රස්සාවක් කරන හෝ ඉගෙන ගන්න හෝ ඕනෙම මනුස්සයෙක් කාර්යබහුල වෙන කාල වකවානු තියෙනවා. සමහර වෙලාවට අර ෆුල් වැඩ වැඩ මානසිකත්වයේ ඉන්න ඩයල් එකක් නම් සදාකල් බිසී. හැබැයි ඉතින් බිසී පීපල්ස්ලා ලව් කරන්නෙ නැද්ද? කරනවා. හැබැයි සමහර වෙලාවට බිසී මිනිස්සු එක්ක ලව් කරන එක කරදරයි. එක්කෙනෙක් බිසී වෙලා අනික් එක්කෙනා ගෙදරටම වෙලා ඉන්නවා නම් වැඩේ අන්තිම අමාරුයි. හැබැයි එහෙම වුනත් ජීවිතේ වැඩකටයුතු කරගන්න ගමන් ලව් එකත් පරිස්සම් කරගන්න ක්‍රම තියෙනවා. ආන්න ඒ ගැන කියලා දෙන්න අපි ලෑස්තියි.
1. සන්නිවේදනය වැදගත්
සාමාන්‍යයෙන් ආදර සම්බන්ධතාවයකදී එක්කෙනෙක් බිසී වෙන එක දෙවිදියකට වෙන්න පුලුවන්. එකක් තමයි මනුස්සයා ඇත්තටම අම්බානෙක බිසී. ආසාවට හරි ආසාවකින් තොරව හරි කාර්යබහුල වෙලා ඉන්නේ. හැබැයි ආදරේ එහෙමම තියෙනවා. අනෙක් විදිය තමයි මනුස්සයා බිසී කියලා පෙන්නනවා. ගොඩක් වෙලාවට මෙහෙම කරන්නේ ලව් එකෙන් ඈත් වෙන්න. හරි එහෙම කියපු ගමන් බය වෙන්න එපා. ලව් කරන දෙන්නගෙන් කෙනෙක් සුපර් බිසී වෙනවා නම්, අනික් කෙනා කරන්න ඕන දේ තමයි පන්දම් පාලිය නටන්න යන්නෙ නැතුව බොහොම සවිඥාණිකව ඒ ගැටළුවට මුහුණ දෙන එක. හොඳ සන්නිවේදනය තමයි පළවෙනි පොයින්ට් එක. තමන්ගේ බිසී බෝයිෆ්‍රෙන්ඩ්ට හරි බිසී ගර්ල්ෆ්‍රෙන්ඩ්ට හරි කෙළින්ම, සුහදව කතා කරන්න. ඇයි ඔච්චර බිසී වෙලා තියෙන්නේ කියන එක කතාබහ කරන්න. ඔයාගේ පැත්තෙන් උදවුවක් කරන්න පුලුවන්ද කියන එකත් කතාබහ කරලාම බලන්න. කොටින්ම කිවුවොත් ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි බෝයිෆ්‍රෙන්ඩ් හරි කොච්චර බිසී වුනත් ඔයත් එක්කයි ජීවිතේ ෂෙයාර් කරගන්න පුලුවන් කියන එක සන්නිවේදනය කරන්න.
2. කරන්න දේවල් හොයාගන්න!
අපි කලිනුත් කිවුවා වගේ දෙන්නගෙන් එක්කෙනෙක් විතරක් බිසී වෙනවා කියන්නේ අනික් එක්කෙනාට කාලා ඉන්න බැරි වැඩක්. ආන්න ඒ නිසා බිසී පාට්නර් කෙනෙක් එක්ක ජීවත් වෙනවා නම්, තමන්ටත් කරන්න වැඩ රාජකාරි ටිකක් හොයාගන්න ඕන. ඒ කියන්නේ ජීවිතේ ගැන අමතක කරලා බිසී වෙලා ඉන්න එක නෙවෙයි. තමන් නිකම් ඔහේ කල්පනා කර කර ගත කරන කාලය අඩු කරගන්නයි මේ කියන්නේ.
ඒකට කරන්න දේවල් ඕනෑ තරම් තියෙනවා. විනෝදාංශයක් පටන් ගන්න පුලුවන්. තමන්ට කරදරයක් නැතුව කීයක් හරි හම්බුකරගන්න පුලුවන් ස්වයං රැකියාවක් හරි නිදහස් රැකියාවක් හරි පටන් ගන්න පුලුවන්. මොනවා හරි ඉගෙනගන්න යොමු වෙන්න පුලුවන්. මේ විදියට තමන්ට කරන්න දහසකුත් එකක් දේවල් තියෙනවා. ඉතින් බිසී ගර්ල්ෆ්‍රෙන්ඩ්ට හරි බිසී බෝයිෆ්‍රෙන්ඩ්ට හරි නෝක්කාඩු කිය කියා ඉන්නවට වඩා තමන්ගේ කාලය ඵලදායී විදියට යොදවන එක වැදගත්.
3. ගේම ඉල්ලනු එපා!
සාමාන්‍යයෙන් කොල්ලා හරි කෙල්ල හරි ෆුල් බිසී වෙනවා නම්, තමන් බිසී නැතිනම් වැඩේ පටන් ගන්නේම ගේම කෝල් කරලා. “ඇයි ඔයාට විතරද මේ ලෝකේ රස්සාවක් තියෙන්නේ?”, “ඔයාට මාව පොඩ්ඩක්වත් වටින්නේ නැද්ද?”, “ඔයාට රස්සාවද වටින්නේ නැත්නම් මාවද?” වගේ වෙඩි උණ්ඩ වලින් තමයි මේ වගේ මොහොතක ප්රශ්නය විසඳන්න හදන්නේ. හැබැයි නිකමට හිතන්න. අර වැඩ ගොඩක හිරවෙලා ඉන්න මනුස්සයාට මේ වගේ ඩ්‍රාමා එකකටත් මූණ දෙන්න වෙනවා කියන්නේ මොන තරම් බරක්ද? ආන්න ඒ නිසා බැණුම්, ඩ්‍රාමා, ගේම ඉල්ලිලි මේ වගේ මොහොතක තියාගන්න එපා. පොඩ්ඩක් සානුකම්පිත වෙන්න. තමන්ට ලැබිය යුතු දේවල් තියෙනවා කියලා හිතන්න, ඒකට පංගු පේරු පිරිමහන්න යන්න එපා. ඇත්තටම ආදරේ කියන එක මතුවෙන්නේ මේ වගේ තැනකදී තමන් වැඩකරන විදිය අනුව. තමන්ට පුලුවන් නම් තමන්ගේ බිසී ආදරවන්තයා හෝ ආදරවන්තිය ගැන අනුකම්පාවෙන් සහ ඉවසිල්ලෙන් කටයුතු කරන්න, එයාලා එක්ක තමන් ඉන්නවා කියන එක සන්නිවේදනය කරන්න, වැඩ කරලා මහන්සි වෙන වෙලාවට ගිමන් හරින්න තැන තමන් ළඟයි කියන එක දැනෙන්න අරින්න, අන්න ඒක තමයි ලව් එක කියන්නේ!
4. තමන්ටම කියලා ලෝකයක්!
මේක බිසී පාට්නර් කෙනෙක් හිටියත් නැතත් හිතට ගන්න ඕන කාරණාවක්. සමහරු ආදරයෙන් බැඳුනහම නැතිනම් විවාහ වුනහම, තමන්ගේ ආදරවන්තයා හරි ආදරවන්තිය හරි මුළු ලෝකෙම කරගන්නවා. ආන්න ඒ වගේ කෙනෙක්ට ආදරවන්තයා හෝ ආදරවන්තිය කාර්යබහුල වෙනවා කියන්නේ ලෝකේ පෙරළුනා වගේ සීන් එකක්. හැබැයි ඇත්තටම වෙන්න ඕන තමන්ගේ සියලුම දේ අත ඇරලා ආදරවන්තියට හෝ ආදරවන්තයාට සීයෙට සීයක ඇටෙන්ෂන් දෙන එක නෙවෙයි. තමන්ගේ ලෝකේත් තියාගන්න අතරේ ආදරේත් පවත්වගන්න එක. ඒක තමයි සෞඛ්‍ය සම්පන්න ක්‍රමය. අන්න ඒ නිසා යාලු මිත්තරයන් ඇසුරු කරන්න. තමන්ගේ දෙයක් කරන්න. විනෝදාංශයක් හෝ ඉගෙන ගන්න දෙයක් හෝ තමන්ගේ දියුණුවට දේවල් කරගන්න. ඒ අතරේදී ෆුල් ලව් එකේත් ඉන්න. එහෙම තමන්ට කියලා ලෝකයක් තියෙනකොට, ආදරවන්තයා හරි ආදරවන්ති හරි සෑහෙන බිසී වෙන එක බොන්න ඕන ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
5. ඇණයක් නොවී ළඟින් ඉන්න කලාව!
අපි හිතමු මොකක් හරි ලොකු ප්‍රොජෙක්ට් එකක හිරවෙලා ඉන්නවා කියලා කොල්ලා. දැන් කෙල්ල වෙනදා වගේම පැයෙන් පැයට ඇමතුම් දෙන එක, මැසේජ් කරන එක කොල්ලට පට්ට කරදරයක්. වෙනදට ඒ වැඩේට කොල්ලා ආස වෙන්න පුලුවන්. හැබැයි මෙහෙම බිසී වෙලා ඉන්නකොට ඒක අවධානය වෙනතකට යොමුකරන දෙයක් විතරයි. ආන්න ඒ නිසා මේ වගේ මොහොතකදී කෙනෙක් දැනගන්න ඕන ඇණයක් නොවී ඉන්න විදිය. හැබැයි ‘උඹ බිසී වැඩ කරගනින්, මම මගේ වැඩ’ කියලා සම්පූර්ණයෙන්ම අත ඇරලා ඉන්න එකෙන් වෙන්නේ ආදරේට පොඩි හෝ පළුද්දක් එකතු වෙන එක තමයි. ආන්න ඒ නිසා හොයාබලන එක නවත්තන්නත් එපා. එයාට දැනෙන්න දෙන්න ඕන තමන් ගැන හොයාබලන, ආදරේ කරන මනුස්සයෙක් ඉන්නවාය කියන එක. හැබැයි ඒක කරන්න ඕන ඩිස්ටර්බ් නොවෙන විදියට. උදාහරණයක් විදියට ගත්තොත් කෝල් එකක් නොදී මැසේජ් එකකින් අහන්න පුලුවන් දවල්ට කාලද ඉන්නේ කියලා. කාල නැතිනම් තව මැසේජ් එකකින් ආදරෙන් මතක් කරන්න පුලුවන් ‘නොකා වැඩකරන්න එපා’ කියලා. ආන්න ඒකයි ආට් එක.
6. ජීවිතේ රොමෑන්ටික්!
දැන් ඔය රොමෑන්ටික් වෙනවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ තුන් තිස් පැයේ ආදරෙයි ආදරෙයි කිය කියා ඉන්න එක නෙවෙයි. අනික් කෙනාට තමන් ආදරේ කරනවා කියලා දැනෙන විදියේ දේවල් කරන එක. දැන් බිසී ලයිෆ් එක අස්සේ රොමෑන්ටික් වෙන්න යනවා කියන්නේ කොරේ පිටට මරේ නෙවෙයිද? අපි කියන්නේ මෙහෙම දෙයක්. බිසී මනුස්සයෙක්ට ඇණයක් වෙන්න ඕන නෑ. හැබැයි අපි උඩින්ම කිවුවනේ දෙන්නා අතරේ කමියුනිකේෂන් තියෙන්න ඕන කියලා. ඉතින් ඒ විදියට හරියට සන්නිවේදනය කරලා හදාගන්න පුලුවන් දෙන්නට පුලුවන් වෙලාවක කරන්න පුලුවන් පුංචි දෙයක්. ඒක ඉක්මන් දවල් කෑමකට යෑමක් වෙන්න පුලුවන්. එතකොට අපි කරන්නේ එයා එක්ක තොඳොල් වෙවී එයාව පුලුවන් තරම් වෙලා අපි එක්ක තියාගන්න උත්සාහ කරන එක නෙවෙයි. එයාට ඉක්මනට කාලා ආයෙමත් වැඩට යන්න ඉඩ දෙන එක. හැබැයි යන්න කලින් ඔයාට පුලුවන් එයාට පුංචි ප්‍රසන්ට් එකක් දීලා පුදුම කරවන්න. ආන්න එහෙමයි රොමෑන්ටික් වෙන්නේ! බිසී මනුස්සයෙක් එක්ක රොමෑන්ටික් වෙන එක, තියෙන පුංචි වෙලාවේදී වුනත් තමන් ආදරෙයි කියලා දැනෙන්න පුංචි හරි දෙයක් කරන එක සාර්ථක ක්‍රමයක්.
7. තමන්ගේ මොහොත එන්ජෝයි කරන්න
මේක තමයි අපි මේ ආටිකල් එක පුරාම කීප වතාවක් කිවුවේ. තමන්ගේ අවකාශය තියෙන මනුස්සයෙක්ට, තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය බිසී වෙන එක ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒකට හේතුව ඒ කෙනාගේ සම්පූර්ණ ජීවිතයම තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය නොවීම. තමන්ටත් ජීවිතයක් තිබීම. එහෙම ජීවිතයක් වඩාත් ප්‍රායෝගිකයි සහ සුන්දරයි කියන එක බොරු නෙවෙයි. ආදරේ තියෙනවා. ආදරේ කරන මනුස්සයාත් එක්ක ජීවිතේ බෙදාගන්නවා. ඒ ඔක්කොම හරි. හැබැයි තමන්ටත් ජීවිතයක් තියෙනවා. ඒ ජීවිතේ තමන් ඉන්න මොහොත එන්ජෝයි කරනවා. අන්න එහෙමයි වෙන්න ඕන.
හැබැයි ඉතින් තමන්ගේ ආදරවන්තයාගේ හරි ආදරවන්තියගේ හරි තියෙන්නේ බොරු බිසී නම්, ඒකෙන් කියවෙන්නේ තමන් එක්ක කාලය ගත කරන්න අවශ්‍යතාවයක් නැහැයි කියන එක. තමන්ගෙන් ඈත් වෙන්නයි වුවමනා වෙලා තියෙන්නේ කියන එක. ඔය බොරු බිසී සහ ඇත්ත බිසී හරියට අඳුනාගන්නත් කෙනෙක්ට පුලුවන් වෙන්න ඕන. සරලවම කිවුවොත් බිසී මනුස්සයෙක්ගේ බිසී වෙන එකේ ප්‍රතිඵල තියෙනවා. ඒ කියන්නේ රැකියාව නිසා බිසී වෙනවා නම් රැකියාවේ ප්‍රගතියක් තියෙන්න ඕනනේ. ඉතින් එහෙම නැතුව ලව් එක එපා නිසා බිසී කියලා කෙනෙක් පෙන්නනවා නම්, අහවල් කෙංගෙඩියටද තවත් ඒ ලව් එකේ එල්ලිලා ඉන්නේ? තමන්ටත් තමන්ගේ ලෝකයක් තියෙනවාය කියන එක අමතක කරන්න එපා!
Cover Image Source -thoughtcatalog.com/vice.com/ravishly.com
Leave a Reply