ඉස්කෝලේ කාලේදී අපි අමතරව අධ්‍යාපනය ලබන්න කියලා ගියේ ටියුශන් පන්ති වලට. ඒ කාලෙට වඩා අද ටියුශන් පංති වැඩියි. අද මොන්ටිසෝරි යන පොඩි එකාට පවා ටියුශන් පංති තියෙනවා. අම්මලා උස්සන් යනවා ඉතින් පොඩි කාලේ ඉඳලම පංති පහ හයකට පොඩි එකාව. අපි කතා කරන්න යන්නෙ මේ ඒ වගේ ඇච්ච කාලේ ටියුශන් ගැනනම් නෙමෙයි. නාඹර වියට එළඹිලා යන ටියුශන් පංති ගැන. සරලවම කිවුවොත් ඕ ලෙවල්, ඒ ලෙවල් වගේ ටියුශන් යන උං ගැන. ඔන්න එහෙම ගියපු උං මේ ආතල් අරගෙන නැත්නම් වැඩක් නෑ.
1. සූ ගාලා සූව දාන්න ඕන

Image Source – koswatthakoreanacademy.com
පංතිය පටන් ගන්න කලින් කවුරුත් කච බච ගගා ඉන්න වෙලාවක්. එක පාරට කවුරුත් නිශ්ශබ්ද වෙනවා ඉබේටම වගේ. ඔය අස්සේ සුරංගනාවක් වගේ කෙල්ලෙක් පංතියේ ඇතුල්වීමේ දොරටුවෙන් ඇතුළට ආවොත් ඔන්න එක කොල්ලෙක් එක තැනකින් ශූව පටන් ගන්නවා. අර කෙල්ලත් ඉතින් දන්නවා දැන් තමන් වාඩි වෙනකම්ම මුං ශූව දානවා කියලා. ඊට පස්සේ ඒ කෙල්ල කරන්නේ මුලින්ම හම්බවෙන ඉඩ තියෙන තැන වාඩි වෙන එක. අම්මෝ ඒකනම් කවුරුත් අරන් තියෙන්නම ඕන ආතල් එකක්.
2. විනාඩියක් හරි නිදාගෙනත් තියෙන්න ඕන

Image Source – myfloridaprepaid.com
ටීචර් හෝ සර් කම්මැලිනම් පොඩ්ඩක් නිදාගෙනත් තියෙන්නම ඕන. සමහර වෙලාවට පාඩම කොච්චර රසවත් වුණත් ඊයේ රෑ නින්දක් නැතුව පාන්දර වෙනකම්ම පාඩම් කළානම් ඊළඟ දවසේ ක්ලාස් එකේදී පොඩ්ඩක් හරි නින්ද යන්න වැඩි සම්භාවිතාවක් තියෙනවාමයි. (මේකනම් ගොඩක් අදාළ වෙන්නේ කෙල්ලොන්ට තමයි) එහෙම ක්ලාස් එකේ නින්ද ගිහින් ඒක සර්ට හෝ ටීචර්ට අහුවෙනවා කියන්නෙත් තවත් අමුතුම ආතල් එකක් තමයි.
3. සර්ට හරි ටීචර්ට පොඩි විහිලුවක් කරලත් තියෙන්නම ඕන

Image Source – 360doc.com
සර්ට හරි ටීචර්ට හරි පොඩි විහිලුවක් කළා කියලා ගුරු ගෞරවේ නැති වෙන්නෙ නෑ. අනික දැන් තියෙන්නෙ අර ගුරුවරයා මූලික කරගත්තු අධ්‍යාපන ක්‍රමයක් නෙමෙයිනේ. ශිෂ්‍යයා මූලික කරගත්තු අධ්‍යාපන ක්‍රමයක්. ඉතින් ගුරුවරයයි ළමයයි පොඩ්ඩක් සමීප වුණාට ඒක මේ අහස පොළොව නුහුලන වැරැද්දක් නෙමෙයි නොවැ. ඉතින් ඔය සර් හෝ ටීචර් උගන්නන අතරේ පොඩි විහිලුවක් සද්දෙට කරන එක වැරැද්දක්ම නෙමෙයි.
4. ක්ලාස් කට් කිරීම නම් වැරැද්ද

Image Source – lahongkong.wordpress.com
ක්ලාස් කට් කිරීම කියන වැරැද්දත් ගොඩාක් උං කරන, ඒ උනාට කරන්න හොඳ නෑය කියලා සමාජය කියන වැරැද්දක්. අනේ මන්දන්නෑ ඒ උනාට විවිධාකාර හේතු මත ක්ලාස් කට් කරන්න ගොඩක් එවුන් සැදී පැහැදී ඉන්නවා. කොල්ලෝ විතරක් නෙමෙයි, සමහර කෙල්ලොත් සැරටම ක්ලාස් කට් කරනවා නොව. ඕනෑවට වඩා ඕනම දෙයක් ඕනෑම නෑ වගේ ඕනෑවට වඩා ක්ලාස් කට් කරලා ප්‍රතිඵල ආවම හොම්බ බිම ඇන ගත්තු හාදයෝ ඕනෑ තරම් ඉන්නවා ඉතින්. එහෙම හොම්බෙන් යන්නැතුව ශේප් එකේ ඉඳලා හිටලා ක්ලාස් එකක් කට් කරන එකේ ආතල් එකත් අරන් තිබුණා කියලා වැරැද්දක් වෙන්නෙ නෑ පුතී.
5. ක්ලාස් එකෙන් කලින්ම එලියට

Image Source – giphy.com
ක්ලාස් එක කරගෙන යද්දී වේලාසනින් එලියට එනවා කියන්නේ ඒ කාලේ හැටියට ලොකු වීරකමක්. දැන් නම් ගොඩක් ක්ලාස් වල කැමති විදිහට එන්න යන්න චාන්ස් එක ගුරුවරු දීලා තිබ්බට ඒ කාලේ එහෙම නෑ. සර් හෝ මිස් වේලාසනින් එලියට යන එකා දෙන්නගේ මූණ මතක තියාගත්තොත් ආපහු පංති එන්න නම් නෙමෙයි. අන්න ඒ විදිහට ජීවිත අවදානමක් අරගෙන එලියට බහිනවා කියන්නේ කොටින්ගේ හිර කඳවුරකින් හොරෙන් පනිනවා වගේ අන්තරායක වැඩක්. ඒකත් ඉතින් හැමදාම නොකරන තරමට හොඳ, ඒත් ඉඳලා හිටලා කළොත් අමතක නොවන අත්දැකීමක් දෙන වැඩක්.
6. කැමැත්ත ඇහිල්ල

Image Source – giphy.com
ක්ලාස් එක යන අස්සේ කැමැත්ත අහන්න පූරුවේ කරපු පිනක් හන්දා ලැබුණ හයිය හිතක් ඔබ සතු වෙන්න ඕනමයි. ඔය කැමැත්තවල් අහන්නේ ඉතින් කටින්මත් නෙමෙයි. සමහරු චිට් වලින් අහනවා. තව සමහරු යාලුවෙක් ලවුව අහනවා. තවත් ගට් එක වැඩිම සමහරු “ශ්… ශ්…” ගාලා පොඩ්ඩක් ගෑණු ළමයව තමන්ගෙ පැත්තට හරවගෙන හස්ත සංඥා මාර්ගයෙන් කැමැත්ත අහනවා. එක එක විදියට පංතිය යන අස්සේ කැමැත්ත ඇහිලි සිද්ධ වෙනවා. අර චිට් වලින් අහන ඒව තියෙනව නේද? කෙල්ල හෙනටම ඉගෙන ගන්න සීන් එකේ ඉන්න, ඔය ලවු අනම් මනම් පේන්න බැරි එකියෙක්නම් චිට් එක කෙලින්ම සර්ට හෝ මිස්ට යවනවා. අන්න එතකොට තමයි ඔක්කොටම වඩා ආතල් එක දැනෙන්නේ.
7. ආදරය

Image Source – giphy.com
ටියුශන් ආදර කතා හරිම සුලභයි. හැබැයි ඒ අතරින් සමහර ආදර කතා තියෙනවා හරිම විශේෂ. එක ළඟින් බංකු දෙකක වාඩි වෙලා, පාඩම යන අතරෙත් පොඩ්ඩ පොඩ්ඩ හොරාට මූණු බලං, සමහර වෙලාවට ටීචගෙන් හෝ සර්ගෙනුත් බැනුම් අහගෙන කරන් යන ආදරෙත් අමුතු ආතල් එකක් තියෙනවා.
මේවයින් සමහර දේවල් වැරදි වගේ ඔබට පේන්න පුලුවන්. ඒ උනාට මේ වගේ අත්දැකීම් ඉඳහිට ලැබුවා කියලා මහා ලොකු වැරැද්දක් නම් වෙන්නෙ නෑ. දඟකමට කරන වැඩනේ ඔය ගොඩක් එවුවා. එච්චර ගණන් ගන්නේ මොකටද ඉතින්..?
Cover Image Source – mytutor.lk/ rotaryhall.com
Leave a Reply