මෝටර් බයික් එකේ ‍ටුවර් එකක් යන්න ආසද? එහෙමනම් ඒකට සූදානම් වෙන්නේ මෙහෙමයි!

Bike trip

“Four wheels move the body, two wheels move the soul.” මෙහෙම කියවෙන කියමනෙන් මෝටර් බයිසිකලයක ගමන් කිරීම ගැන සෑහෙන්න දේවල් කියැවෙනවා. විශේෂයෙන්ම මෝටර් බයිසිකලය කියන්නේ අනතුරුදායක වාහනයක් කියන එකනේ පොදු මතය. ඒත් ඇත්තටම මෝටර් බයිසිකලය අනතුරුදායක වෙන්නේ අනික් වාහන වගේ වටෙන් ආවරණය වෙලා නැති නිසා නෙවෙයි. මෝටර් බයිසිකලයක් ධාවනය කරන ධාවකයෙක් නොසැලකිලිමත් වීම, ධාවනයේ ප්‍රවීණ නොවීම සහ තමන්ගේ ප්‍රවේසම බලා නොගැනීම නිසා. වෙනත් විදියකට කිවුවොත් හරි විදියට, මාර්ග නීති උල්ලංඝනය නොකොට, අනෙක් වාහන කොහොම ආවත් තමන්ගේ පරිස්සම බලාගෙන, වේග සීමාවන් ඇතුළේ මෝටර් බයිසිකලය පදවන්න පුලුවන් නම් අනතුරු අඩුකරගන්න පුලුවන්.

හරි මේ කතා කරන්න ආවේ මෝටර් බයිසිකලයකින් යන ‍ටුවර් ගැනනේ. මෝටර් බයිසිකලයකින් ‍ටුවර් එකක් යන එකේ ආතල් එක වාහනයකින් ගිහින් කවදාවත් ගන්න බෑ. මෝටර් බයිසිකලයෙන් දුර සීමාවන් ගැන වද නොවී ගමන් කරනකොට දැනෙන නිදහස බොහොම අපූරුයි. ඒක වෙන වාහනයකින් ගිහින් කොහෙත්ම ගන්න බෑ. හැබැයි මෝටර් බයික් එකකින් යන ‍ටුවර් එකක් හිතුනා, බයික් එක ගත්තා, ගියා ලෙවල් එකට කරන්න බෑ. ඊට වඩා පොඩි සූදානමක් වුවමනා කරනවා. ආන්න ඒ සූදානම් වීම ගැන අදහසක් ලබාදෙන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ.

 

1. යන්නේ කොහාටද?

Bike trip

Image Source – youmotorcycle.com

මෝටර් බයික් එකකින් ‍ටුවර් එකක් යනකොට අර එතැනට යන්න තියෙන කෙටිම පාර කියන කතන්දරේ තව දුරටත් අදාළ වෙන්නෙ නෑ. වැදගත් වෙන්නේ ගමන. හැබැයි ඉතින් යන්න කලින් යන්නේ කොහාටද කියන එක ගැන මූලික අවබෝධයක් තියෙන්න ඕන. ඒකට මැප් එකේ පිහිට අනිවාර්යයි. ඕන නම් දැන් හැමෝගෙම ස්මාට්ෆෝන් වල ගූග්ල් මැප්ස් තියෙනවනේ. ගූග්ල් මැප්ස් වල යම් තැනකට කෙටිම වෙලාවකින් යන්න තියෙන පාර, විකල්ප පාරවල්, ගත වෙන කාල වේලාව, ට්‍රැ‍ෆික් තත්ත්වය වගේ හැම දෙයක්ම පෙන්නුම් කරනවා. ඉතින් බයික් රයිඩර් කෙනෙක්ට තියෙන්නේ මැප් එක බලලා කෙටිම පාර ගැන වද නොවී ආතල්ම පාර ‍තෝරගන්න එක. ඒකට ඉතින් පොඩ්ඩක් අන්තර්ජාලෙන්, මඟ තොට දන්න අයගෙන් විස්තර හොයාගන්න එක වටිනවා.

ඕන නම් පරණ තාලෙට ඇත්ත මැප් එකකුයි, කොම්පාසුවකුයි අරගෙන රයිඩ් එක යන්නත් පුලුවන්. ඒක හැබැයි ගූග්ල් මැප් වගේ ලේසි නෑ. ඇත්ත මැප් එකක් කියවන විදිය වුනත් ඉගෙන ගන්න වෙනවා. හැබැයි කොහොමද ඒකේ තියෙන ක්ලැසික් ගතිය?

 

2. පාරවල් වල තත්ත්වේ කොහොමද?

Bike trip

Image Source – vagabondesss.com

ඊළඟට පාරවල් වල තත්ත්වය ගැන මැප් එකකින් දැන ගන්න බෑ. විශේෂයෙන්ම බයික් රයිඩර් කෙනෙක් නොදන්නා පාරවල් තොටවල් වල යනකොට ඒ පාරවල් කොහොමද කියන එක ගැන පොඩ්ඩක් විස්තර හොයාගන්න වෙනවා. ඒකටත් ආයෙමත් අර උඩින් කිවුව විදියට දන්න කියන කෙනෙක්ගෙන් අහගන්න පුලුවන්. එහෙමත් නැතිනම් තව සරලම ක්‍රමයක් තියෙනවා. දැන් බයික් රයිඩර් කෙනෙක් එක දිගට ගමනාන්තෙට යනකල් බයික් එක පදින්න බලාපොරොත්තුවක් නෑනේ. තේ එකක් බොන්න, තැඹිලි ගෙඩියක් බොන්න එහෙම පාර අයිනේ පොඩි කඩේක නවත්තනවා. ඔය කඩේක ඉන්න මුදලාලි මහත්තයෙක් සාමාන්‍යයෙන් ඔය පළාතෙම හාදයෙක්නේ. මේ පාරවල් මේ අය නිතර දෙවේලේ යන එක පාරවල්නේ. අන්න නිකමට අහලා බලන්න යන්න තියෙන පාරේ තත්ත්වය ගැන. රියල් ටයිම් තොරතුරු ලබාගන්න පුලුවන්. මෙහෙම පාරතොටේ තත්ත්වය, පළාතේ තත්ත්වය කලින් දැනගන්න එක ඉතාම වටිනා දෙයක්.

 

3. දවසකට කොච්චර දුර යනවද?

Bike trip

Image Source – wheelstreet.org

මෙන්න මේක මෝටර් බයික් ට්‍රිප් එකක් ප්ලෑන් කරන කෙනෙක් සලකා බලන්න ඕන ඉතාම වැදගත් කාරණාවක්. ඒ තමයි තමන්ට සහ තමන්ගේ මෝටර් බයික් එකට කොච්චර දුරක් එක දවසකට කවර් කරන්න පුලුවන්ද කියන එක. මේ කාරණාව වෙනස් වෙනවා බයික් එක එක්ක. උදාහරණයක් විදියට කිවුවොත් ඔය දුර ගමන් වලටම නිර්මාණය කරලා තියෙන දැවැන්ත මෝටර් බයිසිකල් තියෙනවනේ. ඒවලට පුලුවන් සෑහෙන ලොකු දුර ප්‍රමාණයන් එක දිගට ආවරණය කරන්න. හැබැයි ඔය කමියුටර් බයික් කියලා කියන නගරබදව කෙටි දුර ධාවනයට හදලා තියෙන මෝටර් සයිකල් වලින් ඒ තරම් දුර එක පිම්මට දුවන්න හිතන එක ඒ තරම් ඇඟට ගුණ නෑ. ඇත්තටම ලංකාවේ ගොඩක් අය ගාව තියෙන්නේ ඔය කියන කමියුටර් බයික්. හොඳම දේ තමයි ඒ වගේ බයික් එකක් පාවිච්චි කරනවා නම්, මෝටර් බයික් එකට ගමන අතර ගිමන් හරින්න ඉඩ දෙමින් දුවන එක.

දෙවෙනියට තමන්ට ආවරණය කරන්න පුලුවන් දුර ප්‍රමාණය වෙනස් වෙන කාරණාව තමයි පදින මනුස්සයාගේ මහන්සිය. සාමාන්‍යයෙන් දවසකට ඕනෑ නම් කිලෝමීටර් පන්සීයක්, හයසීයක් වුනත් යන්න පුලුවන්, ට්‍රැ‍ෆික් නැති පාරවල් තියෙනවා නම්. හැබැයි ඉතින් ඉන් පස්සේ ඊළඟ දවසේ බයික් එකට නැගගන්නවත් ලැබෙන එකක් නෑ. ලංකාවේ නම් ඉතින් උපරිම කිලෝමීටර් තුන්සීයක්, හාරසීයක් දවසකින් කවර් කරන්න හිතුවට කමක් නෑ. හැබැයි ඒ මැද විවේකයන් ඇතුව. මෙතනදී හොඳම දේ මේකයි. දවසකට උපරිම කිලෝමීටර් ගාණක් කවර් කරන්න හිතන එකෙන් වේගය සහ පරිස්සම ගැන අවධානය නැති වෙනවා. එතකොට බයික් රයිඩ් එකේ නියම සුන්දරත්වය විඳින්න තියෙන අවස්ථාවත් නැතිවෙනවා. අන්න ඒ නිසා තමන්ට සුවපහසුවෙන් දවසකට ආවරණය කරන්න පුලුවන් කිලෝමීටර් ගාණ සහ ඒ කිලෝමීටර් ගාණ කවර් කරන්න යන කාලය, ට්‍රැ‍ෆික් වගේ තත්ත්වයන්ද ඇතුළුව ගණනය කරගන්න එක හොඳයි ට්‍රිප් එක ප්ලෑන් කරනකොටම.

 

4. නවතින්නේ කොහේද?

Bike trip

Image Source – youtube.com

බයික් එකේ ට්‍රිප් එකක් යනකොට දුර ප්‍රමාණය ගැන, කොයි පාරෙන්ද යන්නේ කියන එක ගැන වද නොවෙන එක හරි. හැබැයි ඉතින් රෑ පානේ නවතින්නේ කොහේද කියන එක නම් අනිවා සලකා බලන්න ඕන. මොකද නෑදෑ ගෙයක්, යාලු මිත්තරයෙක්ගේ ගෙයක් නැතිනම් ඔය හොටෙල්ස් හරි ලොජ් හරි නිකම් ගියපු ගමන් බුක් කරන්න බැහැනේ. කාමර තිබුණොත් ගොඩ. ෆුල් වෙලා තිබුණොත් ගහක් අයිනේ තමයි. අන්න ඒ නිසා යන ප්‍රදේශය ආසන්නයේ තියෙන හොඳ හොටෙල් එකක් හොයාගන්න. ඒකට booking.com, agoda.com, airbnb.com වගේ සයිට් එකකින් බොහොම පහසුවෙන් අඩු ගාණකට ඉන්න හොඳ තැනක් හොයාගන්න පුලුවන්.

නවතින තැනක් හොයන කොට බයික් එක ප්‍රවේසම් සහිතව පාක් කරන්න පාකින් තියෙනවද කියලා හරියටම දැනගන්නත් අමතක කරන්න එපා!

 

5. බයික් එකේ තත්ත්වේ කොහොමද?

Bike trip

Image Source – simple.com

ගොඩක් ආධුනික මෝටර් බයිසිකල් පදින්නෝ තමන්ගේ බයික් එක බොහොම ආදරෙන් හෝදලා කරලා තියාගන්නවා. හැබැයි එතනින් එහාට පවත්වා ගැනීම ගැන ලොකුවට හිතන්නේ නෑ. හැබැයි දුර බයික් ‍ටුවර් එකක් යනකොට එහෙම බෑ. ප්‍රධානතම කාරණය වෙන්නේ තමන්ගේ බයික් එක හොඳ තත්ත්වයෙන් තියෙන්න ඕන දුර දුවන්න. ඒක එකක් ආරක්ෂාවට අනිවාර්යයෙන්ම වුවමනායි. දෙවෙනුව කවුරුත් නොදන්න පාලු පාරක බ්‍රේක් ඩවුන් එකක් වෙලා කන්න වෙන කට්ට මග හරවා ගන්නත් ඒක වැදගත්. අන්න ඒ නිසා බයික් එකේ ඔයිල් පරීක්ෂා කරන්න. කේබල් එහෙම තත්ත්වය කොහොමද කියලා බලන්න. විශේෂයෙන්ම ඔය දැවැන්ත කෘසර් බයික් එකක නම් ඇණ මුරිච්චි එහෙමත් හොඳට තද වෙලා තියෙනවද කියලා පොඩ්ඩක් බලන එක හොඳයි. තනි සිලින්ඩර බයික් එකක දෙදරුමත් එක්ක ඇණ මුරිච්චි පොඩ්ඩක් බුරුල් වෙන්න බලනවා. අන්න ඒ නිසා. ඉන් පස්සේ සයිකලේ රෝද වල තත්ත්වය, රෝද වල හුලං තත්ත්වය එහෙමත් පරීක්ෂා කරගන්න ඕන. දැන් ඔය ඔක්කොම බලලා බයික් එකේ කන්ඩිෂන් එක ටිප් ටොප් එකට තියේ නම් ගහන්න පෙට්‍රල් ෆුල් ටෑන්ක්. හැම වෙලාවකම බයික් එකේ ඉන්ධන සම්පූර්ණයෙන්ම අඩු වෙනකල් ඉන්න එක නරකයි. මොකද දුර පළාත් වල යනකොට කිලෝමීටර් දෙකෙන් දෙකට පහෙන් පහට පෙට්‍රල් ෂෙඩ් හොයන්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා අඩු වෙනකොටම ආයෙමත් ෆුල් ටෑන්ක් ගහගන්න.

 

6. ගෙනියන්න ඕන මොනවද?

Bike trip

Image Source – simple.com

මෙන්න මේකත් බොහොම වැදගත් කාරණයක්. තමන් රයිඩ් කරන්න බලාපොරොත්තු වෙන දවස් ගණනට එහෙම අනුව ඇඳුම් පැළඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය දාගන්න එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඊට අමතරව හදිසියකට අවශ්‍ය වෙන බේත් හේත් මල්ලක්, චාර්ජර් එකක්, පවර් බෑන්ක් එකක් එහෙම තියෙන එක වැදගත්. වතුර බෝතලයක් එහෙමත් දාගත්තට කමක් නෑ. සාක්කුවේ පොඩි පෑන පිහියක් එහෙමත් තියෙන එක වටිනවා. ඊට අමතරව කැමරා, ලැප්ටොප් වගේ ආම්පන්න ගෙනියනවා නම් ඒවා සුරක්ෂිතව තියාගන්න පුලුවන් බෑග් එකක් පාවිච්චි කිරීම අනිවාර්යයි. එහෙම බෑග් එකක් ජලයෙන්, දුහුවිල්ලෙන් එහෙම ආරක්ෂා වෙනවා නම් තවත් හොඳයි.

මීට අමතරව බයික් එකට අවශ්‍ය අමතර කේබල් එකක් එහෙමත් දාගත්තට කමක් නෑ. බයික් එක පිහිදන්න රෙදි කෑල්ලක් එහෙමත් වැඩි වෙන්නෙ නෑ.

දැන් වොලට් එකට අනිවාර්යයෙන්ම ලයිසන්ස්, ඉන්ෂුවරන්ස්, ආදායම් බලපත්‍ර දාගත්තද බලන්න. අතේ සල්ලි තියෙනවද කියලා බලන්න. හැම වෙලාවකම ක්‍රෙඩිට් කාඩ් ගෙනියන්න එපා. මේ වගේ ගමනකදී කෑෂ් ගෙනියන්න. වොලට් එක සාක්කුවෙන් වැටෙන්නේ නැති ප්‍රමාණයේ එකක් වෙන්න ඕන. බයික් රයිඩර්ස්ලා පාවිච්චි කරන විදියේ චේන් එකකින් කලිසමට සවි වෙන විදියේ වොලට් එකක් නම් වඩාත් හොඳයි.

 

7. රයිඩර්ට අවශ්‍ය ඇඳුම් ආයිත්තම්, අංගෝපාංග

Bike trip

Image Source – gearpatrol.com

සාමාන්‍යයෙන් ආධුනික රයිඩර් කෙනෙක් මේ ගැන ලොකුවට හිතන්නෙ නෑ. බයික් එකේ යනකොට දානවා කියලා හිතාගෙන ගන්නේ ජර්කින් එක විතරයි. ඒකත් බයික් එක ගන්නකොට නොමිලේ දීපු එක. ඉන් පස්සේ එක්කෝ ස්ටයිල් එකට හැඩ වැඩ වෙලා ඇඳ පැළඳ ගන්න පුලුවන්. එහෙමත් නැතිනම් ෂෝට් එකකට නිකම්ම ස්ලිපර්ස් දෙකක් දාගෙන ගමන යන්න පුලුවන්. මේක හරි සැහැල්ලු ඇඳුමක් තමයි. හැබැයි ඉතින් සීසන් වෙච්ච රයිඩර් කෙනෙක් ඔක්කොටම කලින් සුවපහසුව වගේම තමන්ගේ ආරක්ෂාව ගැනත් හිතනවා. ඝන ඩෙනිම් කලිසමක්, ෂර්ට්, ටී ෂර්ට් එකක් අඳින එක හොඳයි. අත් දිග නම් අවුවෙන් ආරක්ෂාව හොඳයි. ජැකට් එක ඝනකම එකක් වෙන තරමට හොඳයි. එතකොට අත් වලට රයිඩින් ග්ලවුස් තියෙන්නම ඕන දුර යනවා නම්. හෙල්මට් එක බොහොම ආරක්ෂිත, හොඳින් හිසට සවි වුණු එකක් වෙන්න ඕන. අවුව තියෙන වෙලාවක යන්න වෙනකොට සන්ග්ලාස් දෙකකුත් තියෙන්න ඕන. ඔලුවට දාඩිය දානවට ඔලුවේ බඳින ලේන්සුවක් තියෙන එක හොඳයි. සපත්තු කකුල් හොඳින් ආවරණය වුණු එකක් වෙන තරමට හොඳයි. ඊට අමතරව දණහිස් ආවරණ, වැළමිටි ආවරණ එහෙමත් පරෙස්සම් රයිඩර් කෙනෙක් පාවිච්චි කරයි. රයිඩින් බූට්ස් එහෙමත් එහෙම පරිස්සම් සහගත රයිඩර් කෙනෙක් අමතක කරන එකක් නෑ.

මීට අමතරව වැස්සෙන් ආරක්ෂා වෙන්න හොඳ රේන් කෝට් එකක් එහෙමත් ගන්න එක වැ‍රැද්දක් නෑ.

 

සූදානම් වුනාද? එහෙමනම් ඉතින් යකඩ අස්පයාගේ පිටේ නැගලා නියම රයිඩ් එකක ආශ්වාදය විඳින්න තමයි තියෙන්නේ!

Cover Image Source – youmustbetrippin.com/ wheelstreet.com/ bestbeginnermotorcycles.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *