ලංකාවෙ අයට ගල් වගේ ලෝකේ අනිත් රටවල විශේෂිත වූ මත්පැන්

Foreign Liquor

ලංකාවෙ අපිට ලංකාවෙ අයිඩෙන්ටිටිය තියෙන ඇල්කොහොලික බීමක් කියපු ගමන් මතක් වෙන්නෙ ‌ගල්. ඇතැමුන් ගල් අරක්කු බොන්න අකමැති වුනත්, අති විශේෂ අරක්කු බොන්න ආසා කරන අය බොහෝමයක් ඉන්නවා. ඒ වගේම ගල් අරක්කු බෝතලේට කරපිංචා ඉත්තක් දාලා තියල වගේ අමුතු අමුතු විදියට බොන අයත් ඉන්නව. ඒ කොහොම වුනත් අපි අද ලියන්නෙ අපිට පොල්වලින් පෙරන අරක්කු වගේ ලෝකයේ අනෙක් රටවලට සුවිශේෂ වෙච්ච ‌මත්‌පැන් ගැන. මෙහෙම ලියද්දි රටවල් බොහොමයක් මගහැරෙන්නට ඉඩ තිබුනත් මත්පැන් විශේෂ අඩු ප්‍රමාණයක් මග හැරෙන විදියට අපි මේ ලිපිය සකසන්නම්.

 

1. ආයෙමත් අරක්කු

Foreign Liquor

Image Source – kosherwinecellar.com

ලංකාවෙ අරක්කු ගැන කියලා කතාව පටන්ගත්තට අරක්කු තියෙන්නෙ අපේ රටේ විතරක් නෙමෙයි. මේ Arak කියන බීම එක අපේ අරක්කුවලට සමාන වුනාට පෙනුමෙන් ඒ වගේ නෙමෙයි. මූලිකව මේ අරක්කු එක හදන්න ගන්නෙ අසමෝදගම්. පෙනුම අපේ පොල් රා වලට සමානයි. මේකෙම පර්සියානු සම්භවය තියෙන එක පෙරන්නෙ බොහෝවිට රටඉඳි වලින්. ඉන්දුනීසියා, ජෝර්දාන්, ඊශ්‍රායල්, ලෙබනන් සහ සිරියා වගේම තුර්කියෙත් මේ බීම ප්‍රසිද්ධයි. දහඩිය දැමීම කියන අදහස එන අරාබි වචනෙ වෙච්චි Araq කියන එකෙන් මේ වචනෙ හැදුනා කියලයි කියන්නෙ. වතුර දාලයි ෂැන්ඩි කරන්නෙ. මේක වැඩිපුරම ප්‍රසිද්ධ වෙන්නෙ මේකෙ තියෙන සැර නිසා. සාමාන්‍යයෙන් සියේට පනහක විතර ඇල්කොහොල් ප්‍රතිශතයක් තියෙන නිසා හොඳට වදින බීමක්.

 

2. රුසියාවේ වොඩ්කා

Foreign Liquor

Image Source – urban-drinks.de

ආයෙ ඉතිං දැන් රුසියාව කිවුවම මතක් වෙන දේවල් දෙකක් තියෙනවනෙ. හිතුවක්කාර පුටින් සහ මනරම් වොඩ්කා. වොඩ්කා වලටම වෙන්වුණු බාර් තියෙන රුසියාවෙ හිම සීතෙ බොන්නම කියාපු බීමක් වෙච්ච වොඩ්කා මේ ලැයිස්තුවට ඇතු‌ල් නොකළොත් අපිට ගහන්න ඕන. රුසියාවෙ කදිමම වොඩ්කා බ්‍රෑන්ඩ් විදියට Russian Standard Gold (40%), Mamont Vodka (40%), Moskovskaya Osobaya Vodka (38%), Beluga Noble (40%), Green Mark (38%) දක්වන්න පුළුවන්. ලංකාවෙ නං වැඩිපුරම ප්‍රසිද්ධ ස්වීඩනයෙ හදන ඇබ්සලූට් වොඩ්කා සහ රුසියාවෙ මොස්කවුවල හදන ස්මර්න්ඕෆ්. එතනෝල් සහ වතුර මික්ස් වෙලා එන නිසා වොඩ්කා තමයි ලෝකෙ අමිශ්‍රිතම ඇල්කොහොල් විශේෂය කියල පිළිගන්නෙ. අලවලින් වගේම ධාන්‍ය වර්ග වලිනුත් පෙරණ වොඩ්කා කැමති විදියකට බොන්න පුළුවන් බීමක් වීමත් විශේෂයක්. ඕනනං පැණි රසට, නැත්තං සැරට, අමුවෙන් වගේම රෙඩ්බුල් වගේ දෙයක් එක්කත් බොන්න පුළුවන්. නියම වර්සටයිල් බීමක්. නාසා එක අභ්‍යවකාශෙට අරක්කු ගෙනයාම තහනම් කළාට හිතුවක්කාර රුසියන්කාරයො අභ්‍යවකාශෙට වොඩ්කා ගෙනිච්චා. හැබැයි රුසියාවෙ වොඩ්කා ගැන තියෙන ලොකුම කතාව ඒක නෙමෙයි. 1885 වෙනකං රුසියාවෙ වොඩ්කා බෝතල්වල ආවෙ නෑ. ලීටර් 12.3 වොඩ්කා බකට් තමයි ගන්න තිබ්බෙ.

 

3. ස්කොට්ලන්තෙ ස්කොච් විස්කි

Foreign Liquor

Image Source – amazon.co.uk

අන් මෝල්ට් වර්ගයක් හෝ පෙරුම්කාරකයක් සමග මික්ස් නොවෙච්ච තනි ධාන්‍ය වර්ගයකින් පෙරණ ලද සිංගල් මෝල්ට් විස්කි තමයි ස්කොට්ලන්තෙ ජාතික පානය වෙන්නෙ. ලංකාවෙ අයියලත් වැඩිපුරම කැමති බීමක් විදියට මේ රන් පාටට දිදුලන පානය හඳුන්වන්න පුළුවන්. ස්කොච් විස්කි හිතුමතේ හදන්න බෑ. ඒකට නීතියකුත් තියෙනව. ස්කොට්ලන්තෙ ජාතික පානය විදියට සිංගල් මෝල්ට් ස්කොච් විස්කි ප්‍රිෆර් කළාට, ස්කොච් විස්කි වර්ග පහක් (Single Malt Scotch Whisky, Single Grain Scotch Whisky, Vatted Malt නොහොත් Blended Malt Scotch Whisky, Blended Grain Scotch Whisky සහ Blended Scotch Whisky) තියෙනව. ඩ්‍රින්ක් එක ඩ්‍රෑම් එකෙන් මනින ස්කොච් විස්කි, ලිඛිත සාක්කි අනුව හදන්න පටන් අරං තියෙන්නෙ 1495දි. ඕක් ලීයෙන් හදපු ගුදම් ඇතුළෙ අවම වශයෙන් අවුරුදු තුනක් පරණ කරලයි ස්කොච් විස්කි එළියට එන්නෙ.

 

4. එංගලන්තෙ ජින්

Foreign Liquor

Image Source – chuckanutbaydistillery.com

මුලින්ම ජින් කියන්නෙ බෙහෙතක්. තාමත් බඩේ අමාරුවකට ජින් චුට්ටක් ටක්කෙටම හරියනවනෙ. ජින් වැඩිපුරම බොනව කියල කියන්නෙ නැවියො. ඒ වගේම ජින් කියන්නෙ වෙනිං ‌බීම වර්ග වගේ බොහෝ දේවල්වලින් හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වුනත් ජින් ගැන ඇතුළෙ කතාව ලොකුයි. ඒ ලෝකයේ බොහෝ රටවල්වල හදන සහ පානය කරන, රසවල් බොහෝමයකින් තියෙන, ක්‍රම ගණනාවකටම බොන නිසායි. ජින් ගැන මුල්ම සඳහනක් එන්නෙ 13 වැනි සියවසෙන්. ඒත් ජින් ගැන ලිඛිත රෙසිපියක් දකින්න ලැබෙන්නෙ 16 වැනි සියවසේදි. හැබැයි ඇත්තටම ජින් පානයක් විදියට නිශ්චිතව සකසලා ලෝකයට පිළිගන්වන්නෙ ලන්දේසිකාරයෙක් වෙච්චි විද්‍යාඥ ෆ්‍රැන්සිස්කස් සිල්වියස්. ලංකාවෙ වැඩිපුරම ප්‍රසිද්ධ ලෝකල් ලෙමන් ජින් සහ ඩ්‍රයි ජින් වුනත්, ලංකාවෙ වැඩිපුරම ප්‍රසිද්ධ විදෙස් ජින් එක වෙන්නෙ කන්න හිතෙන පාටක් තියෙන බෝතලේක එන බොම්බෙ සැෆයර්. එංගලන්තයෙන්ම ප්‍රමුඛ ජින් බ්‍රෑන්ඩ් බොහෝමයක් නිපදවෙනවා.

 

5. ඇමරිකාවෙ බර්බන්

 

Image Source – gearpatrol.com

තිරිඟුවලින් පෙරණ ඇමරිකාවෙ විස්කි එකට තමයි බර්බන් කියන්නෙ. බර්බන් අතීතෙ 18 වැනි සියවස වෙනකම් ඇදෙනව. බර්බන්වලට ප්‍රසිද්ධම කෙන්ටකි. ඇමරිකාවෙ පෙරලා, පිට රට පටවන ඇල්කොහොලික බීම වලින් උපයන මුදලින් තුනෙන් දෙකක්ම සින්න වෙන්නෙ බර්බන්වලට. බර්බන් හා සමානවම ඇමරිකාවෙ අනිත් ප්‍රසිද්ධම බීම ජාතිය විදියට ටෙනසි විස්කි හඳුන්වන්න පුළුවන්. ඒකට නම් එකෙන්ම සෙට් වෙන්නෙ අපේ අය ආසම බ්‍රෑන්ඩ් එකක් වෙච්ච ජැක් ඩැනියල්ස්. ඒකෙත් ප්‍රිමියම් රස බලන්න ජෙන්ට්ල්මන් ජැක්වලින් පුළුවන්. බර්බන් අපේ රටේ ඒ තරම් ප්‍රසිද්ධ නැතත් ඇමරිකාව හොල්ලපු බර්බන් ජාති එමට තියෙනවා. බර්බන් කවදාවත් පෙර භාවිතා කරපු ගුදම්වල පරණ කරන්නෙ නෑ. ඒ වෙනුවෙන්ම ගන්න අලුත් ගුදම් එක්වරක් භාවිතයෙන් පස්සෙ අනෙකුත් විස්කි වර්ග පරණ කරන්නට යොදවනවා.

 

6. වෙනිසියුලා රම් කතා

Foreign Liquor

Image Source – forbes.com

ලංකාවෙ නං රම් කිවුවම ප්‍රසිද්ධම රොක්ලන්ඩ්ලගෙ රෙඩ් සහ වයිට් රම්. හැබැයි රම් දේශීය පානය විදියට භාවිතා‌ වෙන්නෙ වෙනිසියුලා සහ බාබඩෝස්වලයි. උක්දඬුවලින් කෙලින්ම පෙරණ හෝ තවත් නොයෙක් පැණි වර්ග එක් කරලා හදන රම් කියන්නෙත් නැවියන් අතර ප්‍රසිද්ධ පානයක්. කොහොමත් රම්වලට මුහුද හා බැඳිච්ච කතාවක් තියෙන විත්තිය පයිරේට්ස් ඔෆ් ද කැරබියන් වගේ ෆිල්ම් සීරීස් එකක් බලපු අය දන්නවත් ඇතිනෙ. 1700 ගණන් වෙනකං ඉතිහාසයකට දිව යන රම් ලෝකෙ බොහෝමයක් රටවල හදන බීමක්. රම් වර්ග විවිධ ශ්‍රේණිවලින් පෙරාගන්නවා. ඒ කියන්නෙ තද රතකට හුරු වගේම, රන් පැහැ හෝ අවර්ණ වෙනකංම වගේම පැණි රසින් හෝ සැරක් දැනෙන විදියටත් රම් නිපදවෙනවා.

 

7. කොළ දෙවඟන පිහිනන ස්විට්සර්ලන්තෙ

Foreign Liquor

Image Source – drinksupermarket.com

ඇල්කොහොල් අධික සාන්ද්‍රණයක් තියෙන කොළ පැහැ බීමක් තමයි ඇබ්සින්ත් කියන්නෙ. මේකෙන් පිස්සු විකාර පේන තත්ත්වෙට ඔලුව විකල් වෙන්න පුළුවන් කියල කිවුවත්, හරි විදියට පානය කළොත් නම් හානියක් නෑ. ගින්නෙන් ඩයලූට් කරන පානයක් වෙච්ච ඇබ්සින්ත් ගැනනං කතා ගොඩක් තියෙනවා. 18 වැනි සියවසේ හදපු ඇබ්සින්ත් 20 වෙනි සියවස විතර වෙනකංම ලෝකයේ බොහෝ ප්‍රදේශවල තහනම් කරපු බීමක්. ඉතිං චොකලට් සහ ඔරලෝසුවලට ප්‍රසිද්ධ ස්විට්සර්ලන්තෙ මෙහෙම සැර පානයක් දේශීය පානය වේවි කියල කට්ටිය නොහිතුවත්, නියම ස්විස් ඇබ්සින්ත් බ්‍රෑන්ඩ් බොහෝමයක් වෙළඳපොලේ තියෙනවා. ස්විට්සර්ලන්තෙට අමතරව ප්‍රංශයේ, ඔස්ට්‍රේලියාවෙ සහ ස්පාඤ්ඤයේත් ඇබ්සින්ත් ලොකුවටම නිෂ්පාදනය වෙනවා.

 

මේ සටහන අදට මෙතනින් නවත්තන්නෙ රටවල් වගේම බීම වර්ගත් ඉවර නැති නිසා. ලබන සතියෙදි මේ සටහනේ ඉතිරි කොටස කියවන්න පුළුවන් වේවි. ඒකෙ අයිස්ලන්තෙ කළු මරණය, කොරියාවෙ කසියා, තුර්කියේ රකියා වගේම අපේ අය තරමක් කට අප්පිරියා කරන දකුණු අප්‍රිකාවෙ ක්‍රීම් ලිකර් ගැනත් තියෙනවා.

Cover Image Source – health..com. scattorneysatlaw.com/dietdoctor.com

 

zvr
Your Reaction

Comments