බස් කොන්දොස්තර අයියා තරම් සාමාන්‍ය මනුස්ස ජීවිතේ මුණ ගැහෙන තවත් චරිතයක් නැති තරම්. ඉතුරු රුපියල ගැනීම, මැද පොල්ල අල්ලාගෙන ඉස්සරහට යාම වගේ කීපයක් සම්බන්ධයෙන් විතරක් කතා කෙරුණත් එයා ගැන කතා කරන්න ගොඩක් දේවල් තියනවා. එදා වේල ටුවර්ස් එකේ ඉන්න අපි ගොඩක් වෙලාවට කොන්දොස්තරගේ හපන්කම්වල දිග පළල මනින්න යන්නේ නැහැ ටක් ගාලා යා ගන්න ඕනි තැන ගැන හිතනවා මිසක්. සමහරවිට ඒ නිසාම මේවා අපිට මග හැරෙනවා ඇති. ඒ නිසාම පුංචි දේටත් අපි කොන්දොස්තර අයියාට කෑ ගහනවා ඇති.
1. ගණිත හැකියාව
සාමාන්‍යයෙන් නම් කියන්නේ කොන්දොස්තර රස්සාව අධ්‍යාපනික වශයෙන් හොම්බෙන් ගියාම කරන්න තියෙන රස්සාවක් කියලනේ. හරියට ඉගෙනගන්නේ නැති පොඩි එවුන්ට කොන්දොස්තර කෙනෙක්ව පෙන්නලා මේ වගේ වෙන්න ආසද වගේ කතන්දර තමයි අම්මලා කියන්නේ. ඒ වුණාට කොන්දොස්තර කියන්නේ අයින්ස්ටයින් වගේ පොරක්. සමහර විට ඊටත් වඩා දක්ෂයෙක්. මොකද අයින්ස්ටයින් ගණන් හැදුවට පොර කවදාවත් වංගු තියන පාරක ඉඳන් හරි සෙනග පිරුණු තැනක ඉඳන් හරි අමාරුවෙන් ගණන් හදන්න යන්නේ නැතුව ඇති. ඒකටත් හරි යන්න කොන්දොස්තර! පරිසර තත්ත්ව කිසිම එකක් අදාළ නැහැ. මොන සල්ලියක් දික් කරත් සෙනික ඉතුරු සල්ලි ටික කීයද කියලා මොළෙන් ගාණ හදලා ඉවරයි. ඒක දෙන නොදෙන එක වෙනම කතාවක්.
2. සමබරතාව
අපි නම් බස් එකකට නැගගන්නෙත් සෑහෙන ගේමක් දීලා. නැග්ගත් හරි ඕකේ මොකක් හරි පොල්ලක් අල්ලාගෙන යනකන් එනකන් ඒකට ඇලිලා ඉන්නවා මිසක් අත් දෙක අත ඇරලා යන එකේ පොඩි අවුලක් තියනවා. යන්න නම් පුළුවන් හැබැයි සෑහෙන සම්භාවිතාවක් තියනවා ටික වෙලාවකින් වින්ඩ්ස්ක්‍රින් එකේ හැප්පිලා ඉන්න. මොකද රියදුරු මහත්තුරුන්ගේ වේගයේ ඉඳලා බ්රේක් ගැහිල්ල දක්වාම තනිකර ඇක්සොන් පිලුමක් නිසා. හැබැයි ඒ මොන සෙල්ලම් දැම්මත් වැඩකාරයෝ ඉස්සරහා ඒවා ඔක්කොම පදිරි. දහඅට වංගුව නෙවේ වංගු එකසිය විසි අටක් තිබ්බත් වැටෙන්නේ පෙරළෙන්නේ නැතුව කොහෙවත් අල්ලාගෙන යන්නේ නැතුව ඉන්න හැකියාව කොන්දොස්තරට තියනවා. බ්රේක් ගැහුවම ඉඳගෙන ඉන්න අයත් එහෙ මෙහෙ වුණත් කොන්දොස්තර එතනමයි.
3. ඉවසීම
සමහර නසරාණි කොන්දොස්තරලා ඉන්නවා තමයි හොස්ස ළඟින් මැස්සෙක්ටවත් යන්න දෙන්නේ නැති. ඒත් ඒ සියල්ලත් ඇතුළුව කොන්දොස්තරලා අම්බානෙකට ඉවසනවා. උදේ ඉඳන් රෑ ජාමයක් වෙනකන් හෙම්බත් වෙලා දාන්න තියන සෙල්ලම් ටික අපිට හෙම දාන්න දුන්නොතින් ඒ ආතතියටම අපි බස් එකේ ඉන්න කාට හරි නෙළනවා. ඒ මොකක්වත් නැතුව මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න තියෙන හැකියාවත් මාරයි ඉතින්. සමහර මගියොත් ඉන්නවා එක එක විදියේ නහර තියෙන. ඒ මිනිස්සු එක්ක වලියට යන්නේ නැතුව ඉවසන කොන්දොස්තරලා තමයි වැඩි.
4. ශරීර ශක්තිය
වැඩිය ඕනි නැහැ ලංකාවේ පොදු ප්‍රවාහන සේවයේ විනාඩි දහයක් ගියාම අපේ ඇඟවල්වලට දැනෙන්නේ පුදුමාකාර සනීපයක්නේ. ඒ අතින් බැලුවම කොන්දොස්තර අයියා හර්කියුලිස් කෙනෙක් වෙන්නේ මෙන්න මේකයි. කොයිම වෙලාවකවත් ඉඳගෙන යන කොන්දොස්තර කෙනෙක් දැකලා තියනවද? දුර ගමන් වුණත් එච්චරයි. කොළඹ ඉඳන් බදුල්ලට යනකන් තියෙන කිලෝමීටර දෙසීයත් පන්නන දුර කිසි ගින්නක් නැතුව හිටගෙන යන යෝධබල යෝධ ශක්තිය කොන්දොස්තර ළඟ තියනවා. ඒ විතරක් නෙවේ එකම බස් රූට් එකේ එහෙ මෙහෙ යන ගමන් වුණත් එච්චරයි. බලන් ඉන්න අපිට ඇඟේ අමාරුව හැදුනත් එයාට ඒ දේවල්වල වගක්වත් නැහැ.
5. දේශගුණික තත්ත්ව වලට ඔරොත්තු දෙන හැකියාව
මේ දවස් යමරෙට පායනවා. ඒ රස්නෙට ඔලුව කෙළින් තියාගෙන ඉන්න හරි අමාරුයි. ඒත් ඔය මොකක්වත් කොන්දොස්තර කෙනෙක්ට ලොකු ලොකු ප්‍රශ්න නෙවේ. බාගෙට මැරිච්ච වේලුණු ලුක් එකක් කොන්දොස්තර කෙනෙක්ගේ දකින්න අමාරුයි. හොඳට සූට්බූට් දාගෙන බස් එකට ගොඩ වදින මහත්තයත් ටික වෙලාවකින් බොත්තම් ගලවාගෙන එක විකාරයයි එතන. සීතල පැත්තකට ගියත් එහෙමයි. අයිස් කැප්, මන්කි කැප් වගේ අට අනූවක් ජාති පටලවාගෙන කොන්දොස්තර දහදුක් විඳින්නේ නැහැ.
6. මරණ බය නොදැනීම
ලංකාවේ බස් පැදිල්ල එක්ක බලද්දී ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් නතින්ග්. බස් එකින් එක ගෑවී නොගෑවී පදිනකොට ඇතුළේ වාඩිවෙලා ඉන්න අපේ රෝම කූප හිටෙව්වා වගේ කෙලින් වෙලා තියෙනවා. හැබැයි ඔය මෙලෝ ෆීලින්ග් එකක් කොන්දොස්තරට දැනෙන්නේ නැති පාටයි. මූණෙන් නම් දකින්න තියෙන්නේ ඒක කොන්දොස්තරට එක්තරා විදියක ත්‍රිල් එකක් කියලයි. ඔය වගේ මරණාසන්න අත්දැකීමක දී වුණත් බස් එකේ ඉස්සරහටම වෙලා ගෝඩ්ෆාදර් ටයිප් එකට ඉන්නෙත් ඒ නිසා වෙන්න ඕනි.
7. ධනාත්මක චින්තකයෙකු වීම
ඉන්ටර්නෙට් එකේ දකින පොසිටිව් කතන්දර වගේ නෙවේ කොන්දොස්තර කියන්නේ පොසිටිව් විදියට ජීවත් වෙන්න මගියන්ව පොළඹවන ගුරෙක්. ඇඟිල්ලක් ගහන්නත් ඉඩක් නැති බස් එකක වුණත් පුළුවන් තරම් ඉස්සරහට යන්න අනුබල දෙන්නේ අන්න ඒ නිසයි. බාධක මැඩගෙන ඉස්සරහට යන මේ චින්තනය ඉස්කෝල දහයකට ගිහිල්ලාවත් ගන්න බැරි එකක්. බස් එකක වැඩ කරන්න හිත හදාගැනීමමත් එක්තරා විදියකට ජීවිතේ දිහා ධනාත්මකව බැලීමක් නේ.
වෙනදාට ඉතුරු රුපියල සම්බන්ධයෙන් විතරක් කතා වෙන කොන්දොස්තර තැන දිහා අද ඉඳන් වෙනස් විදියට බලමු.
Cover Image Source – ceciliacolussi.com
Leave a Reply