CIBF කියලා ඉංග්‍රීසියෙන් කෙටි කර හඳුන්වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට බොහෝදෙනෙක් කියන්නෙ බුක් ෆෙයා කියලා. එහෙම කියන්න වෙන්නෙ වෙනත් ප්‍රධාන බුක් ෆෙයා අඩු නිසා. කොහොමින් කොහොමහරි පොත් කියවන්න ආසා කරන සහ නොකරන බොහෝදෙනෙක් කොළඹට ගාල් වෙන දවස් කිහිපයක් ඉදිරියේදි පැමිණෙන්නට නියමිතයි. ඒනිසා අපි කියන දේට කට්ටියට කේන්ති යන්නත් පුළුවන්. ඒ කේන්තිය ඉවසා වදාරාගෙන මේ සටහන කියවන්න. ඊටපස්සෙ අපිට ඔබේ අදහස කියන්න.
1. අනවශ්‍ය මිනිස්සු නිසා සිදුවන තෙරපුම

Image Source – timeout.com
ක්ලාස් එකේ සෙට් එක, ගමේ සෙට් එක, ෆේස්බුක් ගෲප් එකේ සෙට් එක, රැඩිකල්වාදී සෙට් එක, කෙල්ලො බලන්න ආපු සෙට් එක, නූඩ්ල්ස් කන්න ආපු සෙට් එක ආදී අටෝරාසියක් වූ පොත් මිලදී ගැනීමට එහා ගිය අභිප්‍රායන් තියෙන කණ්ඩායම් මේ බුක් ෆෙයා එකට ඇතුළු වෙනවා. ඒ නිසා ඇතිවෙන්නෙ අධික තෙරපුමක්. සමහර දිනවලට සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවට යම් පිරිසක් ඇතුළු කරන්නට තවත් පිරිසක් පිටවන තුරු පෝලිමේ සිටින්නටත් සිදුවෙනවා. මේ අධික තෙරපුම අස්සේ නිදහසේ පොතක් තෝරාගන්නට විශාල අපහසුවක් ඇතිවීම සාමාන්‍යයි.
2. අමතර වියදම්

Image Source – yamu.lk
බුක්ෆෙයා එකේදි වෙන්න පුළුවන් විශාල අවාසියක් විදියට මේ අමතර වියදම් කියන දේ දක්වන්න පුළුවන්. උදාහරණයකට රුපියල් සීයක නූඩ්ල්ස් කෝප්පයක් කන ඔබට රුපියල් සීයක බීම බොන්නට තරම් තිබහක් ඇතිවීම සාමාන්‍යයි. නමුත් එය කිසිසේත් වේලක් පිරිමහන්නේ නැහැ. වේලක් පිරිමසන්නට හැකි එකම ආහාර ගැනීමට ඇත්‌තේ මහා හෝටලයකින් පමණක් නිසා එහි මිල ගණනත් මහා බව ඔබ සිතට ගත යුතුයි. ඊට අමතරව හොට්ඩෝග්, පොප් කෝන්, කෝපි, ෂෝට් ඊට්ස් වැනි වූ අටෝරාසියක් මන බඳින ආහාර මෙන්ම කෑමටත් බීමටත් පොතටත් අදාළ නොවන බොහෝ දේ මේ පරිශ්‍රයේ විකුණන්නට තිබෙනවා. ඒ වගේම අධික බස් රථ මගී තදබදය නිසාම ඔබට ගමනාන්තය තෙක් පොත් කරපින්නාගෙන යන්නට ත්‍රීරෝද රථයකුත් අවැසි වනු ඇති.
3. ප්‍රවාහනයේ අපහසුතා සහ ප්‍රවාහන මගෝඩි

Image Source – tropicalexpat.wordpress.com
සාමාන්‍යයෙන් බස් රථයේ ගමන් කරන ඔබට මෙම සමය කිසිසේත්ම එයට පහසුවක් වෙන්නේ නෑ. ඔබ පොත් ප්‍රදර්ශනයට යන අයෙකු වුවත්, එසේ නැතත් 154 බස් රථ මේ කාලයට අතිශයින් සෙනග පුරවාගෙන යන නිසා එහි ගමන පහසුවන්නේ නැහැ. ඒ වගේම ඒ අසළ දැඩි මෝටර් රථ තදබදයක්ද ඇතිවෙනවා. ඒ වගේම ඒ කාලයට මගෝඩි ත්‍රීරෝද රථ රියදුරන් බොහෝමයක් ඒ අසළට පැමිණෙනවා. ළඟම ටවුන් දෙක වන බොරැල්ල හෝ බම්බලපිටියට ගොඩවන්නට හිතූමතේ මුදල් අය කරන ඔවුන්, අතින් කටින් පොත් එල්ලා ගත්, ඒ සමග දරුවන් කරපින්නාගත් මිනිසුන්ගේ අසරණකමින් මනා ප්‍රයෝජන ලබාගන්නවා. පොත් ප්‍රකාශකයින්ගේ සංගමයෙන් ලබාදෙන බස් රථය යම් සැනහීමක් වුවත් එය තත්ත්වයට කිසිසේත්ම විසඳුමක් නොවෙයි.
4. සියේට විස්ස

Image Source – timeout.com
පොත් ප්‍රකාශකයින්ගෙ සංගමයෙන් කරන මේ පොත් ප්‍රදර්ශනයේ පොත්වලට ලැබෙන්නෙ සාමාන්‍යයෙන් සියයට විස්සක වට්ටමක් විතරයි. ඒ කියන්නෙ රුපියල් දසදහසක් වටිනා පොත් මිලදී ගත්තොත් ඔබට රුපියල් දෙදහසක වට්ටමක් ලැබෙනවා. නමුත් ඒ වෙනුවෙන් සිදුවෙන තෙරපුම, ආහාර වෙනුවෙන් වියදම් වෙන විශාල මුදල, ප්‍රවාහන අපහසුතා නිසා එය ඔබට කිසිසේත් ලාභයක් වෙන්නේ නෑ. ඒ වගේම සියයට 20 හෝ ඊට වැඩි වට්ටමක් ඔබට සැප්තැම්බර් මාසය පුරා ඒ ඒ පොත් සාප්පුවලින් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. එනිසාම වට්ටම් වෙනුවෙන් මෙච්චර කට්ටක් කන එක අපරාධයක්.
5. පොකට්කාරයො

Image Source – mentalfloss.com
පොත් ප්‍රදර්ශන නැති කාලෙටත් කොළඹ සුලබ දසුනක් වෙන ගැටකපන්නන්ට පොත් ප්‍රදර්ශනය මහඟු දායාදයක්. රුපියල් විස්සක ටිකට් එකකින් අතිවිශාල වස්තු සම්භාරයකට ඔවුන්ව ඉබේ තල්ලු වෙනවා. මිනිසුන් පොත්වල සිහියෙන් සිටීම, තෙරපීම, වට්ටම් නිවැරදිව ලැබුනාදැයි ගණන් බල බල සිටීම, කෑමට ගන්නේ මොනවාදැයි කල්පනා කරමින් සිටීම සිදුකරන අතරේ සිදුවන සුළු අමතකවීමක්, අතපසුවීමක් ඔවුන්ට ප්‍රමාණවත්. එය එවැනි භූමියක ඕනම දැඩි මනසක් ඇති අයෙකුට සිදුවිය හැකියි.
6. බහු ප්‍රශ්න

Image Source – dailymirror.lk
පොත් ප්‍රදර්ශනයේ අනෙක් අවාසිය පැනනැගෙන්නේ ඔබ එයට කිහිප දෙනෙකු සමග ඇතුළුවන අවස්ථාවකදීයි. කුඩා දරුවො/ වැඩිහිටියො/ දෙදෙනෙක් හෝ කණ්ඩායමක් සමග එයට ඇතුළු වීම අතිශය අපහසු තත්ත්වයක්. කුඩා දරුවන් පාලනය කිරීම, ඔවුන් දකින දකින දේ ඉල්ලීම වළක්වාගැනීම, ඔවුන්ගේ බඩගිනි සහ අනෙකුත් අවශ්‍යතා ආදිය මෙවන් භූමියකදී පාලනය කිරීම අතිශය අපහසුයි. ඒ වගේම වැඩිහිටියන් සමගින් තෙරපීමද අතිශය අපහසු කාර්යයක්. ඒ නැතත් ඔබ තවත් මිතුරෙකු සමග මෙයට ගොඩවුවත් පහසුවෙන්ම ඔබ දෙදෙනා වෙන්වීමට ඒ මහා සෙනග අතරේ ඉඩ තියෙනවා වගේම දෙදෙනාගේ අවශ්‍යතා වෙනස් නම්, එක් අයෙකු තමුන්ගේ පොත් අවශ්‍යතා සපුරන තුරු අනෙකාට සෙනග ගොඩක් මැද එහා මෙහා විසිවෙමින් ඉවසා සිටින්නට සිදුවීමේ ඛේදයත් උරුම වෙනවා.
7. අතිශය සාර්ථක විකල්ප

Image Source – twitter.com
මෙම පොත් ප්‍රදර්ශනයට ඔබ නොයායුතු ප්‍රධානම හේතුවක් ලෙසින් මෙයට ඇති සාර්ථක විකල්ප දැක්විය හැකියි. බිග් බෑඩ් වුල්ෆ් වැනි ඉංග්‍රීසි පාඨකයා සහ කුඩා දරුවන් අරමුණු කරගත් පොත් ප්‍රදර්ශන පැය 24 පුරා පැවැත්වීම මෙයට ගොඩ වීමේ අවශ්‍යතාවය බොහෝවිට මගහරවාවි. ඒ හැරෙන්නට කොළඹ ජාතික පුස්තකාලයේ බොහෝ පොත් සාප්පු විසින් අතිවිශාල වට්ටම් ලබාදෙමින් සිදුකරන පොත් ප්‍රදර්ශනත් මෙයට විකල්පයක්. ඒ නැතත් කිසිඳු අවහිරයකින් තොරව මරදානත් නුගේගොඩත් අතර සංචාරයකින් ඔබට දිවයිනේ ප්‍රධාන පෙළේ සියළු පොත් සාප්පු ආවරණය කළ හැකි අතර, වැඩි වට්ටම්, අඩු තෙරපුම්, අඩු අමතර වියදම් සහ නිදහස් පොත් තෝරාගැනීම් අත්විඳිය හැකියි. ඒ වගේම අන්තර්ජාලය හරහා ඇනවුම් කිරීම මගින් පොත් ගෙන්වාගැනීමේ සේවාවන් රැසක්ම දැන් පවතින බැවින් ඒවායෙන් පොත් මිලදී ගැනීමත් ඔබට වාසියක් වේවි.
Leave a Reply