ඇන්ඩ්රොයිඩ් ස්මාට්ෆෝන් වෙනුවෙන් ආපු සුපිරිම ගේම් කීපයක්!

Android games

දැන් කාලේ කාගේ අතේද ස්මාට්ෆෝන් එකක් නැත්තේ? ඇත්තටම අපේ අතක් පයක් වගේ ස්මාට්ෆෝන් එකත් අපිටම බද්ධ වෙලා කියලා හිතෙන්නෙ නැද්ද? ඒක තේරුම් ගන්න කරන්න තියෙන්නේ මෙච්චරයි. අද වැඩට හරි එළියට හරි යනකොට ස්මාට්ෆෝන් එක ගෙදර අමතක කරලා යන්න. අන්න එතකොට තමයි ඒක කොච්චර අපිට සමීපද කියලා තේරුම් යන්නේ.

කොහොම හරි දැන් ඔය ස්මාට්ෆෝන් එකෙන් සන්නිවේදනයට අමතරව තව දහසකුත් එකක් දේවල් ඉෂ්ට කරගන්නවනේ. කම්මැලිකමට ඉන්න වෙලාවට සිංදුවක් අහන්න, වීඩියෝ එකක් බලන්න වගේම ගේම් එකක් ගහන්නත් ප්‍රයෝජනවත් වෙන්නේ ස්මාට්ෆෝන් එක තමයි. හැබැයි ඉතින් ඉස්සර තිබුණු ෆෝන් ගේම් එක්ක බලනකොට දැන් තියෙන ස්මාට්ෆෝන් ගේම්ස් ඉතාම දියුණුයි. සමහර ගේම්ස් වලට ප්‍රබල හාඩ්වෙයාර් තියෙන ෆෝන් එකක් අවශ්‍යයි. කොහොම වුනත් මේ මාසේ වෙනකොට අලුතින් ඇවිත් තියෙන සහ අලුත් වෙලා තියෙන ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් කීපයක් ගැන දැනගන්න එකේ පාඩුවක් නැහැනේ. කම්මැලිකමේ ඉන්න මොහොතක ට්‍රයි කරලා බලන්නයි තියෙන්නේ!

 

1. Madden NFL Overdrive Football

Android games

Image Source – ea.com

Madden NFL කියන්නේ බොහෝම ජනප්‍රිය ෆුට්බෝල් වීඩියෝ ගේම් සීරීස් එකක්.මේක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා, අලුත් කරලා ඔන්න හඳුන්වලා දීලා තියෙනවා ෆුට්බෝල් ෆෑන්ස්ලට. හැබැයි ඉතින් වෙඩි තියාගන්න ගේම් එකක වගේ නෙවෙයි, මේක සෙල්ලම් කරන්න පොඩ්ඩක් ඉවසීම තියෙන්නත් ඕන. ග්‍රැ‍ෆික්ස් එහෙමත් මරු. තමන්ගේ NFL ටීම් එකේ සාමාන්‍යාධිකාරීවරයා විදියට තමයි ගේම් එක පටන් අරගෙන, තමන්ගේ ටීම් එක හදාගනිමින් ඉස්සරහට යන්න තියෙන්නේ.

 

2. Pocket City Free

Android games

Image Source – youtube.com

ඔන්න ටවුන් එකක් තියෙනවා. ටවුන් එකේ නගරාධිපති වෙන්නේ තමුන්. දැන් කරන්න තියෙන්නේ මොකද්ද? තමන්ට තියෙන සම්පත් උපයෝගී කරගෙන ටවුම දියුණු කරන්න. මෙතනදී මිනිස්සුන්ට ඉන්න ගෙවල්, විවිධ අවශ්‍යතා වෙනුවෙන් බඩු සහ සේවා විකුණන තැන්, කර්මාන්ත ශාලා, මේ තැන්වලට යන්න එන්න පාරවල්, මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන් පාක් වගේ දේවල් වගේ නගරයක තියෙන්න ඕන හැම ජාතියකම දේවල් නිර්මාණය කරන්න වෙනවා. හැබැයි ඒකට මුදල් සහ අවශ්‍ය දේවල් සපයාගන්න වෙන්නේත් තමන්ටම තමයි. ඒ කියන්නේ හිතූ හිතූ හැටියේ දේවල් හදන්න යන්නෙ නැතුව පොඩ්ඩක් මොළේ කල්පනා කරන්නත් ඕන. දැන් කෙනෙක් මේ ටවුන් එක නගරාධිපති විදියට දියුණු කරලා, ඊළඟ වතාවේ ඇත්තටම ඡන්දේ ඉල්ලන්න හිතුනත් අපි පුදුම වෙන්නෙ නෑ!

 

3. Oceanhorn

Android games

Image Source – oceanhorn.blogspot.com

ඔය ක්ලැසික් Legend of Zelda ගේම් එකට ආදරේ කරන අයට මේක අනිවාර්යයෙන්ම අල්ලලා යනවා කියලා අපිට ෂුවර්.පොඩි කොල්ලෙක්ගේ ඉඳන් ලෝකේම අඳුනන වීරයෙක් දක්වා ගමන තමයි ක්‍රීඩාවේ තියෙන්නේ. හැබැයි එහෙම කිවුවට ඕනෑ තරම් ගවේෂණය කරන්න භූමීන්, මුහුදු වගේම ගුප්ත දේවල් එහෙමත් මේ ගේම් එකේ තියෙනවා. මේක ඇත්තටම අලුත් ගේම් එකක් නෙවෙයි. හැබැයි මෑතකදී මේ ගේම් එක ගැන අලුත් උනන්දුවක් ඇති වුණු නිසා මේකත් අපේ ලිස්ට් එකට ගන්නවා.

 

4. Hungry Dragon

Android games

Image Source – youtube.com

දැන් කාලේ මකරෙක් වෙලා ජීවත් වෙන එකත් ලේසි නෑ ආයුබොවන්ඩ. මිනිස්සුන්ව ගිලින්න තියෙනවා, ගම් ගිනිතියන්න තියෙනවා. හැම ජාතියකම දරුණු වැඩ කරන්න තියෙනවා. හැබැයි ඉතින් එහෙම අලුත් ගම් හොයාගෙන යන එක, ගිහින් ඒවා විනාස කරන එක, මිනිස්සුන්ව බයවද්දන එක, කීප දෙනෙක්ව අල්ලගෙන ගිලින එක වෙනසකටත් එක්ක මරු. එහෙම හිතෙනවා නම් මෙන්න ගේම් එක. දිගටම මෙහෙම විනාසකාරී මකරෙක් විදියට වැඩ කරගෙන යනකොට තමන්ගේ යටතට තව සහචර මකරු එහෙමත් ලැබෙනවා. අන්න එතකොට මකර හමුදාවම එක්ක ගිහින් තව තව විනාසයන් කරන්න පුලුවන්. විනාස කරන කරන තරමට මේ ගේම් එකේ ලකුණු ලැබෙනවා.

 

5. Real Racing 3

Android games

Image Source – ea.com

EA Games ඉදිරිපත් කරන තවත් ඇන්ඩ්‍රොයිඩ් රේසින් ගේම් එකක් තමයි මේ. ඇත්තටම Real Racing කියන්නේ සම්මාන ලබපු ක්‍රීඩා මාලාවක්. කාර් පිස්සෙක්ට දාලා එන්න හිතෙන්නේ නැති විදියේ කාර් කලෙක්ෂන් එකක් දකින්න පුලුවන් මේ ගේම් එකේ. ලෝකේ පුරාම රේස් ට්‍රැක් වල මේ කාර් වලින් රේස් පදින්නත් පුලුවන් මේ ගේම් එකේ. ඕනෑ නම් ලෝකේ ඉන්න අනික් ක්‍රීඩකයෝ එක්ක රේස් ගිහින් දිනන්නත් පුලුවන්. විශේෂම දෙයක් වෙන්නේ මේ ගේම් එක තමන්ගේ අවශ්‍යතාවයන්ට අනුව සීරු මාරු කරගන්නත් පුලුවන් වීම. එහෙමනම් යමුද රේස් එකක්?

 

6. Eternium

Android games

Image Source – eterniumgame.com

ඇක්ෂන් රෝල් ප්ලේයින්ග් ගේම්ස් වලට ආස කරන කෙනෙක්ට කියාපු අලුත් ගේම් එකක් තමයි මේ. මේකේ තියෙන කථාව රසවිඳින අතරේම යක්ෂ සේනා, සොම්බි සේනා සහ තවත් විවිධාකාරයේ අද්භූත, දරුණු, බියජනක සත්ව සේනා විනාස කරගෙන, තමන්ට ගන්න වටිනා කියන දේවල් තියෙනවා නම් එකතු කරගෙන දිගටම යන්න තමයි තියෙන්නේ. ඇත්තටම කියනවාට වඩා ක්‍රීඩාව අභියෝගාත්මකයි. හැබැයි ඉතින් ඇබ්බැහි වෙන සුළුයි. මේ වෙනකොට නව යාවත්කාලීනයන් එක්ක Eternium ගේම් එක ජනප්‍රිය වෙලා තියෙනවා.

 

7. Alto’s Odyssey

Android games

Image Source – engadget.com

මීට කලින් බොහොම ලස්සන ස්මාට්ෆෝන් ක්‍රීඩාවක් ආවා Alto’s Adventure කියලා. මේකේ තියෙන ලස්සන, බොහොම පරීක්ෂාකාරීව නිර්මාණය කරලා තියෙන ක්‍රීඩා මට්ටම් සහ ක්‍රීඩාවෙන් ලැබෙන විනෝදාස්වාදය නිසා හැමෝම අතරේ මේක ප්‍රසිද්ධ වුනා. ඉන් පස්සේ මේ ක්‍රීඩාවේ ඊළඟ කොටස ඇවිත් තියෙනවා. මේකේ නම Alto’s Odyssey. මේ ක්‍රීඩාවේදී කෙනෙක්ට සුන්දරව නිර්මාණය කරලා තියෙන භූමි භාගයන් සොයාගෙන යන්න පුලුවන්. කාන්තාරයක තියෙන අබිරහස් අනාවරණය කරගන්න, වායු බැලූනයන් වල නැගිලා යන්න වගේ ක්‍රියාකාරකම් එක්ක ක්‍රීඩකයෙක්ට අමුතුම අත්දැකීමක් ලබාදෙන්න හැකියාවක් මේ ගේම් එකට තියෙනවා.

Cover Image Source -greenbot.com/digitaltrends.com/guidingtech.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *