මළ ගෙවල්වලදී සෙට් වෙන නෑදෑ වර්ග 7ක්

වරිග පරම්පරාව ගැන කතා කරන්න නම් හොදි ඕනි නෑ. සමහරුන්ට වහකදුරු විදියටත් සමහරුන්ට බොක්කේ පිට් එකෙනුත් ඉන්න අමුතු මිනිස් ජාතියක් තමයි නෑදෑයෝ. ඉතාම හොඳ නෑදෑයෝ වගේම යන්න පුළුවන් පහත්ම අඩියට වැටෙන වේයෝත් ඉන්නවා. මළ ගෙයක් කියන්නේ මේ නෑයොයි වේයොයි ඔක්කොම මුණ ගැහෙන තැනක්. බලන්න මේ නෑයත් ඔයාගේ පරම්පරාවේ ඉන්නවද කියලා.

 

1. වැඩකාරයා

Funeral

Image Source – asianews.it

කොළේකුයි පෑනකුයි අතේ තියාගෙන, පොඩි වෙලාවකටවත් ඉඳගන්න තියා හුස්මක් කටක් ගන්නවත් වෙලාව මිඩංගු නොකරන, මළ ගෙදර පුල් බිසී ඩෑල් එක තමයි මේ. ගොඩක් වෙලාවට කෙස් පැහුණු මාමා කෙනෙක් මේ චරිතය කරනවා. අර කොළේකුයි පෑනකුයි අතේ තියනවා කිව්වේ. ඒකේ තියෙනවා මළ ගෙදර ආපු අයට කන්න දෙන්න පැලෑන් කරගත්තු කෑම වට්ටෝරුව, පාංශුකූලෙට වඩින හාංදුරුවන්ගේ විස්තර, වියදම් වගේ දේවල්. වැඩකාරයා අත ගැහුවේ නැත්නම් වැඩේ එතනම අජපල්.

 

2. දැනමුත්තා

Funeral

Image Source – thisisinsider.com

වැඩකාරයා කියන්නේ කාසියක එක පැත්තක් නම්, ඒකේ අනික් පැත්ත තමයි මේ. මෙතුමා දන්න දෙයක් නැතත් දන්නවා වගේ ටෝක්ස් ඉෂූ කිරීම සම්බන්ධව කප් ගහලා තියෙන්නේ. කොල්ලෝ කුරුට්ටෝ ටිකකට, එහෙමත් නැත්නම් කෝපි අල්ලන කෙල්ලන්ට වැඩේ වෙන විදිය නැත්නම් වැඩේට අදාළම නැති දේවල් ගැන කයිපොයි තමයි. දේවල් සිද්ධ වුණ, සිද්ධ වෙන ආකාරය, රටේ දේශපාලන තත්ත්වය, ලෝකයේ මිසයිල අර්බුදය වගේ මාතෘකා එළියට ආවාම ඉතින් නැවතීමක් නැහැ.

 

3. කිඹුල් කඳුළා

Funeral

Image Source – giphy.com

අහවලා මළා කියන ආරංචිය ආපු වෙලේ ඉඳන් භූමදානේ දක්වා ගෙයි වහලේ උළු හෙල්ලෙන්න කෑ ගහන මෙයා බොහෝ වෙලාවට තැනැත්තියක්. මළේ ආච්චි නම් ඒ උත්තමියගේ පැන්සොන් පඩිය නිසා චිරාත් කාලෙකට වැජඹුන හදවතකට අවුල් යන එක අහන්න දෙයක් නෙවේ. අවසාන දවසේ වලට වුණත් පනින්න ලෑස්ති, හැබැයි වල වටේ එදාට යන්නේ ඒක අස්සට නොවැටෙන්න වග බලාගෙනයි.

 

4. නෙස්කැෆේ ඔපරේටර් සහ දුවණියෝ

Funeral

Image Source – imgur.com

මළ ගෙවල් කියන්නේ තනිකරම ගොඩක් දෙනෙක්ට දැන් ව්‍යාපාර අවස්ථාවක්. නෙස්කැෆේ මැෂින් කියන්නේ ඒ වගේ අයිටමයක්. ඕක කරඬුව වඩම්මලා වගේ ගෙනාවට පස්සේ භාරකාරයෙක් පත් කරනවා. ඒ භාරකාරයා ඒක තමන්ගේ අධීක්ෂණය යටතේ දෙනවා හුරුබුහුටි කෙළි පැටික්කියන්ට. උපන්තේකට කෝපි නොබොන එවුණුත් එතකොට කෝපි බොනවා. ඔපරේටර්ගේ වැඩ තමයි. හැබැයි ඔපරේටර් එතනින් හෙල්ලෙන්නේ නැහැ. බොත්තම ඔබලා ආතල් එකේ එතෙන්ට වෙලා බලන් ඉන්නවා. කම්මැලි හිතුණම කාගේ හරි ඇඟේ ගහලා මාරු වෙනවා.

 

5. ආවෝ ගියෝ

Funeral

Image Source – giphy.com

ඔක්කොම ටික මහගෙදර ජීවත් වෙන කාලයක් නෙවේ නේ දැන්. රැකියා අවස්ථා, අධ්‍යාපනය, විවාහය වගේ ප්‍රශ්න නිසා හැමෝම විසිරිලා. මළ ගෙයක්, මගුලක් තියෙනකොට තමයි ආපහු එවෙන්නේ. ඒ එන එකත් පිට මනුස්සයෙක් වගේ අවසන් කටයුතු දවසට ඇවිල්ලා එදාම යන ටයිප් නම්, ඒ ආවෝ ගියෝ.

 

6. වල්පල් බෙදන්නා

Funeral

Image Source – juniaproject.com

කප්පරකට වැඩ තියෙද්දී පොඩි එවුන් වටකරගෙන උන්ට නයි අරින්න ලොකු අවස්ථාවක් කොල්ලෙක් උදාකරගන්නවා. කොල්ලගේ මට්ටමෙන් ඉහළට ගිහිල්ලා නැන්දා මාමා ලෙවල් එකේ අය තමයි මේ කතාව ඇදගන්නේ. වල්පල් කිව්වම ටොන් පච විතරක් නෙවේ, මළ ගේ අස්සේ අවුරුදු 25-30 අතර ඉන්න දැරිවියන්ගෙන් මංගල්ල ගැන කතා කරනවා. අවසන් ගෞරව දක්වන්න එන අයත් ඇදගෙන සෑහෙන දේවල් ගැන ඔහේ දොඩවනවා.

 

7. ආදරණීයයා

Funeral

Image Source – giphy.com

මළ ගෙදරට එන අයගෙන්, අනෙක් නෑදෑයන්ගෙන්, යාළු මිත්‍රාදීන්ගෙන් හොඳ වචනයක් අහගන්න කාටත් බැහැනේ. හැබැයි එහෙම නෑදෑ ටයිප් එකකුත් ඉන්නවා. ප්‍රියයාගේ ජීවිතය වෙනුවෙන් කරන්න පුළුවන් හැම දේම කළ යුතුයි කියන මතයේ ඉන්න, ඒ පුද්ගලයාට හදවතින්ම ආදරේ කරන අය ඉන්නවනේ. පවරන ඕනම වැඩක් නෑ බෑ නොකියා කරන්නෙත් ඒකයි.

 

කොහොම හරි මළගෙවල් නිසා සුළු මොහොතකට හරි ඈත්වෙලා ඉන්න අය ළං වෙනවා. ඒ අතින් බැලුවම මොන නෑදෑයා එතන දී සෙට් වුණත් කමක් නෑ. කවදා හරි ඔයත් වල පයට අඩිය තිබ්බ දවසක මළ ගෙදර රන් කරන්නේ මෙයාලා නිසා තමයි.

Cover Image Source -sunsetgardenstricities.com/expertise.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *