ලංකාව හෙල්ලූ දේශපාලඥයින්ගේ ඝාතන 7ක්

Political assassination

මහජන නියෝජිතයින් මගින් දේශපාලනය කරන රටකට සිදුවිය හැකි නරකම ඉරණමක් නම් දේශපාලන නායකයින් අකාලයේ ඝාතනය වීමයි. ඒ හරහා දේශපාලන නායකත්වයට සුදුසු දක්ෂයින් දේශපාලනයෙන් අකාලයේම ඉවත්කෙරුණි. ලූලන් නැති වලට කණයින් පණ්ඩිතයින් මෙන් දෙවන පෙළ දේශපාලකයින් රැසකට ඒ ඝාතන හේතුවෙන් මුල් පෙළට එන්නට හැකියාව ලැබුණි. ලංකා දේශපාලනයේ 1990 දශකය ගත්විට දේශපාලන ඝාතන ගණනාවක් ලංකාවේ දේශපාලනික ගමන් මග ප්‍රබල ලෙසම වෙනස් කළේය. ඉතිහාසය ඉගැනීමක් මිස එය වෙනස් කිරීමේ අවකාශයක් කිසිවෙකුට නැතත්, ප්‍රබලයින්ගේ ඝාතන ලංකාවේ දේශපාලනයේ ගමන් මග කෙරෙහි බලපෑ ආකාරය ගැන මදක් සිතා බැලීමට ඒ ඝාතන නැවත මතක් කිරීම වටී.

 

1. ආර්. ප්‍රේමදාස ඝාතනය

Political assassination

Image Source – dbsjeyaraj.com

මෑත ඉතිහාසයේ සිදුවූ ඝාතන අතුරින් ලාංකීය දේශපාලනය උඩු යටිකුරු කළ ඝාතනයක් ලෙස ආර් ප්‍රේමදාස මහතාගේ ඝාතනය දැක්විය හැකිය. එතුමා සැබැවින්ම සක්‍රිය දේශපාලකයෙක් විය. මර්දනයද සංවර්ධනයද සැබැවින්ම දැනෙන ආකාරයට කිරීමට සමත් ආර් ප්‍රේමදාසට ආසන්න හෝ චරිතයක් ලාංකික දේශපාලන ව්‍යුහය තුළම නොවේ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්ව ආර් ප්‍රේමදාස මහතා මියගියේ 1993 මැයි 1 දාය. මිය යනවිට ආර් ප්‍රේමදාස මහතා මැයි පෙළපාලියට සම්බන්ධ වී සිටියේය. එම අවස්ථාවේදී ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා ආරක්ෂක අංශ වල ප්‍රභූ ආරක්ෂක පිළිවෙත් නොසලකමින් කටයුතු කිරීම, ඝාතනය වීමට සැබෑම හේතුව විය. පසුකලෙක ප්‍රේමදාස ජනාධිපතිතුමා ගැන නොයෙකුත් කටකතා පැතිරුනත්, ඔහු විසින් ආරක්ෂක නිළධාරින්ගේ විද්‍යාත්මක උපදෙස් සැලකිල්ලට ගත්තේ නම් මෙවන් ආකාරයට ඝාතනය වීමට ඉඩ නොතිබුණි.

 

2. ගාමිණී දිසානායක මහතාගේ ඝාතනය

Political assassination

Image Source – cricketique.wordpress.com

ගාමිණී දිසානායක මහතා පාර්ලිමේන්තුවට එන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනි. නුවරඑළියේ සුළුජාතීන් බහුතරයක් සිටියත්, ඒ සියල්ලගේ සිත් දිනාගෙන ඉදිරියට එන්නට ගාමිණී දිසානායක සමත් විය. ලංකාවේ ජල විදුලිය නිපදවීමට මෙන්ම ගොවිතැන් කටයුතු සඳහාද උපයෝගී වූ මහවැලි ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට දරදිය ඇද්දේ ගාමිණී දිසානායක මහතාය. එතුමා ඒ සඳහා ස්වීඩනය, ජර්මනිය සහ එංගලන්තය සමග සාකච්ඡා පවත්වා ආධාර උපකාර ගත්තේය. අද යම් ඇමතිවරයෙක් තනතුරකට පත් වූ කල ඔහුගෙන් අපිට අහන්නට ලැබෙන ප්‍රධාන අඳෝනාව නම් ඔහුට භාණ්ඩාගාරයෙන් වැඩ සඳහා මුදල් නොලැබෙන කතාවය. එහෙත් ගාමිණී දිසානායක මහතා එසේ අනුන්ගෙන් මුදල් ලැබෙන තෙක් බලාසිටි අයෙකු නොවේ. ඔහුම මැදිහත් වී ඔහුගේ ව්‍යාපෘති වලට මුදල් සොයාගැනීමට සමත් විය. ජාතික ගැටළුව, ජ.වි.පෙ කැරැල්ල මර්දනය ගැන තරමක් ගැඹුරු කියවීමක් තිබූ ගාමිණී දිසානායක මහතා, ඒ කරුණු සම්බන්ධ ස්ථාවරය හේතුවෙන් කැපිල්ලටද ලක් වුණි. ලංකා ක්‍රිකට් 1996දී ලෝක කුසලානයෙන් ඔපවත් වීමට දිසානායක මහතාගේ මැදිහත්වීම බලපෑවේය. එවකට ජනප්‍රිය චන්ද්‍රිකා මැතිණියට මැතිවරණ වේදිකාව තුළ ප්‍රබල විරෝධයක් ගොඩ නගමින් සිටි ගාමිණී දිසානායක, 1994 ඔක්තෝම්බර් 23 දා තොටළඟ රැස්වීමක් අමතමින් සිටියදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක් විය.

 

3. ලලිත් ඇතුලත්මුදලි ඝාතනය

Political assassination

Image Source – dailynews.lk

උගතුන් පාර්ලිමේන්තුවට යැවීම ගැන සමාජයේ උනන්දුවක් ඇති වී තිබේ. එහෙත් වර්තමානයේ පාර්ලිමේන්තුව තුළ සිටින උගතුන් කෙතරම් රටට ජනතාවට වැඩක් කරයිදැයි කියා ඇසුවොත් එයට පැහැදිළි පිළිතුරක් දීමට අපහසුය. ලලිත් ඇතුලත්මුදලි හාවඩ් උපාධිධාරියෙකි. එතුමා ඒ ප්‍රකට විශ්ව විද්‍යාලයේ උපාධිය ආභරණයක් කොට ගත්තෙක් නොවේ. ඔහුගේ සමස්ථ පාර්ලිමේන්තු කාලය තුළ පනත් 24ක් සම්මත කොට ගෙන ජනතාවට සෙත සලසන්නට ඇතුලත්මුදලි මහතාට හැකි විය. ආරක්ෂක හමුදා යුද්ධයකට සරිලන ලෙස සන්නද්ධ කිරීම, මහපොළ භාරකාර අරමුදල පිහිටුවීම, බුද්ධිමය දේපළ පනත, ලොතරැයි මණ්ඩලය ආදිය පිහිටුවීම ලලිත් ඇතුලත්මුදලිගේ වැඩ විය. සක්‍රිය දේශපාලකයෙකු වූ ලලිත් ඇතුලත්මුදලි 1993 අප්‍රේල් 23 වැනිදා නාඳුනන වෙඩික්කරුවෙකුගේ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් විය. අදටත් අභිරහසක් වූ ලලිත් ඇතුලත්මුදලි ඝාතනය එවකට එල්. ටී. ටී. ඊ සංවිධානයටම බැර වූ තවත් එක ඝාතනයක් විය.

 

4. ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය

Political assassination

Image Source – dbsjeyaraj.com

ලංකාවේ පැවති යුද්ධය ලංකාවෙන් බැහැර ජනයා හඳුන්වාදෙන්නේ සිවිල් යුද්ධයක් ලෙසය. එල්. ටී. ටී. ඊ ය ත්‍රස්තවාදී සංවිධානයක් වුවද ඔවුන් රටින් පරිබාහිර ක්‍රියා වලට දායක වී නොමැති බැවින් එය රට තුළම බිහි වූ සංවිධානයක් ලෙස හැඳින්වේ. එහිදී රජීව් ගාන්ධි ඝාතනය, විදෙස් සංවිධාන හරහා මුදල් එකතු කිරීම ආදී දේ සිදු වුවත්, ඒ සියල්ල මූලික වූයේ ලංකාවෙන් වෙනමම රාජ්‍යයක් ලබාගැනීමේ අරමුණ වෙනුවෙනි. එම බෙදුම්වාදී යුද්ධය ඇතිවන්නට දේශපාලකයින් රැසක් මුල් විය. එසේම මහින්ද රාජපක්ෂ සමයේ සම්පූර්ණයෙන්ම යුධමය වශයෙන් එල්. ටී. ටී. ඊ ය හමාර කෙරුණත්, එයටද කාලයක් තිස්සේ දිරිදුන් දේශපාලකයින් රැසක් විය. කොළඹ සහ සිංහල සමාජයේ බෝම්බ පුපුරුවාලමින් එල්. ටී. ටී. ඊ ය භීෂණය සාමාන්‍ය සමාජය කරා ව්‍යාප්ත කරන විට ඒවා නිවැරදිව ලෝකයට වාර්තා කර එල්. ටී. ටී. ඊ ජාත්‍යන්තර ජාලය අඩපණ කිරීමට ලක්ෂ්මන් කදිරගාමර් මහතා අයෝමය ශක්තියක් විය. ජාතියෙන් දෙමළ වුවත් එතුමා ශ්‍රී ලංකා රජයේ විදේශ අමාත්‍යවරයා විය. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය වැනි උසස් තනතුරකට පවා සුදුසුකම් කියූ කදිරගාමර් මහතාගේ එම දේශපාලන දිවිගමන 2005 අගෝස්තු දොළොස්වැනිදා නිමාවට පත් වූයේ සාහසිකයෙකුගේ වෙඩි පහරකිනි. එයද එවකට ක්‍රියාත්මක එල්. ටී. ටී. ඊ සංවිධානයට බැර වූ නමුදු ඒ පිළිබඳ කටකතා කිහිපයක්ම පසුකාලීනව මතුවුණි.

Political assassination

Image Source – gettyimages.com

5. විජය කුමාරතුංග

Political assassination

Image Source – youtube.com

නළුවෙකු ලෙස සිනමාව දික්විජය කළ විජය අවසාන කාලයේදී දේශපාලනයට පිවිසියේය. ජාතිවාදයේ එල්ලීගෙන කරන ලාබ දේශපාලනයට වඩා විජය ප්‍රියකළේ ජාතීන් අතර සමගිය වැඩිදියුණු කරන දියුණු දේශපාලනයකටය. එහෙත් විජයගේ ගමන සාහසිකයකුගේ වෙඩි පහරින් නැවතුණි. විජයගේ මරණය දේශපාලනයට නවතම බණ්ඩාරනායක සලකුණක් එකතු කරන්නට සමත් විය. විජයගේ මරණයෙන් පසු චන්ද්‍රිකා 1994 දී බලයට පත් විය. විජය කුමාරතුංග රංගන ශිල්පියෙක් වුවත් ඔහුගේ මානව හිතවාදී දේශපාලනය මිනිසුන්ගේ හදවත් වෛරයෙන් මුසපත් කරන්නට නොව, එකිනෙකා එකතු කරන්නට සමත් විය. විජය කුමාරතුංග 1988 පෙබරවාරි 16 වැනිදා ඝාතනයට ලක් විය. විජයගේ ඝාතනයට එදා ජනතාවගේ විමුක්තිය උදාකරන්නට අවි අතට ගත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන නායකත්වය මගින් උපදෙස් ලබා දී තිබුණු වග කියැවිණි.

 

6. රෝහණ විජේවීර ඝාතනය

Political assassination

Image Source – lankatruth.com

වාමාංශික හඬින් සන්නද්ධ අරගල දෙකක් කරා තරුණයින් ඇදගන්නට සමත් වූ විජේවීරගේ හඬ නිසල වූයේ බොරැල්ල කනත්තේ පණපිටින්ම පිළිස්සෙමින් සිටියදීය. කිසිසේත්ම මනුෂ්‍යත්වයට නොගැලපෙන එම විජේවීර  ඝාතනයට එවකට රජයේ ඉහළ පෙළේ කිහිප පොලකගේම නම ගෑවුණි. වාමාංශික දේශපාලනයේ අන්තවාදී පාර්ශවයක සිටි විජේවීර, එම තත්ත්වයට ගෙන ඒමට එකල දේශපාලනික පසුබිම පෙළඹුමක් විය. හඬ මර්දනය කරන්නට සිදුකරන විවිධ තහනම් අවසාන වන්නේ අවි ගැටුම් වලිනි. විජේවීරගේ හඬ ප්‍රජාතාන්ත්‍රිකව ඉදිරියට එන්නට දුන්නේ නම් බොහෝවිට විජේවීරද ලංකාවේ අනෙක් දේශපාලකයින්ගේ ගමන් මග ගත් අයෙක් වන්නට ඉඩ තිබුණි. එහෙත් දියුණු දේශපාලනයක් නැති තැන නොදියුණු ක්‍රම වලට පාලකයෝ මෙන්ම ජනතාවද පෙළ ගැසෙති. විජේවීර 1990 නොවැම්බර් 13 වන දින බොරැල්ල කනත්තේදී ඝාතනයට ලක් විය.

 

7. නාලන්ද එල්ලාවල ඝාතනය

Political assassination

Image Source – dailynews.lk

තරුණ දේශපාලකයකු වූ නාලන්ද එල්ලාවල වෙඩි තබා ඝාතනය කරන ලද්දේ දෙනෝ දහක් සිටින ස්ථානයකය. එහෙත් ඔහුගේ මිනීමැරුමට සැක කළවුන්ට එරෙහි චෝදනා ඔප්පු කරගන්නට නොහැකි විය. 1997 පෙබරවාරි 17 ඝාතනය වූ නාලන්දගේ ඝාතන නඩුව 2013 දී සියලු චූදිතයින් නිදොස් කොට නිදහස් කිරීමෙන් අවසාන විය. එවකට විපක්ෂ දේශපාලකයකු වූ සුසන්ත පුංචිනිලමේ ගේ නම ඒ ඝාතනය හා ඈඳුනද එය ඔප්පු කිරීමට සාක්ෂි නොමැති විය.

 

ප්‍රචණ්ඩත්වය විසින් නිර්මාණය කරන්නේ තවත් එවැනිම ප්‍රචණ්ඩ සමාජයකි. අවි අතට ගැනීමෙන් ප්‍රශ්න විසඳාගත හැකියැයි සිතුවද අවසානයේ සිදුවන්නේ තවත් ප්‍රශ්න නිර්මාණය වීම පමණකි. ඇතැම් විරුද්ධ දේශපාලකයින් මිය යන අවස්ථාවේ ලංකාවේම වැසියන් කිරිබත් පිස කෑ අවස්ථාද ඉතිහාසයේ සඳහන් වේ. එය මහජනතාව ලෙස වුවත් යම් නොගැලපෙන ක්‍රියාවකි. වචනයෙන්, කතාවෙන්, ජන බලයෙන් විසඳාගත හැකි ප්‍රශ්න උණ්ඩයෙන් විසඳාගන්නට ගිය තැන ඇතිවන ගැටුම් රැසකි. කෙසේ වෙතත් දේශපාලනයේදී අවි වලින් තොරව, ඝාතන වලින් තොරව, සාමකාමීව නිසි යුක්තියේ ක්‍රියාමාර්ග වලින් ප්‍රශ්න විසඳාගැනීමට අප සියලු දෙනා උත්සාහ කළ යුතුය.

Cover Image Source –dbsjeyaraj.com