සාමාන්‍යයෙන් මිනිස්සු ආසයි උස යනවට. මහත නැතත් උස ගියාම පෙනුම හොඳයි කියලයි කියන්නෙ. කොට චූටි කෙල්ලො කියුට් කියල සමාජ සම්මතයක් හදාගෙන තියෙන්නෙම අපේ සමාජෙ කෙල්ලො බහුතරයක් කොට නිසා වුනත්, උස කෙල්ලොන්ගෙත් අමුතු ලස්සනක් තියෙනවා. උස කොල්ලොන්ට ඉස්කෝලෙදි ලැබෙන අවස්ථා වැඩියි. බාස්කට්බෝල් ගහන්න කතාකරනව, ෆාස්ට් බෝල් දාන්න කතා කරනවා. හෙන ඉල්ලුම. ඉතිං කට්ටිය බාර් එක්සසයිස් කරනව, බයිසිකල් පදිනව, ස්විමිං කරනව වගේ වැඩ කෝටියයි. කොහොම වුනත් උස වුනාම කන්න වෙන කටුත් තියෙනවා. ඒ ගැන මහා ලොකුවට සමාජෙට නොදැනුනාට ඒක තරමක් ලොකු ප්‍රශ්නයක්.
1. වාහන සිහිනයට බාධා

Image Source – blog.dupontregistry.com
හැමෝටම තියෙනව වාහන හීනයක්. ඔය හීනෙ හැබෑ කරගන්න එක මේ තියෙන තත්ත්වෙත් එක්ක ලේසි නැහැ කියල හැමෝම දන්නවනෙ. හැබැයි ඉතිං හීන කතන්දර ඉවර කරගෙන මූලික අඩිතාලම විදියට කට්ටිය ගන්න හදන්නෙ පුංචි කාර් එකක්. දැන් හම්බෙන පඩියක හැටියට ලීස් කරලා ගන්න වෙන්නෙත් පුංචි කාර් එකක්නෙ. උස මනුස්සයෙකුට ප්‍රශ්නෙ එන්නෙ ඔතනදි. ඇයි ඉතිං එයාලට පුංචි කාර් එකක යන්න හරිම අමාරුයිනෙ. ක්ලච් එකෙන් කකුල උස්සද්දි දණිහ වදිනව නිකටෙ. ඕකට විසඳුමක් හොයන්න සීට් එක පස්සට ගත්තොත් ආය පිටිපස්සෙ වෙනිං කාටවත් යන්න බෑ. කොටිම්ම කාර් එකට ගොඩවෙන්නත් සමහරුන්ට අමාරුයි.
2. අවුල් කොන්දක්

Image Source – spineuniverse.com
උස මිනිස්සුන්ට ලොකුවටම තියෙන ලෙඩක් තමයි කොන්ද අවුල් යෑම. මොකද තමුන් කොච්චර උස වුනත් ඒ අයට ඩීල් කරන්න වෙන්නෙ තමුන්ට වඩා කොට සමාජයක් එක්ක. ඒ හින්දා ශරීරයෙන් කුදු වෙලා යන්න සිද්ධ වෙන තැන් වැඩියි. සමහර ඔෆිස්වල පවා තියෙන පුටු, උස මිනිස්සුන්ට අතිශය අපහසු විදියටයි තියෙන්නෙ. තනි මිනිහෙකුට වරප්‍රසාද ඉල්ලන්න බැරි තත්ත්වයක් නිසා උස මිනිස්සු වැඩිය ඒ වෙනුවෙන් අරගල නොකළත්, දිගු කාලීනව කොට සමාජයකට හුරුවී සිටීමෙන් උස මිනිස්සුන්ට කොන්දෙ අමාරු එන්න ලොකු ඉඩක් පවතිනවා.
3. ඇඳුම් අර්බුද

Image Source – slate.com
ඇඳුම් ප්‍රශ්න කියන්නෙත් උස මිනිස්සු හරියට අපහසුතාවයට පත්වෙන දෙයක්. මේක තවත් ලොකුවට දැනෙන්නෙ උස වෙලා කෙට්ටුත් උනොත් තමයි. ඇයි ඉතිං උස වුනාට ෂර්ට් සයිස් එක පොඩියිනෙ. ඉතිං ඔලුව කහන්න අත ඉස්සුව ගමන් ෂර්ට් එක ඇදෙනව උඩට. ඊට හපං කලිසම. කකුල් දිග වුනාට ඉන පොඩියිනෙ. ඉතිං කඩෙන් ගන්න කලිසම් ඉනට හරියන්න ගත්තොත් එවුව නවතිනව දණිස්සට ටිකක් පහළින්. උසට හරියන්න ගත්තොත් ඒවට දෙකහමාරක් බස්සන්න පුළුවන් ගාණෙ ඉන ඉතුරුවක් සෙට්වෙනවා. ඒ හින්දා හදිස්සියකට ඇඳුමක් ගන්න බෑ. මහලම තමයි ගන්න වෙන්නෙ.
4. කුණු කොන්තරාත්

Image Source – imgur.com
උස වුනාම මහා කුණු කොන්තරාත් තමයි සෙට්වෙන්නෙ. ගමේ ඉන්නකං හොරෙන් අඹ කඩන්න, රඹුටන් කඩන්න ගස් බඩ ගාවන්නෙ උස එකාව. කොට උන් ටික ගහ යට ඉඳන් කිසි මහන්සියක් නැතුව පළතුරු කනව. ඉස්කෝලෙදිත් එහෙමයි. බිල්ඩින් උඩයි, කොඩි කණුවලයි බඩගාන්න වෙනව. ඊට පස්සෙ අම්මගෙ එක එක කොන්තරාත්වලට එහා ගෙදර ඇන්ටිගෙ වහලෙ බලන්න නගින්නත් වෙනවා. වයිෆ් උයනකං රාක්ක උඩ තියෙන එක එක පෙට්ටි බෝතල් අරන් දෙන්න ළඟ ඉන්නත් වෙනවා. උස යනව කියන්නෙ වහක් කියල හිතෙනව එතකොට.
5. නින්ද කැඩේ… යළි ඇහැරේ…

Image Source – businessinsider.com
උස බුවාස්ලට තියෙන තවත් ලොකුම ප්‍රශ්නයක් තමයි නින්ද. බස් එකක නිදාගන්න බෑ ඉස්සරහට කකුල් දිගාරින්න අමාරු නිසා. ඇඳක නිදාගන්න බෑ සාමාන්‍ය සයිස් ඇඳන්වල නිදියද්දි හැමතිස්සෙම ඔලුවයි කකුල් දෙකයි ඇඳ විට්ටම්වල වදින නිසා. ඉතිං ලාවට නින්ද යාගෙන එනකොට නින්ද කැඩෙනවා. ඇයි ඉතිං කකුල් වදිනවනෙ. අනික මේ සමාජෙ බොහෝ දේ සාමාන්‍ය උසකට හරියන්න හදපු නිසා උස අයට ඒ පාඩුවත් විඳ දරාගෙන යන්න වෙනවා. සාමාන්‍යයෙන් සීට් උස බස් එකක හොඳට ඔලුව හේත්තු කරගෙන නිදියන්න පුළුවන් වුනාට, උස අයට එහෙම බෑ. ඒ අයගෙ හේත්තු වෙන්නෙ බෙල්ල.
6. පොදු ප්‍රවාහන අපහසුතා

Image Source – masonstravelblog.com
කොට ඒසී බස්වල හිටගෙන යන්න බෑ. ඔලුව වදින නිසා නවාගෙන යන්න වෙනව. ඉඳගෙන යන්න බෑ කකුල් වදින නිසා අකුලගෙන යන්න වෙනවා. ත්‍රීවීල් එකක යන්න බෑ කකුල් වදින නිසා පළල් කරගෙන යන්න වෙනවා. කොටිම්ම ඉස්කෝලෙ යන කාලෙ යාලුවෙකුගෙ බයිසිකලේ පොල්ලෙ යන්නවත් බෑ, කකුල් දෙක බිම වැදිලා බයිසිකලේට ඔටෝ බ්රේක් වදිනව. ඔයිට හපං වෙන්න අපි අර ඉස්සෙල්ල කිවුව වාහන අර්බුදෙත් තියෙනව. ඉතිං උස මනුස්සයෙකුට ප්‍රවාහනය කියන්නෙ හරිම අපහසු දෙයක් විදියට දක්වන්න පුළුවන්.
7. ලවු අර්බුද

Image Source – youtube.com
හම්මෝ ඉතිං මෙවුවටනං උස කොල්ලො එමට සාක්කි දෙයි. මොකද ඉතිං උස කොල්ලොන්ට කෙල්ලො හුඟක් කැමති නිසා, තනිකඩ උස කොල්ලෙක් හොයාගන්න එක ජනබලේ නොබීපු එකෙක් හොයනවට වඩා අමාරුයි. ලවු කරද්දි තියෙන සාමාන්‍ය සීන් ටිකක් තියෙනවනෙ. බස් එකේ යද්දි හේත්තුවෙලා යන්න ඕන. ඒත් ඉතිං කෙල්ලට බෑ උස කොල්ලෙකුගෙ උරේට හේත්තු වෙන්න. අතට තමයි හේත්තු වෙන්න පුළුවන්. පාරෙ ඇවිදගෙන යද්දි අතේ එල්ලිලා යන්න අමාරුයි. ඉතිං වෙන්නෙ කොල්ල කෙල්ලගෙ කරට අත දාගෙන යන එක. සාමාන්‍යයෙන් බස් එකේ ගමනාන්තෙට ආවම දෙන්නා අතරේ ලෝකෙට හොරෙන් ආදරණීය උම්මා එකක් හුවමාරු වෙනවනෙ. හැබැයි ඉතිං මේ ලවු එකේදි එහෙම දෙයක් ලෝකෙට හොරෙන් කරන්න බෑ… දුක තමයි!
Cover Image Source -bi.com/rd.com
Leave a Reply