පවුලක් පන්සලක් වෙලා ඉන්න දෙන්නෙක් විතරක් නෙවෙයි, පෙම්වතුන් යුවළක් උනත් කැමතියි හවස් වරුවක නිදහසේ අත් අල්ලගෙන හෙමින් සැරේ පිය මනින්න, නැත්නම් වාඩි වෙලා කතා කර කර ඉන්න අවකාශයක් තියෙනවා නම්. ඇත්තටම මේ වෙනකොට ඒ වගේ තැන් කොළඹ සහ අවට ඕනෑ තරම් තියෙනවා. ඒ තැන්වල පෙම් සුව විඳින එක නම් ගැටළුවක් වෙන්න පුලුවන්. ඒත් නිස්කලංක හවස් වරුවක් ගත කරන එකට නම් කවුරුත් මොකවත් කියන්න එන්නේ නෑ. මේ කියන්න යන්නේ ඒ වගේ කොළඹ සහ අවට තියෙන සුන්දර උද්‍යාන නැතිනම් පාර්ක් සහ ඒ ගණයටම දාන්න පුලුවන් අවකාශයන් හතක් ගැන .
1. ගෝල් ෆේස්

Image Source – visitcolombo.com
කොළඹ පාක් ගැන කියද්දි කොළඹ ආපු ගියපු හැම කෙනාගෙම මතකයන් එක දවසකට හෝ බැඳිලා තියෙන ගෝල්ෆේස් එක ගැන කතා නොකර කොහොමද? හැබැයි පෙම්වතුන්ගේ නිදහස කියන දේ ගැන නම් ගෝල්ෆේස් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා තමයි. ගෝල්ෆේස් එකෙන් නිදහස හොයන්න වෙන්නේ කුඩයක් යට විතරයි. හැබැයි ගොඩක් හවස් වෙලා සෙනඟ පිරෙන්න කලින්, ඉර බැහැගෙන යන රතු පාට අහසින් පාට වැටුණු මුහුද දිහා බල බල, ගෝල්ෆේස් එකේ බංකුවක වාඩි වෙලා දෙන්නත් එක්ක කතා කර කර ඉන්න පුලුවන්. ගොඩක් හවස් වෙද්දි ගෝල්ෆේස් එක ජනාකීර්ණ උනත් පවුල පිටින් ඇවිල්ලා නිදහසේ ඇවිදින්න කරන්න ලොකු ගැටලුවක් නෑ. ඒ විතරක් නෙවෙයි, ගෝල්ෆේස් එකේ කෑම ගැනත් බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ. ඉස්සෝ වඩේ ඕන්නං ඉස්සො වඩේ, කකුළු වඩේ ඕන්නං කකුළු වඩේ! තව කෑම ජාති ඕන තරම් තියනවා තෝරගන්න.
2. දියත උයන

Image Source – madararanmuthugala.wordpress.com
රාජගිරිය බත්තරමුල්ල අවට කාර්යාලවල වැඩ ඇරිලා එන ගොඩක් දෙනෙක්ගේ ප්‍රියතම පොට් එකක් තමයි දියත උයන කියන්නේ. ඕන නං නිදහසේ ඇවිදින්න හදපු පාරවල් තියෙනවා. නැත්නම් වාඩි වෙලා කතා කර කර ඉන්න ඔය අසබඩ බංකුවක් හොයාගන්න බැරි නෑ . පොඩි බඩගින්නක් එහෙම ආවොත් ආස කෑමක් තෝරා ගන්න වෙනම Food Court එකක්ම තියෙනවා .ඕන නම් එහාපැත්තේ පැළ ප්‍රදර්ශන තියෙන වෙලාවක ගිහින් දෙන්නත් එක්ක ගිහිල්ලා පැළයක් දෙකක් ගන්න පුළුවන් . පවුලේ අයත් එක්ක ඇවිල්ලා විනෝද වෙන්නත් මෙතන කදිමයි.
3. විහාර මහා දේවි පාක් /සතුටු උයන

Image Source – en.wikipedia.com
සාමාන්‍යයෙන් සතුටු උයන කිව්වහම, ඕනම කෙනෙක්ට පොඩි කාලේ මතක් වෙයි. එතකොට විහාරමහාදේවි උද්‍යානය කිවුවහම ඕකට කපල් පිටින් රිංගපු තරුණ කාලේ මතක් වෙයි. විහාරමහාදේවී උද්‍යානයේ පෙම් සුව විඳින්න ආපු ගියපු කතා පැත්තකින් තියමු. අදටත් විහාරමහා දේවි උද්‍යානය කියන්නේ හවස් වරුවක දරුවොත් එක්ක වුනත් ඇවිත් ඇවිදින්න කරන්න ගැටළුවක් නැති තැනක්. ඇවිදින්න තියෙන භූමි ප්‍රමාණයත් විශාලයි. එතකොට සතුටු උයනේ පොඩි අයට සහ වැඩිමහලු අයටත් සතුට ලබාදෙන්නම නිර්මාණය කරලා තියෙන නානාප්‍රකාර ක්‍රම තියෙනවනේ. සතුටු උයනට එක්කගෙන යනවා කියන්නේ ඕනෑම පොඩි එකෙක්ගේ හීන හැබෑ වීමක් වගේ තමයි. ඒ නිසා විහාර මහා දේවී පාක් එකේ හවස් වරුවක නිදහසේ ඇවිදලා කරලා, ඉන් පස්සේ කැරකෙන ප්ලේන් එකක හරි මෙරිගෝ රවුන්ඩ් එකක හරි යන්න සතුටු උයනට ගොඩවදින්න පුලුවන්.
4. වේරැස්ගඟ පාර්ක්

Image Source – yamu.lk
බොරලැස්ගමුව පැත්තෙ ගියපු කෙනෙක්ට කවදාවත් බෙල්ලන්විල රජ මහා විහාරයට ආසන්නයේ තියෙන වේරැස් ගඟ පාර්ක් එක නම් අමතක වෙන්න විදියක් නෑ. විශේෂයෙන්ම බයිසිකලයක් පැදගෙන හවස එන කෙනෙක්ට නම් බයිසිකල් පදින්න බොහොම ලස්සන මංතීරුවක් මෙතන තියෙනවා. ඕනනම් යාළු මිත්‍රයින්ට හරි, පවුලේ උදවියට හරි, දෙන්නත් එක්ක හරි නිදහසේ වාඩි වෙලා කතා කර කර ඉන්න පුළුවන් බංකු තියෙනවා. ලස්සනට ගල් අල්ලලා අතරින් පතර තණකොළත් වවලා තියෙන මේ පාර්ක් එක ඇස පිනවන දර්ශනයක් කිව්වොත් වැරදි නැහැ. බඩගින්නක් වුණොත් එහෙම එතනම තියෙන Food Stall එකකට ගිහිල්ල ආස දෙයක් ගන්නත් පුළුවන්.
5. දියවන්නා ඔය පාර්ක්

Image Source – timeout.com
දියවන්නාව සහ ඒ ආශ්‍රිතව තියෙන ගොඩනැගිලි වලට නම් සාමාන්‍යයෙන් ලංකාවේ ගොඩක් අයගේ එච්චර මනාපයක් නෑ. හැබැයි ඉතිං පාර්ලිමේන්තුව ඇරුනහම දියවන්නාව අවට මනාව නිම කරලා තියෙන ඇවිදින්න තියෙන මංතීරු, ගොඩනැගිලි සහ හාත්පස පරිසරයම හරිම ලස්සනයි. විශේෂයෙන්ම ඉර බැහැල ගියාට පස්සේ හවස්වරුවේ මේ මාර්ග වල ඇවිදින එකම සතුටක්. කෑම බීම ඕන නම් ගන්න වෙනම ඒකටම වෙන් කරපු පොඩි පොඩි කෑම කඩ තියනවා. ඕනෑ නම් එහා පැත්තේ ලොකු පාර්ලිමේන්තු පිට්ටනියත් තියෙනවා. අඳුර වැටෙන්න පටන් ගත්තම තමයි මෙතන ගොඩක්ම ලස්සන . පාර්ලිමේන්තුවේ ඉන්න මිනිස්සු කෝක උනත් තවමත් දියවන්නාව කියන්නේ බොහෝම සුන්දර දර්ශනයක් තියෙන තැනක් කියන එක අමතක කරන්න එපා.
6. බැද්දගාන තෙත්බිම් උයන

Image Source – srilankantravellers.blogspot.com
බැද්දගාන කියන්නේ ලොකු දුරක් නෙවෙයි. මේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේම තමයි. මේ තෙත්බිම් උයන කුරුළු පාරාදීසයක්. තෙත් බිම් මැදින් කුරුල්ලන්ව දකිමින් ඇවිදින්න පුළුවන් මංතීරු මේ පාක් එකේ තියෙනවා. කුරුල්ලෝ විතරක් නෙවෙයි සමනලයෝ, බත් කූරෝ, වෙනත් උභය ජීවීන් විශේෂ එහෙමත් ගණනාවක් මේ තෙත් බිමේ දැකගන්න පුළුවන්. මෙතන සුදුසුයි විශේෂයෙන්ම දරුවන් එක්ක ගිහින් නිස්කලංක හැන්දෑවක් ගත කරන්න. දරුවන්ට ස්වභාවධර්මය ගැන කියලා දෙන්න. මෙතන තියෙන්නේ පුදුමාකාර ශාන්ත පරිසරයක්. මෙතන කුරුල්ලො බලන්න හදලා තියන කුළුණක්, ගිමන් හරින්න පුංචි පුංචි හට් එහෙමත් තියෙනවා.
7. අත්තිඩිය කුරුළු රක්ෂිතය

Image Source – roshographs.blogspot.com
අහන්න ලැබෙන්නේ බෙල්ලන්විල අත්තිඩිය තෙත් බිම් කලාපය තමයි කොළඹ තියෙන ප්‍රධානතම තෙත්බිම කියලා. ජෛව විවිධත්වයෙන් අනූන මේ ප්‍රදේශය කුරුල්ලන්ගේ රජදහනක් විතරක් නෙවෙයි, මේ තෙත් බිම උරග විශේෂ, උභයජීවී විශේෂ එහෙමත් සෑහෙන්න ඉන්න පාරාදීසයක්. සමහරු කියනවා මේ තෙත් බිමේ උරග විශේෂ විතරක් නෙවෙයි, කිඹුලෙක් එහෙමත් ඉන්නවා කියලා. ඒ කතාවල ඇත්ත නැත්ත නම් අපි දන්නේ නෑ හැබැයි. කණගාටුවට කාරණය තමයි සංවර්ධන වැඩ කටයුතු හින්දා මේ වෙනකොට මේ තෙත් බිමේ ඉස්සර තිබුණු ස්වභාව සෞන්දර්ය හීන වෙලා ගිහින් තිබීම. එහෙම වුණත් තාමත් කුඩා දරුවොත් එක්ක ඇවිත් ස්වභාව සෞන්දර්ය අත්විඳින්න, ජෛව විවිධත්වය ගැන කුඩා දරුවන්ට කියලා දෙන්න මේක බොහොම හොඳ ප්‍රදේශයක්. මෙතනට එනකොට මාලිනී බුලත්සිංහල මාවතේ නැදිමාල ඇළ මාර්ගය අසල වනජීවී කාර්යාලය තියෙනවා. එතනින් අවශ්‍ය වැඩිමනත් තොරතුරු දැන ගන්න පුළුවන්.
Cover Image Source -timeout.com
Leave a Reply