කෙල්ලෙක්ට කොල්ලෙක්ට හොඳ පර්ෆියුම් එකක් ‍තෝරගන්න උපදෙස් කීපයක් අපෙන්!

Select a perfume

සාමාන්‍යයෙන් ගෑණු ළමයෙක් එලියට බහිනකොට සැන්ට් චුට්ටක් ගා ගන්නෙ නැතුව යන්නෙ නෑනේ. හැබැයි ඉතින් සමහර කොල්ලෝ නම් ගොඩක් වෙලාවට සැන්ට් බෝතලේ ඇ‍ඟේ හලාගන්නේ ගෑණු ළමයෙක්ව කාරිය බලන්න යනකොට තමයි. කොහොම වුනත් කොල්ලෙක් වුනත්, කෙල්ලෙක් වුනත් ගෙදරින් එලියට බහිනකොට පොඩ්ඩක් පුසුඹ ගහන්න ඉන්න එක හොඳයි. හැබැයි ඉතින් ඒකට අතට අහුවෙන සුවඳ එයාර් ෆ්‍රෙෂ්නර් එකෙන් හරි විදගෙන ගිහිල්ලා හරියන්නෙ නෑ. තමන්ට ගැලපෙන, හරි විදියේ සුවඳ විලවුන් වර්ගයක් ‍තෝරාගන්න ඕන. සුවඳ විලවුන් පාවිච්චි කරන එක වුනත් හරි විදියට කරන්න ඕන. ඒ හරි විදිය තමයි මේ.

 

1. එක එක සුවඳ සැන්ට් වර්ග!

Select a perfume

Image Source – perfumesamore.com

දැන් ඔය සුවඳ ගහන්න තියෙන සැන්ට් ජාති කියලා ගත්තහම එක එක විදියේ ඒවා තියෙනවා. එක එක සුවඳ ඒවා තියෙනවා. ඇත්තටම මේ දේවල් ගැන ගැඹුරට හදාරන්න ඕන නැහැ. හැබැයි මූලික දැනුමක් තියෙන එක වටිනවා.

මුලින්ම විවිධ සුවඳ වර්ග ගත්තොත්, ඇත්තටම සුවඳ විලවුන් වල තියෙන්නේ මූලික සුවඳ වර්ග කීපයයි. ඒකට තමයි Fragrance Wheel කියලා කියන්නේ. ඔය මූලික සුවඳ වර්ග යටතට තමයි අපි වෙළෙඳපොළේ මිලදී ගන්න යන දහසකුත් එකක් විවිධ සුවඳ ජාති තියෙන විවිධ සෙන්ට් වර්ග අයිති වෙන්නේ. හැබැයි තමන්ට ගැලපෙනම සුවඳ කාණ්ඩය මොකක්ද කියලා තේරුම් ගත්තොත්, එතැනින් එහාට ඒ සුවඳ කාණ්ඩය යටතේ සෙන්ට් එකක් ‍තෝරගන්න ලේසියි. උදාහරණයක් විදියට පිරිමි කෙනෙක් ගොඩක් කැමති වෙන්න පුලුවන් Woody හෝ Mossy Woods වගේ සුවඳ කාණ්ඩයකට. එතකොට කාන්තාවක් නම් වැඩි වශයෙන් Floral හරි Soft Floral හරි සුවඳ කාණ්ඩයකට කැමති වෙන්න පුලුවන්.

 

2. විවිධ සැන්ට් ආකාර

Select a perfume

Image Source – mmit-camt.com

දැකලා ඇතිනේ ඔය සැන්ට් කුප්පි වල පොඩියට ගහලා තියෙනවා Eau de Parfum නැතිනම් Eau de Toilette වගේ ඒවා. කවදාවත් ඕවෑ තේරුමක් තියෙනවා කියලා හිතාගෙන බලලා නැහැනේ, නේද? හැබැයි ඔය වචන වල තේරුමක් තියෙනවා. ආන්න ඒ තේරුම තේරුම් ගන්නවා කියන්නේ තමන්ගේ අවශ්‍යතාවය අනුව සැන්ට් එකක් ‍තෝරගන්න හැකියාවක් ලැබෙනවා කියන එක තමයි.

Parfum

මේ තමයි පිරිසිදු, සාන්ද්‍ර සුවඳ විලවුන් මිශ්‍රණය. මේ ඉහළ සුවඳ විලවුන් සාන්ද්‍රණය (15% සිට 40% දක්වා) නිසා Parfum කියලා ගහලා තියෙන සුවඳ විලවුන් වර්ගයක සුවඳ ඇ‍ඟේ ‍රැඳිලා තියෙනවා සාමාන්‍යයෙන් පැය 6-8 අතර. ඒ තමයි දිගම වෙලාව. මේ වල ඇල්කොහොල් සාන්ද්‍රණය ඉතාමත් අඩුයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි ඉතින් මේ වල ගාණත් ඒ විදියටම වැඩියි.

Eau de Parfum

ඊළඟට වැඩියෙන්ම සුවඳ විලවුන් සාන්ද්‍රණය තියෙන වර්ගය තමයි Eau de Parfum (EDP). මේ වල සාමාන්‍යයෙන් සුවඳ විලවුන් සාන්ද්‍රණය 15% ත් 20% ත් අතර වගේ වෙනවා. සාමාන්‍යයෙන් සිරුරේ පැය 4-5 ක් වගේ කාලයක් සුවඳ ‍රැඳිලා තියෙනවා. එදිනෙදා පාවිච්චියට මේ වර්ගයේ විලවුන් ඉතා හොඳින් ගැලපෙනවා.

Eau de Toilette

මේක තමයි සෑහෙන්න හුරු පුරුදු අනෙක් වර්ගය. Eau de Toilette හෙවත් EDT වල සුවඳ විලවුන් සාන්ද්‍රණය 5% ඉඳන් 15% දක්වා තියෙනවා. සාපේක්ෂව මිලෙන් අඩු නිසා බොහෝ වශයෙන් පාවිච්චි වෙනවා. සාමාන්‍යයෙන් මේ වල සුවඳ ‍රැඳී තියෙන්නේ පැය 2ක් 3ක් වගේ තමයි. සමහරු කියනවා දිවා කාලය සඳහා වඩාත් සුදුසු සුවඳ විලවුන් වර්ගය වෙන්නේත් මේක තමයි කියලා.

Eau de Cologne

ඕඩිකොලෝන් කිවුවහම කවුද නොදන්නේ? ඇත්තටම මේ Eau de Cologne නැතිනම් EDC කියන්නේ සෑහෙන්න අඩු සුවඳ විලවුන් සාන්ද්‍රණයක් තියෙන වර්ගයක්. මේකේ සුවඳ විලවුන් සාන්ද්‍රණය සාමාන්‍යයෙන් 2% ත් 4% ත් අතර ප්‍රමාණයක් වෙන්නේ. ගාණ අතින් බැලුවත් අඩුයි. සුවඳ උපරිම පැයක් හෝ දෙකක් ‍රැඳිලා තියෙයි. ගොඩක් වෙලාවට ඕඩිකොලෝන් පාවිච්චි වෙන්නේ සුවඳ විලවුන් වර්ගයක් විදියටම කියන්න බෑ.

 

3. එක මනුස්සයෙක් සැන්ට් ජාති කීයක් ගානවද?

Select a perfume

Image Source – time.com

බොහොම හොඳ ප්‍රශ්නයක්. අපි ගාන්නේ ඉතින් එක සැන්ට් එකයි. ඒක හැමතැනටම ගාලා ඉවර වුනාට පස්සේ කඩේට යනවා තව ජාතියක් ගන්න. එතකොටත් බෝතල් වලින් ඉඹලා බලලා හිතට සෙට් වෙන සුවඳ සැන්ට් එකක් ගේනවා. හැබැයි එහෙම මාස දෙකෙන් දෙකට ගොනයි මීමයි වගේ සුවඳ තියෙන සුවඳ විලවුන් වර්ග පාවිච්චි කරනවා කියන්නේ තමන්ගේ සුවඳ විලවුන් මගින් හැදෙන අනන්‍යතාවය යම් ප්‍රමාණයකට දුර්වල වෙන එක තමයි. පොඩ්ඩක් එක්ස්පෙරිමන්ට් කරලා තමයි තමන්ට හරියනම සෙන්ට් එක හොයාගන්න ඕන. හැබැයි හොඳම දේ තමයි අර උඩින් කිවුව විදියට තමන්ට ගැලපෙනම සුවඳ විලවුන් කාණ්ඩය හොයාගෙන, ඉන් පස්සේ ඒ කාණ්ඩයේ හරි ඒ ආශ්‍රිත අනික් කාණ්ඩයන්ගේ හරි තියෙන සුවඳ විලවුන් වර්ග පරීක්ෂා කරල හොඳම එකක් ‍තෝරාගන්න එක.

සමහරු දවල් වෙලාවට එක සෙන්ට් වර්ගයක්, රෑ පාටියකට එහෙම යනවා නම් තව සෙන්ට් වර්ගයක් එහෙමත් පාවිච්චි කරනවා. එතකොට තවත් සමහරු එදිනෙදා පාවිච්චියට සාමාන්‍ය විදියේ එක සෙන්ට් එකක්, විශේෂ අවස්ථාවකට මිලෙන් අධික වඩාත් හොඳ සෙන්ට් වර්ගයක් එහෙමත් පාවිච්චි කරනවා. ඒක හොඳයි. හැබැයි මේ සෙන්ට් වර්ග දෙකේ සුවඳ අඩු තරමින් එක් කාණ්ඩයකටවත්, එහෙම නැතිනම් එකිනෙකට ආසන්න කාණ්ඩ දෙකකටවත් අයිති වෙනවා නම් ඒක වඩා හොඳයි.

 

4. සුවඳ ගොඩයි මං විතරයි

Select a perfume

Image Source – community.sephora.com

දැන් ඔය ෆැෂන් වලට කැමති නංකිලා, මල්ලිලා එහෙම ඉන්නවා, ගමනක් යන්න එලියට බහින්න කලින් අරවා මේවා ගාන්න ගියහම ආයෙ කෙළවරක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. සුවඳ ගහන ජාති තියෙන්නේ සුවඳට ගහගෙන යන්න තමයි. හැබැයි ඉතින් ඔය ගොනයි මීමයි වගේ සුවඳ ජාති මික්ස් වෙලා අමුතුම මැන්ටල් සුවඳක් එනවා කියන්නේ ඉතින් අර සුවඳ ‍තෝරලා බලලා ගත්තු සෙන්ට් කුප්පියෙන් වැඩක් නැති වෙන එක. ආන්න ඒ නිසා, හැම වෙලාවකම සෙන්ට් එකක් ගන්න කලින් ඔය උඩ කියලා තියෙන කරුණු වලට අමතරව තමන් පාවිච්චි කරන අනෙක් රූපලාවණ්‍ය නිෂ්පාදනත් එක්කත් ඒ සෙන්ට් එක යනවද කියන එක හොයලා බලන්න වුවමනායි.

සමහර බ්‍රෑන්ඩ් වල ඩියෝඩ්‍රන්ට්, බොඩි ස්ප්‍රේ, සෙන්ට් ඔය ඔක්කෝම එකට ගැලපෙන සෙට් විදියට එනවා. අන්න එතකොට ඒ ප්‍රශ්නය මතුවෙන්නේ නෑ.

 

5. ලාබ සෙන්ට් එකේ සුවඳ සැරද?

Select a perfume

Image Source – greatist.com

සෙන්ට් ගන්න ගියහම පොදුවේ අපිට දැනෙන දෙයක් තියෙනවා. ඒ තමයි ඔය බ්‍රෑන්ඩඩ්, එහෙම නැතිනම් වඩාත් මිලෙන් අධික සුවඳ විලවුන් වර්ග වල දැනෙන්නේ බොහොම සියුම් සුවඳක්. ඒක අර නාහේ කඩාගෙන යන ආකාරයේ, හැතැප්මක් ඈත තියා දැනෙන සුවඳක් නෙවෙයි. මිලෙන් අධික සුවඳ විලවුන් වර්ගයක සුවඳ අපේ ඇ‍ඟේ සුවඳත් එක්ක ක්‍රමයෙන් මිශ්‍ර වෙනවා. ඉන් පස්සේ දවසේ කාලය ගතවෙනකොට බොහොම අපූරු, ඒ වගේම එක් එක් පුද්ගලයාට සුවිශේෂී ගන්ධයක් ලබාදෙනවා. හැබැයි ලාබ සුවඳ විලවුන් වර්ගයක සුවඳ නාහේ කඩාගෙන යන තරම් සැරයි වගේම ඒ සුවඳේ කිසිම වෙනසක් වෙන්නේත් නෑ.

ඔය හොඳ වර්ගයේ සුවඳ විලවුන් ටිකක් ගණන් වැඩියි තමයි. හැබැයි එහෙම සුවඳ විලවුන් වර්ගයකින් අපිට බොහොම අපූරු අනන්‍යතාවයක් නිර්මාණය කරලා දෙනවා. හැබැයි ඉතින් අපි සුපිරි සල්ලිකාරයෝ නෙවෙයි නම් එහෙම සෙන්ට් වලට වියදම් කරන්න බැහැනේ. එහෙම හිතුනත් වෙළෙඳපොළේ තියෙනවා සාමාන්‍ය මිලට ගන්න පුලුවන් බොහොම හොඳ සුවඳ විලවුන්.

 

6. සෙන්ට් එකක් ‍තෝරන්නේ මෙහෙමයි

Select a perfume

Image Source – jipambe.com

ගොඩක් අය සෙන්ට් ‍තෝරන්න ගිහින් කරන්නේ ‍රැක් එකේ තියෙන සෙන්ට් බෝතල් දහයක් හරි විස්සක් හරි ස්ප්‍රේ කර කර සුවඳ බලන එක. ආන්න ඒක හරියන්නේ නෑ. විශේෂයෙන් ගත්තොත් අලුතින්ම තමන්ට හරියන සෙන්ට් එකක් හොයන කෙනෙක්ට මේ සෙන්ට් ෂොපින්ග් ‍ටුවර් එක දවස් දෙකකටවත් දාගන්න වෙනවා. ඒකට හේතුවත් අපි කියන්නම්.

මුලින්ම කියන්න ඕන සෙන්ට් වල සුවඳ චෙක් කරන්න බෝතලේ ඉඹලා හරියන්නෙ නෑ. සමහර ලොකු ෂොප් වල නම් සෙන්ට් ටෙස්ටර්ස් කියලා පොඩි කඩදාසි තීරු තියෙනවා. ඒකකට ටිකක් ස්ප්‍රේ කරලා, පොඩ්ඩක් වේලෙන්න දීලා සුවඳ බලන්නයි තියෙන්නේ. නැතිනම් අතේ මැණික් ක‍ටුවට වගේ සුවඳ විදගෙන, විනාඩි දහයක් පහළොවක් තමන්ගේ අනික් ෂොපින් වැඩ කරලා මැණික් ක‍ටුවෙන් එන සුවඳ බලන්න පුලුවන්. අන්න ඒක තමයි හරිම සුවඳ. දැන් මැණික් ක‍ටු දෙක ඉවර නම් ඉතින් අතේ අනික් තැන්වලටත් ස්ප්‍රේ කරලා බැලුවට කමක් නෑ. හැබැයි ඉතින් සුවඳ විලවුන් කීප වර්ගයක් ටෙස්ට් කරලා බැලුවට පස්සේ අපිට එක එක සුවඳේ සුවිශේෂී වෙනස්කම් හඳුනාගන්න පුලුවන් හැකියාව ටිකක් දුර්වල වෙනවා. ආන්න ඒකයි සුවඳ විලවුන් ගණනාවක් ටෙස්ට් කරනවා නම් ඒ අතර පරතරයක් තියාගන්න ඕනෑය කියන්නේ.

 

7. තෝරගත්තට පස්සේ?

Select a perfume

Image Source – wikihow.com

සුවඳ විලවුන් ගාන්න ඇ‍ඟේ හොඳම තැන් ටිකක් තියෙනවා. බෙල්ල, යටි හනුව පහළ, උරහිස්, පපුව මැද, වැලමිටේ ඇතුළත, මැණික් ක‍ටුව මත හෝ එතැනින් මඳක් ඉහළ සෙන්ට් ගහගන්න වඩාත් සුදුසුයි කියලා තමයි එක්ස්පර්ට්ලා කියන්නේ. මේ තැන් වලින් එකක හෝ දෙකක සුවඳ විලවුන් ඉස ගැනීම ප්‍රමාණවත් කියලත් ඒ එක්ස්පර්ට්ලා කියනවා.

අනික සෙන්ට් ගහන්න ඕන ඇඳුමට නෙවෙයි, සමට. ඒකත් මතක තියාගන්න ඕන. අනික වැදගත්ම දේ: නාන්නේ නැතුව හඩු රාජිණී වගේ හඩු කුමාරයා වගේ ඉඳලා එළියට බහිනකොට විතරක් සෙන්ට් ඉහගෙන ගිහින් හරියන්නෙ නෑ. සෙන්ට් පාවිච්චි කරනකොට තියෙන්න ඕන මූලික කොන්දේසිය තමයි මනා ශාරීරික පිරිසිදුතාවය පවත්වාගන්න එක. එහෙම පිරිසිදුකමක් ශරීරයේ තියෙනකොට තමයි අර ගහපු සෙන්ට් එක ගාණට ඇ‍ඟේ දාඩිය සුවඳත් එක්ක මිශ්‍ර වෙලා අපූරු සුවඳක් නිර්මාණය වෙන්නේ.

Cover Image Source – stylentrends .net/ creepersandcupcakes .com/ greatist.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *