ලෝකයේ බොහොමයක් අපරාධ වලට නීතියෙන් ලැබෙන දඬුවම වන්නේ යම්කිසි සිරදඬුවම් කාලයක් තමයි. පුද්ගලයෙක් කරපු අපරාධයේ බරපතළකම අනුව මේ සිරදඬුවම් කාලයේ අඩු වැඩිවීම් සිද්ධ වෙනවා. තවත් දරුණු ගණයේ අපරාධකරුවන්ට මරණ දඬුවම පවා හිමිවෙනවා. දීර්ඝ කාලීන සිරදඬුවමක් විඳීම, මරණ දඬුවමක් ලබා මෙලොවින් තුරන් වෙනවාටත් වඩා දුක්ඛිත තත්ත්වයක් හැටියට කෙනෙක්ට තර්ක කරන්නට පුළුවන්. අඩසියවසකටත් වඩා කාලයක් තිස්සේ සිරගතව වෙසෙන අපරාධකරුවන් අදටත් ලෝකයේ සිරගෙවල් වල තමන්ගේ ජීවිතය ගෙවමින් පසුවෙනවා.
මේ ලිපියෙන් අපි කියන්නේ එවන් වූ දීර්ඝතම සිරදඬුවම් විඳිමින් සිටින සිරකරුවන් පිරිසක් ගැනයි.
1. ෆ්‍රැන්සිස් ක්ලිෆර්ඩ් ස්මිත් – වසර 69
දැනට ලෝකයේ වැඩිම කාලයක් සිරගතව වෙසෙන පුද්ගලයා තමයි ඇමරිකානු ජාතික ෆ්‍රැන්සිස් ස්මිත්. ස්මිත්ගේ වයස දැන් අවුරුදු 92ක් වෙනවා. ඔහු මේ ගෙවන්නේ සිරගතව ගතකරන 69 වැනි අවුරුද්දයි. මේ විදිහේ සිර දඬුවමක් ලබන්න ෆ්‍රැන්සිස් කරපු වරද තමයි මංකොල්ලකෑමකට උත්සාහ කිරීමේදී ඒ ස්ථානයේ රාත්‍රී සේවයේ නිරත වී සිටි මුරකරුවෙකුට වෙඩි තබා මරා දැමීම. 1949 දී කරපු මේ අපරාධය වෙනුවෙන් ෆ්‍රැන්සිස්ව විදුලි පුටුව මගින් මරණ දඬුවමට ලක්කරන්න නියම වෙනවා. 1954 අවුරුද්දෙදි විදුලි පුටුවේ ඉන්දවන්නට ෆ්‍රැන්සිස්ගේ හිසකෙස් මුඩු කර, හැමදෙයක්ම සූදානම් පිට තිබිද්දී ඔහුගේ මරණ දඬුවම අහෝසි වෙනවා. ඒ මරා දමන්න පැය දෙකකට කලින්. එදා පටන් අද වෙනකල්ම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් විඳිමින් තමයි ෆ්‍රැන්සිස් පසුවන්නේ.
2. ජෝන් ෆිලිප්ස් – වසර 66
වයස අවුරුදු 5ක දැරියක්ව ලිංගික අපහරණයට ලක්කිරීම හේතුවෙන් 1952 අවුරුද්දෙදි ජෝන් ෆිලිප්ස්ට මරණ දඬුවම හිමි වෙනවා. නමුත් ඔහු මානසික දුර්වලතාවයකින් පෙළෙන තැනැත්තෙක් නිසා මේ මරණ දඬුවම ලිහිල් වෙලා ඒ වෙනුවට ජීවිතාන්තය දක්වා වන සිර දඬුවමක් පැණවෙනවා. සිරගත ජීවිතයට ඇතුල් වෙද්දී ෆිලිප්ස්ගේ වයස යන්තම් අවුරුදු 17ක් විතරයි. නීතියේ හැටියට නම් 1962 අවුරුද්ද වෙද්දි ෆිලිප්ස්ට නිදහස ලැබෙන්නට ඕනෙලු. ඒත් ෆිලිප්ස්ට ඒ කාලය වෙද්දි නිදහසක් හිමිවෙලා නැහැ. මේකට හේතුවුණ කරුණ මොකක්ද කියලා අනාවරණය වන්නේ නැහැ. කොහොම වුණත් ජෝන් ෆිලිප්සුත් කැමති නැහැලු නිදහස ලබලා සාමාන්‍ය සමාජයට ඇතුළු වෙන්න. ඔහු මේ වෙද්දි සිරගත ජීවිතේට හුරුවෙලා ඉන්න බවයි කියවෙන්නෙ. මේ වෙද්දි ජෝන් ෆිලිප්ස් ගෙවන්නේ සිරගතව ගතකරන 66 වැනි අවුරුද්ද.
3. ජෝසෆ් ලිගොන් – වසර 64
ලෝකයේ වැඩිම කාලයක් තිස්සේ සිර දඬුවම් විඳින බාල අපරාධකරුවා හැටියට තමයි ජෝසෆ් ලිගොන්ව සැළකෙන්නේ. 1953 අවුරුද්දෙදි ෆිලඩෙල්ෆියා වලදි පුද්ගලයන් දෙන්නෙක්ට පිහියෙන් ඇන මරාදැමීමට තමයි ලිගොන් වරදකරු වෙන්නේ. ඒ අපරාධය කරද්දි ලිගොන්ගේ වයස අවුරුදු 15ක්. කොහොම වෙතත් තමන් මේ අපරාධය නොකළ වග තමයි ලිගොන් අදටත් කියන්නේ. නවයොවුන් තරුණයෙක් හැටියට සිරගත වූ ලිගොන් මේ වෙද්දි 79 හැවිරිදි මහල්ලෙක්. ඔහු මේ වෙද්දි අවුරුදු 64ක් සිරගතව ජීවත් වෙලා තියනවා. 2016 අවුරුද්දෙදි පැරෝල් සමාවක් යටතේ ඔහුට නිදහස හිමිකරගැනීමේ අවස්ථාවක් ලැබුණත්, ලිගොන් එය ප්‍රතික්ෂේප කරනවා. ඔහු කියන්නේ තමන්ට පූර්ණ නිදහසක් හිමිවිය යුතු බවයි.
4. වෝල්ටර් බෝර්ක් – වසර 63
මිනීමැරුම් අපරාධයකට අවුරුදු 99කට සිරගෙට නියම වෙනකොට වෝල්ටර් බෝර්ක්ගේ වයස අවුරුදු 17යි. මුලදී මරණ දඬුවම හිමිවුණත්, පසුව වෝල්ටර්ගේ ලාබාල වයස සළකා බලලා ඔහුට දීර්ඝ කාලීන හිර දඬුවමක් ලැබෙනව. සිවු හැවිරිදි දැරියක්ව පොරවකින් කොටා ඝාතනය කිරීම තමයි වෝල්ටර් බෝර්ක් කළ වරද. වෝල්ටර් විසින් ඒ දැරියට ලිංගික හිරිහැර සිදුකිරීම දැරියගේ දෙමවුපියන්ට හෙළිවේවිය කියලා බයට තමයි වෝල්ටර් මේ ඝාතනය සිද්ධ කරන්නේ. 1972 අවුරුද්දෙදි පැය 72ක කාලයකට නිදහස් ලෝකයට පිවිසිලා, නිදහස් සුව විඳින්න වෝල්ටර්ට වාසනාව උදාවෙලා තියනවා. ඒ ඇරුනාම 1955න් ඇරඹුන අවුරුදු 63ක සිරගත ජීවිතය ඇතුළේදී වෝල්ටර්ට සිරගෙදරින් මිදී යන්නට කිසිම අවසරයක් ලැබිල නැහැ. හිරෙන් නිදහස් වෙලා සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට ජීවත් වෙන්න දැන්නම් තමන්ට ප්‍රමාද වැඩියි කියලයි වෝල්ටර් බෝර්ක් විශ්වාස කරන්නෙ.
5. වොරන් නටර් – වසර 62
ඇමරිකාවේ අයෝවා ප්‍රාන්තයේදී මරණ දඬුවම හිමිවුණ ලාබාලතම පුද්ගලයා හැටියට වාර්තාව උසුලන්නේ වොරන් නටර් තමයි. නටර් කරපු අපරාධය තමයි පොලිස් නිලධාරියෙක්ව ඝාතනය කිරීම. මේ අපරාධය කරද්දී වොරන් නටර්ගේ වයස අවුරුදු 18ක්. නටර් කියන්නේ ලාබාල අවධියේ පටන් සොරකම් සහ මැරකම් වලට යොමුවුණ චරිතයක්. හොරකමක් සඳහා තාවකාලික සමාවක් ලබාගෙන ඉන්න අවස්ථාවක තවත් සොරකමක නිරත වෙන්නට යාමේදී තමයි නටර් විසින් පොලිස් නිලධාරියෙක්ට වෙඩි තියන්නේ. මේ අපරාධය වෙනුවෙන් නටර්ට මුලදී හිමිවන්නේ මරණ දඬුවමයි. කොහොම වෙතත් ඒ කාලයේ සමාජයෙන් සහ ජනමාධ්‍ය හරහා නටර් ගැන යම්කිසි අනුකම්පාවක් පළ වෙලා තියනවා. ඉන් පස්සේ තමයි නටර්ගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් වෙන්නේ. පස්සෙ කාලෙකදී අයෝවා ප්‍රාන්තයේ මරණ දඬුවම බල රහිත කිරීමටත් මුල් පියවර වැටුණේ මේ නටර් මිනීමැරුම නිසා කියලා කියනවා. කොහොම වෙතත් වොරන් නටර් හැට දෙවසරක් තිස්සේ තවමත් සිරගත ජීවිතයක් ගත කරමින් තමයි ඉන්නේ.
6. පැට්‍රීෂියා ක්‍රෙන්වින්කල් – වසර 46
ඇමරිකාවෙන් බිහිවූ බිහිසුණුම අපරාධකාරයෙක් වුණු චාල්ස් මැන්සන්ගේ කල්ලියේ ප්‍රබල සාමාජිකාවක් තමයි පැට්‍රීෂියා ක්‍රෙන්වෙන්කල් කියන්නේ. මැන්සන්ගේ නියෝග වලට අනුව ගිහින් මිනීමැරුම් සිදුකිරීම නිසා තමයි පැට්‍රීෂියාට මේ දීර්ඝ කාලීන සිරදඬුවම හිමිවන්නේ. 1969 අගෝස්තු 9 සහ 10 දින වලදී මැන්සන් කල්ලිය සමග එක්වුණු පැට්‍රීෂියා මිනීමැරුම් කිහිපයකටම සම්බන්ධ වෙනවා. මේ නිසා මිනී මැරීම සහ මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීමේ වරද මත ඇයට 1971 දී මරණ දඬුවම හිමිවනවා. කෙසේ වෙතත් එවකට පවතින නීතිය අනුව එම දඬුවම ක්‍රියාත්මක වීම වැළකෙන්නේ ඇයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමි කර දෙමින්. අද වන විට පැට්‍රීෂියා සිරගත වෙලා වසර 46කුත් ඉක්ම ගිහින් අවසානයි. ඇය මේ වන විට ඉතාම ආදර්ශවත් හිරකාරියක් හැටියට ජීවත් වන බවයි ආරංචි වෙන්නේ. පැට්‍රීෂියා මැන්සන් පවුල හා එක්ව කරන ලද මිනීමැරුම් පාදක කොටගෙන හොලිවුඩ් චිත්‍රපටයක්ද නොබෝ දිනකින් එළිදකින්න නියමිතයි. කවෙන්ටින් ටරන්ටිනෝගේ අධ්‍යක්ෂණයක් වන ඒ චිත්‍රපටයේ නම තමයි Once Upon a Time in Hollywood.
7. රොබර්ට් මෝඩ්ස්ලි – විශේෂ හුදෙකලා සිරකුටියක වසර 35ක්!
හොලිවුඩ් සිනමාවෙන් බිහිවුණු භයානකම චරිතයක් වන හැනිබල් ලෙක්ටර්ගේ චරිතය බිහිවෙන්න හේතුවුණ පුද්ගලයා හැටියටයි රොබර්ට් මෝඩ්ස්ලිිව හඳුන්වන්නේ. ඔහුගේ අන්වර්ථ නාමය තමයි හැනිබල් ද කැනිබල්. මේ නම වැටෙන්න හේතුව තමයි ඔහු විසින් මරා දමන ලද පුද්ගලයන්ගේ හිස් කබල විවර කර මොළය ආහාරයට ගැනීමට පෙළඹීම. 1974 දී තමයි මෝඩ්ස්ලි තමන්ගේ මුල්ම මිනීමැරුම සිදුකරන්නෙ. ඔහු අතින් මරුමුවට පත්වෙන්නේ ළමා අපචාරයන් රැසකට දායක වූ පුද්ගලයෙක්. මේ මිනීමැරුමෙන් අනතුරුව මෝඩ්ස්ලිව මානසික රෝහලක රඳවනවා. එහිදීත් මෝඩ්ස්ලි මිනීමැරුමක් කරනවා. ඉන් පස්සේ ඔහුව වේක්ෆීල්ඩ් සිරගෙදරට මාරුකරනු ලබනවා. එහිදීත් ඔහු තවත් සිරකරුවන් දෙදෙනෙක්ව මරා දමනවා. දිගින් දිගටම සිදු කරන මිනීමැරුම් හේතුවෙන් සාමාන්‍ය සිරකරුවෙක් හැටියට මෝඩ්ස්ලිව රඳවා තබන්න බැහැ කියලා තීරණය කරන බලධාරීන් ඔහු වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් සහිත තනි සිරකුටියක් තනනවා. මේ සිරකුටිය වෙඩි නොවදින එකක්. මනුෂ්‍ය ආශ්‍රයෙන් ඈත්වෙලා දවසට පැය 23ක්ම මෝඩ්ස්ලි ගත කරන්නේ මේ සිරකුටියේයි. ඒ විදිහට හුදෙකලා සිරකුටියක මෝඩ්ස්ලි ගතකරලා තියන කාලය දැන් අවුරුදු 35ක්.
Cover Image Source – huffingtonpost.com
Leave a Reply