කොච්චර ඩයට් කළත් බඩ වැඩියිද? එහෙනම් මේ සරළ ක්‍රම වලින් බඩ අඩු කරගන්න

ඇඟපත කෙට්ටු කර ගත්තත් බඩ අඩු වෙන්නේ නැති එක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. කෑම කන ප්‍රමාණය අඩු කළත්, මේදය, පිෂ්ටය අධික කෑම සීමා කළත් සමහරුන්ගේ බඩ නම් අඩුවෙන්නේ නැහැ. කෑම බීමෙන් පරිස්සම් වෙලා, ව්‍යායාම කළත් බඩ අඩු නොවෙන නිසා ඒ අය ඉන්නේ හිතේ අවුලෙන්. ඇඳුමක් ඇන්දත් බඩ හිරවෙලා ඉදිරියට නෙරලා එන නිසා හිතටත් ඇඟටත් දෙකටම අපහසුයි. ඇත්තටම මේකට විසඳුමක් නැද්ද?

ඒ ගැන තමයි අපි මේ ලිපියෙන් කියන්න හදන්නේ… කොච්චර කෑම අඩු කළත් බඩ පුරවා දමන, මහත් කරවන එක වළක්වගන්න ඔබට කරන්න පුළුවන් සුළු සුළු දේවල් ටිකක් ගැන තමයි අපි මේ කියන්නේ.

 

1. කල් වේලා අරන් හොඳට හපලා කන්න

Image Source – giphy.com

පොඩ්ඩක් කෑවත් බඩ ගොඩක් පුරවල දාලා අපහසුතාවයක් දැනෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි අපි කෑම බීම ගනිද්දි ඒවත් එක්ක බඩට වාතයත් ඇතුළුවීම. මේක වළක්වගන්න එක හරිම වැදගත්. කෑම ගනිද්දි කළබලෙන් කන්නෙ නැතිව වෙලා අරන් හොඳට හපලා කන්න. එහෙම කරද්දි කෑම දිරවන්න ලේසි වෙනවා වගේම සමහර කෑම වල තියෙන වායු අංශු ආමාශයට ඇතුළු වෙන එකත් වැළකෙනවා. ඒ වගේම තමයි කෑම ගන්න ගමන් කතා කරන එකෙනුත් පුළුවන් තරම් වැළකෙන්න. කෑම හපන ගමන් කතා කරද්දිත් බඩට වාතය ඇතුළු වෙලා පිම්බෙන්න ඉඩ සැලසෙනව.

 

2. කාබනේටඩ් බීම වලින් සහ චුයින්ගම් සැපීමෙන් වළකින්න

Image Source – thehealthsite.com

අධික ගෑස් ගතියෙන් යුක්ත කාබනේටඩ් පැණි බීමෙන් ඈත්වෙන එක බඩ අඩුකරගන්න හිතන කෙනෙක් අනිවාර්යයෙන් කරන්න ඕනෙ. අඩු සීනි සහ ඩයට් බීම වර්ග උනත් නොබොන තරමට තමයි හොඳ. මේ බීම වල තියන වායු බුබුලු බඩට ඇතුළු වුණාට පස්සේ බඩ පුරවලා දැමීම සිද්ධ කරනවා. සෞඛ්‍යයට හිතකර බීම වර්ගයක් වුනත් බොද්දි ස්ට්‍රෝ එකක් භාවිත නොකර වීදුරුවකට දාගෙන බිවුවොත් ඒකෙනුත් බඩ පුරවා දැමීම අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තවත් බඩ පුම්බවන්නට බලපාන දෙයක් තමයි චුයින්ගම් කියන්නේ. චුයින්ගම් හැපීම කියන්නෙත් බඩට අනවශ්‍ය විදිහට වාතය පුරවන පුරුද්දක්.

 

3. බඩ වේලීම වළක්වාගන්න

Image Source – giphy.com

නිතරම බඩ වේලීමේ තත්ත්වය ඇති වීම නිසාත් අනවශ්‍ය විදිහට බඩ නෙරා ඒම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ බහිශ්‍රාවීය ක්‍රියාවලිය නිසි පරිදි පවත්වාගෙන යන්නටත් කටයුතු කරන්න ඕනෙ. ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමත්, ශරීරය ක්‍රියාශීලීව පවත්වාගෙන යෑමත් මේ සඳහා උදවු වේවි. ඒ වගේම ඕට්ස්, බෝංචි, ඇට වර්ග වගේ ජලයේ දියවන තන්තුමය ආහාරත් (Soluble Fiber) බඩ වේලීමේ තත්ත්වය වළක්වගන්නට උපකාරී වේවි. හැබැයි සමහරුන්ට මේ වගේ තන්තුමය ආහාර අහිතකර වෙන්නටත් පුළුවන්. ඒ ගැන පරිස්සම් වෙන හැටි ඊළඟට කියන්නම්.

 

4. බඩ පුරවාදමන ආහාර වර්ග ගැන සැලකිළිමත් වෙන්න

Image Source – johnnyseeds.com/en.wikipedia.org

අපි කලින් නවත්තපු තැනට දැන් එන්නම්. තන්තුමය ආහාර ගුණදායක වුණත් සමහරුන්ගේ බඩට ගෑස් ගතිය පුරවන්න මේ විදිහෙ ආහාර හේතු වෙනවා. අන්න ඒ නිසා ඒ ආහාර ගත්තහම තමන්ගේ ශරීරයට අපහසුවක් ඇතිවෙනවාද නැද්ද කියන එක ගැනත් අවධානෙන් ඉන්න එක වැදගත්. බෝංචි වර්ග, පරිප්පු, කිරි ආශ්‍රිත නිෂ්පාදන, ළූණු වගේ ආහාර නිසාත් සමහරුන්ගේ බඩ පුරවාදැමීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ තමන්ගේ බඩ පුරවලා දමලා අපහසුතාවයක් ගෙනෙන ආහාර ගැන දැනුවත් වෙලා ඉන්න එක වටිනවා. හැබැයි එහෙම අපහසුතාවයක් දැනුන පළියට ඒ ආහාර වලින් ඈත් වෙලා ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබානොගෙන ඉන්න එපා. මේ ගැන වෛද්‍යවරයෙක් හමුවෙලා සාකච්ඡා කරලම තීරණයක් ගන්න.

 

5. කුඩා ආහාර වේල් වැඩි ගණනක්

Image Source – healthline.com

ලංකාවෙ අපි වැඩි දෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ ප්‍රධාන ආහාර වේල් තුනක් බරසාරෙට කන්න. මේ ආහාර වේල් තුන අතර තියන කාල පරාසය වැඩි නිසා අපි හුඟක් වෙලාවට මේ වේල් තුනටම කෑමට ඉඳගන්නෙ සෑහෙන බඩගින්නකින්. ඒ නිසා පමණට වඩා ආහාර ප්‍රමාණයක් අපිට කැවෙනවා. ෆ්ලැට් බඩක් ලබන්න සිහින මවනවානම් මේ පුරුද්ද එච්චර හොඳ නෑ. ඒ වෙනුවට කුඩා ආහාර ප්‍රමාණ වලින් සමන්විත වේල් කීපයකට ඔයාගෙ දවසේ කෑම ප්ලෑන වෙනස් කරගන්න එක තමයි සුදුසුම. එතකොට කෙටි කාල පරාසයන් වලදි කෑම කැවෙන නිසා ලොකුවට බඩගිනි වෙන්නෙත් නෑ. එකපාර ලොකු කෑම ප්‍රමාණයක් බඩට වැටෙන්නෙත් නෑ.

 

6. මත්පැන් සහ දුම්වැටි භාවිතය සීමා කිරීම

Image Source – http://federal.governmentcareer.com

අපි කලින් කිවුවනේ ස්ට්‍රෝ එකකින් බීම බොන එකත් බඩට වාතය පුරවන්න හේතු වෙනවා කියලා. ඒ වගේම තමයි ඉතින් දුම් බීමත්. ඒ වගේම කිවුවට ඊට වඩා භයානක ප්‍රතිඵල ගෙන එන්න පුළුවන් පුරුද්දක් ඒක. දුම්බීමෙන් වගේම බියර් වගේ කාබනේටඩ් මත්පැනුත් බඩ වැඩි කරන්නට අනිවාර්යෙන් බලපාන සාධක තමයි. මේ දේවල් නවත්වන්න බැරිනම් හැකි පමණ සීමා කරන්නටවත් වග බලාගන්න ඕනෙ.

 

7. බඩේ පිරවිල්ල අඩු කරන ආහාර පාන

Image Source – http://health.com

බඩ පුරවාදැමීමට හේතු වන ගෑස් ගතිය මට්ටු කරන්නට ප්‍රෝබයෝටික් (Probiotics) අඩංගු ආහාර වලට පුළුවන් කියල විශ්වාස කෙරෙනවා. මේ සම්බන්ධයෙන් ඇති පරීක්ෂණ මේ ගැන සියේට සීයක් නිගමනය කරල නැති වුණත් සමහර පුද්ගලයන්ට මේ ප්‍රෝබයෝටික් සහිත ආහාර මගින් බඩ අඩුකරගන්න පුළුවන් කියලයි විශේෂඥයො කියන්නෙ. ලංකාවෙ අපි ගන්නා ආහාර අතරින් ප්‍රෝබයෝටික් අඩංගු ප්‍රධාන ආහාරයක් වෙන්නේ යෝගට් තමයි. සෙලරි, ඇස්පැරගස් සහ ඉඟුරු කියන්නෙත් බඩ පුරවා දැමීම අඩු කරවන විදිහේ ආහාරයි. ඉඟුරු තේ, පෙපර්මින්ට් තේ සහ කැමොමයිල් තේ වර්ගත් බඩ පුරවා දැමීම වළක්වා, බඩ අඩු කරවන පානයන් හැටියට හඳුන්වන්න පුළුවන්.

 

මේ කියපු දේවල් වලට අමතරව හොඳින් ව්‍යායාම කිරීමත් බඩ අඩුකරගැනීමට අනිවාර්යයෙන්ම බලපාන සාධකයක් කියන එක අමුතුවෙන් කියන්න ඕනෙත් නැහැනෙ. බඩ අඩු කරන්නම ඉලක්ක කරගත්ත ඇබ් එක්සර්සයිසස් වලට වඩා මුළු සිරුරටම ව්‍යායාම දෙන ආකාරයේ ක්‍රියාකාරකම් වල නිරත වීම තමයි වඩාත් හොඳ වෙන්නේ. දිගින් දිගටම බඩ ඉදිරියට නෙරා ඒමත් එක්ක ශාරීරික අපහසුතා ඇති වෙනවානම් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් පැතීම තමයි කළ යුතුම වන්නේ කියන එකත් අමතක කරන්න එපා…

Cover Image Source -riteshbawri.com/livenedup.com/befit.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *