වැඩිම දුරක් තනි දුම්රියෙන් යන දීර්ඝතම දුම්රිය ගමන්

Longest Train

මෝටර් රථය සොයාගන්නට අඩ සියවසකටත් පෙර දුම්රිය ජනප්‍රිය විය. දුම්රිය මගින් ගමන් කිරීම ලංකාවේ නම් සෑමවිටම පෑ 12කට අඩු ගමනකි. එහෙත් භූමියෙන් විශාල රටවල දවස් ගණන් දිවා රෑ දෙකේම නොනවත්වා ධාවනය වන දුම්රිය තිබේ. කිලෝමීටර දහදාහකටත් එහා දුරක් ගෙවාගෙන දින 9ක කාලයක් එකදිගට ගමන් කරන මොස්කව් සිට පියොන්යෑන් ගමන ලොව දීර්ඝතම සහ වැඩිම වේලාවක් ගමන් කරන දුම්රිය වේ. එවැනි දුම්රිය ගමන් කිහිපයක් ගැන අපි සොයා බලමු.

 

1. ට්‍රාන්ස් සයිබීරියන් දුම්රිය ගමන

Longest Train

Image Source – toursmongolia,com

ට්‍රාන්ස් සයිබීරියන් මග වැටී ඇත්තේ රුසියාවේ මොස්කව් සිට ව්ලැඩිවොස්ටොක් නැමැති නැගෙනහිර දෙසින් වූ නගරයටය. දැන් එය ඔස්සේ දුම්රිය උතුරු කොරියාවේ පියොන්යෑන් නගරය කරාද ධාවනය වේ. මොස්කව් සිට ව්ලැඩිවොස්ටොක් කරා යන දුම්රිය දිනපතා ධාවනය වන අතර එය කිලෝමීටර 9289ක් දුර ගෙවා, දුම්රිය නැවතුම් 58ක පමණ නවත්වා සිය ගමන සම්පූර්ණ කරයි. යුරෝපයට ආසන්න මොස්කව් වලින් ගමන් ආරම්භ කරන මේ දුම්රිය පෑ 144ක් හෙවත් දවස් හයක් තිස්සේ ආසියානු මහද්වීපයේ ඉහළ පෙදෙසින් ගමන් කොට ජපානයට ආසන්න කෙළවරේ ඇති ව්ලැඩිවොස්ටොක් කරා ළඟා වේ.

ලෝකයේ වාර්තාගත අන්දමට වර්තමානයේ ධාවනය වන වැඩිම දුරක් ගෙවායන දුම්රිය මොස්කව් ව්ලැඩිවොස්ටොක් දුම්රිය නොවේ. මොස්කව් සිට මෙම ට්‍රාන්ස් සයිබීරියානු මාර්ගයේම ගොස්, අවසාන හරියෙන් පහළට ගොස් උතුරු කොරියාවේ පියොන්යෑන් කරා යන දුම්රිය කිලෝමීටර 10267ක් ගෙවා පෑ 206කින් ලොව දීර්ඝතම දුම්රිය ගමන සම්පූර්ණ කරයි. ශීත කාලයට හිම පතනය වී ඇති කඳුකර පළාත් විල් මතින් ගමන් කරන මෙම දුම්රිය ගමන සංචාරකයින්ගේ සිත් ගත් එකකි. මොස්කව් සිට මධ්‍යම ආසියාව තෙක් මේ මාර්ගයේම ගොස් ඉන් පසු මධ්‍යම ආසියාවේ මොංගෝලියාව හරහා චීනයට යන දුම්රියන්ද තිබේ. ඒවාද කිලෝමීටර හත් අටදාහක් ගෙවා දමමින් චීනයේ නගර වෙත ළඟා වන්නේය.

 

2. ගුවාංශු ලාසා දුම්රිය ගමන

Longest Train

Image Source – tibettour,com

මීටර 5000ක් තරම් උසට දුම්රියෙන් යා හැකියැයි කීවොත් 20 වන සියවසේදී එය විහිළුවක් පමණක් වන්නට ඉඩ තිබුණි. එහෙත් 2006 දී විවෘත කරන ලද චීනය හා ටිබෙටය යා කරන, චීනයේ සිනින් (Xinin) සිට ලාසා (Lahsa) දක්වා වූ දුම්රිය මගේ අවසාන කළාපයේදී මීටර 5000කට ආසන්න උසක් පසුකරනු ලැබේ. මෙම දුම්රිය දැනට ටිබෙටය කරා තිබෙන එකම ප්‍රබලතම පිවිසුම් මාධ්‍යය වේ. වසර ගණනාවක් පුරා චීන කම්කරුවන් ඉතා අපහසු තත්ත්වයන් යටතේ වෙහෙස මහන්සි වී මෙම දුම්රිය මාර්ගය ඉදිකර තිබේ. මුහුදු මට්ටම ඉහළ යනවිට මුහුණදෙන අඩු ඔක්සිජන් තත්ත්වය නිසා සම්පූර්ණයෙන් වායුසමනය කරන ලද දුම්රිය මැදිරි තුළට අමතර ඔක්සිජන් සපයා තිබේ. මේ දුම්රිය මඟේ ඇති උස සහ අඩු ඔක්සිජන් තත්ත්වයට ගැලපෙන ලෙස විශේෂයෙන් දුම්රිය එන්ජින්ද සකසා තිබේ. වනෝද්‍යාන, කඳුවැටි, තැනිතලා, විල් පසුකරමින් ගමන් කරන මේ සුන්දර මග ගුවාන්ශු සිට ලාසා දක්වා කිලෝමීටර 4980කි. මේ සම්පූර්ණ ගමනට පෑ 52ක් ගත වේ. සාපේක්ෂව පැයට කිලෝමීටර සියයකට ආසන්න මධ්‍ය වේගයකින් ගමන් කරන මේ දුම්රිය, ලෝකයේ වැඩිම දුරක් යන දුම්රිය අතුරින් වේගවත්ම දුම්රියක් වේ.

 

3. ටොරන්ටෝ – වැන්කූවර් දුම්රිය

Longest Train

Image Source – traveler.marriott,com

කැනඩාවේ නැගෙනහිර කෙළවරේ ටොරන්ටෝ සිට බටහිර ඉහළ කෙළවරේ වැන්කූවර් දක්වා ගමන් ගන්නා දුම්රිය ඇමරිකානු මහද්වීපයේ දීර්ඝතම දුම්රිය ගමනයි. කිලෝමීටර 4466ක් පෑ 82ක් තිස්සේ කැනඩා රේල්වේ මගින් සම්පූර්ණ කරනු ලැබේ. බ්‍රිටිෂ් කොලොම්බියාවේ දර්ශනීය නගරයක් වන වැන්කූවර්, සංචාරකයින් අතර ජනප්‍රිය ස්ථානයකි. මෙම දුම්රිය ගමනට යොදාගන්නා පෙට්ටි, භූමි දර්ශන නැරඹීම සඳහා විශේෂයෙන්ම සැකසූ ඒවා වේ. මෙම ගමනේ වියදම මැද පන්තියේ ආසනයක් සඳහා කැනේඩියානු ඩොලර් 1227ක් පමණ වේ. ඉන්දියාවේ වැඩිම දුරක් ගෙවායන දුම්රියේ උපරිම දුර යන්නට වියදම් වන මුදල මෙන් දහසය ගුණයක මිලක් කැනඩාවේ දීර්ඝතම දුම්රිය ගමන සඳහා වියදම් වේ. එහෙත් එම කැනඩා දුම්රිය ගමන සුඛෝපභෝගී පහසුකම් රැසකින් පොහොසත්ය.

 

4. කන්‍යාකුමාරි – ඩිබෘගර් විවේක් දුම්රිය

Longest Train

Image Source – thrillophilia,com

ඉන්දියානු දුම්රිය සේවයේ වැඩිම දුරක් ගෙවායන කන්‍යාකුමාරි – දිබෘගර් විවේක් දුම්රිය පෑ 80ක් තිස්සේ කිලෝමීටර 4243ක් දුර ගෙවා යයි. එම දුම්රිය ගමනේදී දින හතරක ඉර උදාව දැකබලාගත හැකිය. ඇතැම් කාලවලදී ඉර උදාවන වෙලාවද දෙපසදී පැයකින් හමාරකින් වෙනස් වේ. ශීත කාලයේදී මෙම දුම්රිය ගමනේදී සෙල්සියස් අංශක 25කට වඩා වැඩි උෂ්ණත්ව වෙනසක් සම්පූර්ණ ගමනේ යෙදෙන මගියාට දැනේ. ඉන්දියාවේ දර්ශනීය ජලාශ්‍රිත පොල් පුවක් වතු තිබෙන කේරළ, තමිල්නාඩු ඉමෙන් පටන් ගෙන හිමාල සීමාවේ ඇසෑම් හෙවත් නැගෙනහිර කෙළවර කරා යන මෙම දුම්රිය ලෝකයේ දීර්ඝතම දුම්රිය ගමන් අතර ඉතාම අඩු මිලකින් ලබාගත හැකි අත්දැකීමකි. මෙම දුම්රියේ සාමාන්‍ය ටිකැට් පතක් ඉන්දියන් රුපියල් 1065කට මිලදී ගත හැකිය. ඉන්දීය ප්‍රාන්ත 8ක් හරහා ගමන් කරන මෙම දුම්රියේ ටිකට් වෙන්කරගැනීම තරමක් අපහසු කාර්යයකි.

 

5. චිකාගෝ – ලොස් ඇන්ජලීස් ටෙක්සාස් ඊගල් දුම්රිය

Longest Train

Image Source – chicagotribune,com

ඇමරිකාවේ චිකාගෝ සිට ලොස් ඇන්ජලීස් හෝ සැන් ෆ්‍රැන්සිස්කෝ කරා පිවිසීම වූ කලී ඇමරිකානු භූමිය හරහා නැගෙනහිර සිට බටහිරට ගමන් කිරීමයි. එහිදී බටහිර පිහිටි චිකාගෝ සිට ලොස් ඇන්ජලීස් වෙත යන්නට දුම්රිය ගමන් මාවත් කිහිපයක්ම තිබේ. කිලෝමීටර 4000කට වැඩි ඒ ගමන් සඳහා ආසන්නව පෑ 60කට ආසන්න කාලයක් ගත වේ. ටෙක්සාස් ඊගල් ලෙස හඳුන්වන මෙම දීර්ඝ දුම්රිය ගමන සාමාන්‍යයෙන් සංචාරක අවශ්‍යතාවයන්ට හැර මගී අවශ්‍යතාවයන්ට දැන් භාවිත වන්නේ අඩුවෙනි.

 

6. සිඩ්නි සිට පර්ත් දක්වා ඉන්දියන් පැසිෆික් දුම්රිය

Longest Train

Image Source – emailholidays,com

පැසිෆික් සාගරය සහ ඉන්දියානු සාගරය දෙපස පිහිටි ඕස්ට්‍රේලියා මහද්වීපය හරහා පහළ කෙළවරෙන් ගමන් කරන ඉන්දියන් පැසිෆික් දුම්රිය දින 4කින් කිලෝමීටර 4352ක් ගෙවායයි. වනාන්තර, කඳුවැටි සහ ඕස්ට්‍රේලියානු තෘණ බිම් මතින් ඇදීයන මේ දුම්රිය ගමන, ඕස්ට්‍රේලියානුවන් මෙන්ම ලෝකයේ සංචාරකයින් අතරද ජනප්‍රිය ගමනකි. මේ දුම්රිය ගමන විශේෂ එකක් වන නිසා ආහාර පාන, නිදාගැනීමේ පහසුකම් ආදිය ඉස්තරම්ම හෝටල් මට්ටමෙන්ම සපයනු ලැබේ. සුන්දර ස්ථානවල නවතා භෝජනාගාර, ආට් ගැලරි ආදිය නරඹමින් යන මේ ගමන සැබැවින්ම පූර්ණ සංචාරක අත්දැකීමක් ලබාදෙන්නකි.

 

7. බෙයිජින් – ශෙන්ෂෙන් හයිස්පීඩ් රේල් ගමන

Longest Train

Image Source – en.wikipedia.org

බෙයිජින් සිට ශෙන්ෂෙන් දක්වා කිලෝමීටර 2400ක දුර පෑ 9කින් යන මේ දුම්රිය චීනයේ දිනපතා ධාවනය වන අධිවේගී දුම්රියකි. පැරණි ක්‍රමයට කිලෝමීටර දහස් ගණන් ගෙවා යන විට සපයන නිදන මැදිරි, ජල පහසුකම් ආදිය සැපයීමක් මේ දුම්රියේදී උවමනා වෙන්නේ නැහැ. ගුවන් ගමන් වලට වඩා පහසු මේ අධිවේගී දුම්රිය චීනයේ ප්‍රධාන නගර අතර ජනප්‍රිය වූ ප්‍රවාහන මාධ්‍යයක්. ටිකට්පත ගුවන් ගමන් වලට වඩා ලොකු ලාභයක් නැතත්, එයාපෝර්ට් එකට යන්න, එතැනින් චෙකින් වෙන්න, බැගේජ් දාන්න ආදී විවිධ කාරණා වලට මහන්සි නොවී, නගරේ ස්ටේශමෙන්ම කෝච්චියට නැගලා පැයක විතර කෙටි නින්දක් දමා ඇහැරෙද්දී කිලෝමීටර 250ක් වගේ ගිහින් තියෙනවා නම්? වටිනවා නේද? ඒ වාසනාව චීනයේදි නම් චීන නාගරික ජනයාට ලැබිලා තියෙනවා.

 

ලෝකයේ දිගම දුම්රිය ගමන් ගත්තහම චීනයේ කිලෝමීටර තුන්හාරදාහ යන දුර දුම්රිය ගමන් රැසක්ම තියෙනවා. රුසියාවේ, ඉන්දියාවේ වගේම ඇමරිකාව, කැනඩාව වගේ ලොකු රටවලත් එහෙම ගමන් තියෙනවා. ඒ අතරින් විශේෂ කිහිපයක් තමයි ඉහතින් තියෙන්නේ. දිගම දුම්රිය ගමන් හැම එකකම යන්න බැරි වුනත්, ජීවිතේ එකම වරක් හරි දිග දුම්රිය ගමනක යන එක ජීවිතේට හොඳ අත්දැකීමක් වේවි.

Cover Image Source – youtube.com / pinterest.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *