කැම්පස් යන එක සම්බන්ධයෙන් සමාජයේ ලොකු පසුගාමී කතාවක් මේ වෙනකොට ඇහුණට, උසස් පෙළ ප්‍රතිඵල ආ ගමන් හැමෝම උනන්දු වෙන්නේ රජයේ කැම්පස් එකකට ළමයා දාගන්න එකට. ලංකාවේ ජීවත් වෙන එකියක් එකෙක් වෙන නිසා ලංකාවේ කැම්පස්වල අජපල් ගතිය නම් ඕනිම නෑ. ඉතින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන එකෙන් ලියුම ලැබුණ දා පටන් ආසාවත් එක්ක විකාරත් හිතට එනවා.
1. රැග් එක සෙට් වෙයි ද?

Image Source – dailymirror.lk
උපසංස්කෘතිය, රැග, අන්තරේ වගේ වචන හැමදාම බත් කනවා වගේ ලාංකිකයන්ට නම් හුරුපුරුදු ඒවා. රූප පෙට්ටියෙන් බලනවා වගේ නෙවේ ඕවයේ ඇත්ත නැත්ත හරියටම දන්නවා ඇත්තේ ඒකේ ඉන්න අයනේ. ඉතින් කැම්පස් යනවයි කියලා දන්න දවසේ ඉඳන් මේ රැග් කෙහෙල්මල ගැන අනවශ්‍ය විදියට බොහෝ දෙනෙක් පීඩාවට පත් වෙනවා. ළාමක ටිං ටිං විදියට හැදුණා නම් තත්ත්වය සෑහෙන බරපතලයි. හැබැයි දැන් නම් මේ තත්ත්වය සෑහෙන අඩුයි. මොකද පහුගිය අවුරුදුවල වගේම මේ මෑතකත් මේ අයගේ නහර අඩු කරන සිදුවීම් සිද්ධ වුණා. අනික රැග් වෙනව නම් ප්‍රතිපාදන එකට පැමිණිලි කරන්න පුළුවන් ඔන්ලයින්.
2. කොක්කක් සෙට් වෙයි ද?

Image Source – flickr.com/voyagevirtuel.co.uk
කැම්පස් කියන්නේ ලව් කරන්න හදපු තැන් වගේ නේ. කාගෙන්වත් බාධාවක් නෑ. ටියුෂන් මාස්ටර්ලා කිව්වෙත් ඕකම තමයි. ඇත්ත. ඒත් හැබැයි තනියෙන් අප්පුඩි ගහන්න අමාරුයිනේ. ඒ නිසා කැම්පස් ගියාට පස්සේ ප්‍රේමාන්විත වසර හතරක් ගත කරන්න පුළුවන් වෙයිදෝ කියන ප්‍රශ්නය තියනවා. ඒ නිසා අට වසරේ විතර ඉඳන් තිබ්බ ක්‍රෂ් ඔක්කොම හිතෙන් අත් ඇරලා කැම්පස් යන්න කට්ටිය සූදානම් වෙනවා. සෙට් වෙන පාටක්ම නැති වුණොත් වර්ණපාල තියරිය වගේ එකක් දාලා ගොඩ යමන් කොල්ලෝ.
3. කඩ්ඩ අවුල් යයි ද?

Image Source – ilcartello.eu
බොහොම සාම්ප්‍රදායික විෂයන් හැරුණම බොහෝ විෂයන්ට මාධ්‍ය වෙන්නේ ඉංග්‍රීසි. ඉතින් කඩ්ඩ බැරි නම් විෂයන් අල්ලගෙන ඉස්සරහට යන්න පුළුවන් ද කියන ප්‍රශ්නය හිතේ තියනවා. හැබැයි ඈත ගම්වලින් ආපු අහිංසකයොත් ක්‍රමයෙන් මේක ඉගෙනගන්න නිසා හිතට වදයක් කරගන්නේ නැහැ. අනික විශ්වවිද්‍යාලවලින්ම මේ වගේ සාක්ෂරතා ප්‍රශ්න සඳහා වැඩසටහන් තියනවා.
4. කෑම අවුල් යයි ද?

Image Source – blogs.mprnews.org
කැම්පස් කෑම හෙන දියාරු විකාරයක් කියලා අහලා තියනවා. ඉතින් බ්‍රොයිලර් කුකුල්ලු විදියට හැදුණ ළමයි වගේම අම්මලා ආදරෙන් අනලා කවපු කෑම එක්කම ඉඳලා ඒ වගේ තැනකට එක පාර යන්න පුළුවන් වේවිද කියන ප්‍රශ්නය එනවා. ඒවා කාලා ඊළඟට කවදාවත් තිබ්බේ නැති ලෙඩ හැදෙන්න ගත්තම තව මළ කරදරේ. යාළුවෝ කීප දෙනෙක් එකතු වෙලා උයාගන්න එකයි ලේසිම වැඩේ. වැඩි වියදමක් යන්නෙත් නෑ.
5. යාළුවෝ නැති වෙයි ද?

Image Source – rutgersstudent.blog
ජීවිතයේ සුන්දරම අවුරුදු හතර තමයි මේ. ඒක සුන්දර වෙන්නේ යාළුවන් නිසා. අජපාල වෙලා යනවා නම් ඒ වෙන්නෙත් යාළුවන් නිසා. යාළුවෝ කියලා බැච් එකක ඉන්න හැමෝ එක්කම එක වෙලාවක රැඳෙන්නත් අමාරුනේ. ඉතින් තමාගේ හිතට සෙට් වෙන යාළුවෙක්වත් සෙට් වෙයි ද කියන ප්‍රශ්නය හිතේ කොණක තියනවා.
6. නවාතැන් පහසුකම්

Image Source – smsartsandscience.com
නවතිනවා කියලා හොස්ටල් ඉන්නවද? හොස්ටල් ලැබෙයි ද? බෝඩිං ආරක්ෂාකාරී ද? වගේ ඉන්න හිටින තැන පිළිබඳ ප්‍රශ්නයක් තියනවා. විශ්වවිද්‍යාලවලට දැන් බඳවාගන්න ප්‍රමාණය නිසා බුරුතු පිටින් එක පාරට තමයි කට්ටිය ගොඩබහින්නේ. ඒ ටිකට හොඳ හොඳ බෝඩිං අස්ථානගත වෙන්න පුළුවන්.
7. වියදම් වැඩි වෙයි ද?

Image Source – hiveminer.com
ආහාර, නවාතැන්, ප්‍රවාහන කියන ප්‍රධාන අවශ්‍යතා අනිවාර්‍යයෙන්ම ඉස්සරහට එනවා. ඒවාට වියදම් කරන්න පුළුවන් තරමේ හැකියාවක් තමන්ගේ දෙමව්පියන්ට තියනවද? එන්න එන්න සේවා සැපයීම්වල ගාස්තු වැඩි වෙන නිසා ඒක එහෙමමයි කියන්නත් බෑ.
මේ අවුරුදු හතරෙන් පස්සේ ජීවිතය මුහුණ දෙන්නේ මීට වඩා සෑහෙන බරපතල දේවලට. ඒ නිසා තමන්ට ලොකු ප්‍රශ්නයක් වෙයි කියන මතයෙන් ඈත් වෙලා, හොඳ අනාගතයකට හීන දකින්න.
Cover Image Source – youtube.com
Leave a Reply