අපි හැමෝටම පුංචි කාලයක් තිබ්බනෙ. පුංචි කාලෙදි ගොඩක් දෙනෙක් මහා ලොකු දේවල් උපයලා හෝ අරමුණු ජයගෙන නැති වුනාට, මහා ලොකු හීන රැසක් පොදි බැඳගන්නව. ඒ පොදි බැඳගන්න හීන බොහෝමයක්ම ඒ අය ලොකු වුනාට පස්සෙ එන අතිශය සාමාන්‍ය එහෙත් බැරෑරුම් ප්‍රශ්න එක්ක හිරු දුටු පිණි වගේ යටපත් වෙලා යනවා. මේ කියන්න යන්නෙ අපි පුංචි කාලෙ ඒ විදියට ගහපු ප්ලෑන් වගයක් ගැන. ඒ ප්ලෑන් කොච්චර සුන්දරයිද කියනවනම් අපි ඒවා පහුවෙනිදා ඉස්කෝලේ ඇවිත් කතා කරපු නිසා අපි හැමෝටම පොදු ප්ලෑන් බොහෝමයක් ඒ අතරෙ තියෙන්න පුළුවන්. ඔයාලට ඒ කාලෙ මීට වඩා වෙනස් ප්ලෑන් තිබුනනම් අපිට කියන්න අමතක කරන්නෙපා.
1. අනාගත නැෂනල් ටීම් යන හීන
කොල්ලො සෙට් එක එක්ක සෙල්ලං කරද්දි මහ පාරෙ දාන එක බෝලයක් සැළකිය යුතු තරමක් ස්පින් වුනොත් ඇති. අනේ එතන ඉඳන් අපි ඉන්නෙ ඒ මැච් එකේ සිහියෙන් නෙමෙයි. ෂේන් වෝන්ටත් වඩා ලොකුවට හිතාගෙන ඊට පස්සෙ ඉඳන් බෝල් කරන්නෙ ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙන්. කොටිම්ම හොඳ බෝලයක් වැටුණු දාට පස්සෙ දවසෙ සිම්බාබ්වේ ටීම් එකේ පෝල් ස්ට්‍රෑං වගේ ලොකු තුවායක් කලිසමට සෙට්වෙන්න පස්ස පැත්තෙන් එල්ලගෙන ආපු බුවාලත් හිටියා. හැබැයි ඉතිං ඒ අනාගත නැෂනල් ටීම් යන සිහිනය දිනාගන්න පුළුවන් වුනේ අතිශය සුළු පිරිසකට විතරයි. හැබැයි අපි දැකපු හීනේ පොදු හීනයක්.
2. ස්ට්‍රැටජිකල් ප්ලෑන්
පුංචි පුංචි කෝටු කෑලි අරගෙන ඩිෂ්කියෑවු ඩිෂ්කියෑවු ගාලා වෙඩි තිය තිය ඉන්නකොට, කෙළ ගාලා ගුලි කරපු කොළ ගුලියක් වේලෙන්න තියල හදාගත්තු බුලට් එක උණ බට තුවක්කුවට දාලා අහිංසක මකුළුවෙකුට බිම වැටෙන්න වෙඩි තියනකොට අම්මල දැනගන්නව කොල්ලට තියෙන හමුදා උණ. ඉතිං ළමයට හම්බෙනවා තෑග්ගක්. ආමි සෝල්ජර් සෙට් එකක්. ඕකෙ ඉන්නව ස්නයිපර්ලා, අණදෙන නිළධාරියො, වෙඩික්කාරයො, බෝම්බකාරයො, යුද්ධ ටැංකි, දණිහ බිම තියල වෙඩි තියන අය වගේ බොහෝමයක්. ඉතිං මේ වගේ සෙට් එකකින් දෙපැත්තක් හදාගෙන අපි එක පැත්තකට හිතිං අණදීලා ඒ අයව ජයග්‍රහණය කරා ගෙනියන්නෙ බොහෝවිට අපේ එක සොල්දාදුවෙක්වත් මරණයට පත්වෙන්න ඉඩ නොදී. කොටිම්ම ඒ කාලෙ ලංකාවෙ තිබ්බ යුද වාතාවරණයත් මේ සෙල්ලම නැගල යන්න හොඳ හේතුවක් වෙන්න ඇති. අපි ඒ කාලෙ ගහපු ස්ට්‍රැටජිකල් ප්ලෑන් ෆොන්සේකා මහත්තයට හීනෙන්වත් හිතිලා නැතුව ඇති.
3. ගොවි රජ
අම්මලා වත්ත පහළ තියෙන පුංචි ඉඩක හරි මොනව හරි වවන්න උත්සාහ කරපු එක ඉස්සර ගෙවල්වල දකින්න ලැබුණු සුලභ තත්ත්වයක්. සාමාන්‍යයෙන් අම්මලා ඔය වත්තෙ පිටියෙ වැඩට යන්නෙ බැරි මරගාතෙ ළමයින්වත් ඇදගෙන. අම්මගෙන් කනක් ඇහිල ඉන්න නැති නිසා වතුර බාල්දියයි මුල්ලුවයි අරං ගෙයි පිටිපස්සට ගිය අපි එයා කියන ටික කරලා ආයෙ ගෙට එන්නෙ ඇති යන්තං කියල හිත හිත. හැබැයි ඔය විදියට ගිහිං ඒ වගා කරපු දේකින් ඵලදාව එද්දි ඒ දේවල්වල වගකීම සම්පූර්ණයෙන්ම තමුන් අතට ගන්න අපි වගබලාගත්තා. කොටිම්ම අපි එදා අම්මගෙ බලේට හරි වතුර ටිකක් නොදැම්මනං කීයටවත් මේ වගාව මෙහෙම වෙන්නෙ නෑ කියල හිතන අපි, එදා ඉඳන් හීනෙනුත් දකින්නෙ අනාගත ගොවි රජෙක්. දවසකට පළතුරු, අනිත් දවසෙ එළවලුයි පළා ජාතියි, ඊළඟ දවසෙ එහා ගෙදර අංකල්ලගෙ වත්තත් ඉල්ලගෙන එළවළුයි පළතුරුයි දෙකම දාලා.
4. සිත බෑ කියන්නෑ
ඉස්සර දිලිසෙන ඇඳුමක් ඇඳගෙන රූකාන්ත ගුණතිලක ස්ටේජ් එකට නැග්ගම තිබුනෙ නියම කික් එකක්. කොටිම්ම ඔය කික් එක නිසා හීනෙන් දවස් ගාණක් යනකංම රූකාන්තව දකිනවා. ඊටපස්සෙ වෙනව මෙන්න මෙහෙම දෙයක්. අම්මලා ගෙදර නැති දවසක සද්දෙට රේඩියෝ එකේ රූකාන්තගෙ කැසට් එකක් දාගෙන අහනව. අම්මගෙ පරණ නූල් කෝන් එකක් කටට ළං කරගෙන තමයි අපිත් සින්දුව කියන්නෙ. ඔය පිස්සුව වැඩිවෙන්නෙ ඒ කාලෙ තිබ්බ වෝක්මන් එකක් ඉයර්ෆෝන් ගහගෙන අහද්දි. ඉයර්ෆෝන් ගහගෙන කියද්දි අපිට අපේ කැත කටහඬ ඇහෙන්නෙ නැහැනෙ. ඉතිං බෑ කියල හිත පිළිගන්නෙම නෑ. ඒ හින්දා හීන ලෝකෙ ස්ටේජ් එකෙන් බහින්නෙත් නෑ.
5. ලොකු ගරාජ්
ඉස්සර චොකලට් එකක් කෑවොත් අනිවාර්යෙන්ම ස්ටිකර් එකක් ෂුවර්. මේ ස්ටිකර් නිසා කාමරේ බිත්තිවල පිස්සුවෙන් වගේ වාහන ඇලවිලා තිබුනා. ඉතිං මේ වාහන නිතර දෙවේලෙ ඇහැට පෙනෙද්දි අපි පුටුවක වාඩි වුනත් ඈං ඈං ගෑවෙන තත්ත්වයක් වගේම චුට්ටක් ඇහැ පියවුනත් ආසා ආසා වාහනේ සල්ලි දීලා ගෙදර පුරවගන්න තත්ත්වයක් තිබුනා. දැන් ඇත්තටම හිතද්දි හිනායන්නෙ ඒ දවස්වල අපේ හීන ගරාජ් එකේ තිබ්බ වාහන ටික ගහන්න තරමෙ ඉඩමක් ගන්නවත් දැන් වත්කමක් නැති නිසා. ඒ කොහොම වුනත් අපේ හීන ගරාජ් එකේ එක එක වර්ගෙන්, එක එක පාටින් තිබ්බ වාහන අපිට දියුණුවෙන්න උනන්දුව ඇති කළා කියලත් පිළිගන්න ඕන.
6. මවු සිහිනේ
ඉස්සර ඉතිං ගෑණු ළමයින්ට වැඩිපුරම පුංචි කාලෙ හම්බෙන තෑග්ග වෙන්නෙ බෝනික්කොනෙ. ඉතිං පුංචි බෝනික්කො හෙණ ගොඩක් වටකරගෙන සෙල්ලං කරලා, ලොකු බෝනික්කො හෙණ ගොඩක් වටකරගෙන නිදියන්න එයාලට පුළුවන්කම ලැබුනා. ඉතිං මෙහෙම වෙලා, මේ බෝනික්කොන්ට ෆැෂන් කරලා අන්තිමට ඔලුවට ගහන හීනෙ තමයි මවු හීනෙ. ඊටපස්සෙ ඉතිං ටෙඩිබෙයා කෙනෙක් හම්බුනත් කිරි ටිකක් දීලා දොයි කරවන්න තමයි ප්ලෑන් එක. අපේ නංගි කෙනෙක් කාර් එකකටත් කිරි දීලා රෙද්දක් පොරවලා දොයි කෙරෙවුව. ඒ කාලෙ නං ඒ අය ප්ලෑන් කරන්නෙ අපිනං අපේ දරුවොන්ට අතක් උස්සන්නෙ නෑ කියල. පස්සෙ අම්මල වුනාම එපැයි බලන්න.
7. ඉලෙක්ට්‍රික් ගොයියා
පුංචි කාලෙ මොන්ටිසෝරි යන්නෙත් ගෙදර තියෙන බැටරි කෑලි ටිකයි වයර් ටිකයි බෑග් එකේ ඔබාගෙන. ඊටපස්සෙ කාලෙක වයර් කෑලි දෙක ඔතපු බල්බ් එක බැටරියත් එක්ක කනෙක්ට් කරලා, පත්තු වුනාට පස්සෙ ගේ ඇතුළෙ ඇවිදින්නෙත් සාක්කුවෙ බැටරි වයර් පුරවගෙන. ඊටපස්සෙ වෙනමම පෙට්ටියක් හදාගන්නව. ටික කාලයක් යද්දි බුදු පිළිමෙට රැස් වළල්ලක් එන්න සර්කිට් එකක් හදන්න ඉගෙනගත්තොත් එහෙමනං නිමක් නෑ විස්කම්. ඉතිං හිතන්නෙම ටෙක් සීන් එකෙන් ලෝකෙ පෙරලන්න. ඉතිං ඒ දවස්වල මේ පට්ට ඉලෙක්ට්‍රීෂියන්ලා හීනෙන් නැගිටින්නෙත් ගෙයක්ම වයරින් කරලා ඉවරවෙලා.
Cover Image Source – travelexperta.com/3rsofretirement.com
Leave a Reply