස හැන්දක් සහ ගම්මිරිස් කුඩු එක් කර පසෙකින් තබාගන්න. බ්ලෙන්ඩරයට ඉඟුරු, සුදු ළූණු, කෑලි මිරිස්, චිලි සෝස්, සෝයා සෝස් මේස හැඳි 2 සහ වතුර එක් කර බ්ලෙන්ඩ් කරගන්න.
  • භාජනයක් ගෙන එහි අඩියට ගෝවා අතුරාගන්න. එයට උඩින් කැරට්, බතල, ළූණු, අමුමිරිස් සහ අවසානයට මිංචි කොළ අතුරාගන්න. එයට උඩින් මැරිනේට් කරගත් චිකන් එක් කර, චිකන් උඩට සාදාගත් සෝස් එක එක් කරගන්න.
  • සාමාන්‍ය ගින්දරේ විනාඩි දෙකක් පමණ පිසෙන්නට හැර හොඳින් මිශ්‍ර කර පියනකින් වසා ගන්න. ගින්දර අඩුම කර විනාඩි 20ක් පමණ පිසගන්න. බත් සමඟ උණුවෙන්ම පිළිගන්වන්න.

 

5. හොත්තොක්

Korean Recipes

Image Source – maangchi.com

මේක කොරියන් ඩෙසර්ට් එකක්. ඕනම කෑමක් කෑවට පස්සෙ පැණි රසක් කන එක පුරුද්දක්නෙ. මේ කොරියන් ස්වීට් පෑන් කේක් හදන හැටි.

අවශ්‍ය ද්‍රව්‍ය

ඩෝ එක සඳහා

  1. පාන් පිටි කප් 1 1/4
  2. ලුණු තේ හැඳි 1/2
  3. සීනි තේ හැන්දයි
  4. යීස්ට් තේ හැන්දයි
  5. ලා රස්නෙන් කිරි 125ml

ෆිලින්ග් එක සඳහා

  1. දුඹුරු සීනි කප් 1/4
  2. කුරුඳු කුඩු කප් 1/4
  3. කපාගත් කජු මේස හැඳි 2
  • ඩෝ එක සඳහා ඇති සියල්ල භාජනයකට එක් කර හොඳින් අනාගන්න. රෙදි කැබැල්ලකින් වසා එය දෙගුණයක් සයිස් එකට පිපෙනකම් පැයක් පමණ තබාගන්න.
  • හොඳින් පිපී ආ පසු අතින් තද කර හුළං ගතිය ඉවත් කර නැවත විනාඩි 20ක් වසා තබන්න. විනාඩි 20කට පසු අතේ තෙල් ස්වල්පයක් ආලේප කරගෙන ඩෝ එක බෝල 6කට කඩාගන්න.
  • ෆිලින්ග් එකට ඇති සියල්ල එකට මිශ්‍ර කරගන්න. ඩෝ එකෙන් බෝලයක් ගෙන එය පැතලි කරගෙන, ෆිලින්ග් එකෙන් හැන්දක් මැදට තබාගෙන හොඳින් ආවරණය කරගෙන මහත පැතලි රොටියක හැඩයට හදාගන්න.
  • තෙල් ඉසගත් නන්ස්ටික් තැටියක දමා දෙපැත්තම රන්වන් පාට වන තුරු බැදගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *