ලංකා ඉතිහාසයේ සිදුවූ ලොකුම දුම්රිය අනතුරු 7

ගොඩබිම ප්‍රවාහන මාධ්‍යයන් අතරින් දුම්රිය කියන්නේ ගොඩාක් ආරක්ෂිත ප්‍රවාහන මාධ්‍යයක්. ඉඳහිට ආරංචි වන දුම්රිය අනතුරකදී මගීන් රැසක් විපතට පත් වුනත්, ප්‍රවාහන මාධ්‍යයක් ලෙස දුම්රිය වඩාත් ආරක්ෂිත ක්‍රමයක් වෙනවා. ලොව දුම්රිය අනතුරු වලින් විශාලතම ජීවිත හානි සිදුවූ දුම්රිය අනතුර වන්නේ 2004 සුනාමි ව්‍යසනය හේතුවෙන් පැරෑලියේදී සිදු වූ මහා දුම්රිය අනතුරයි. එහිදී සිදු වූ ජීවිත හානි ප්‍රමාණය 1400 ඉක්මවන බව වාර්තා වල දැක්වෙනවා. කොහොම වුනත් ලංකාවේ සිදුවුන දුම්රිය අනතුරු වලින් ප්‍රබලම දුම්රිය අනතුරු මොනවාද? අපි ඒ ගැන ටිකක් විස්තර දැන ගමු.

 

1. 2004 පැරෑලිය අනතුර

Train accidents

Image Source – youtube.com

“මුලින්ම වතුර පාරක් ආවා. ඒ ගමන වටේ පිටේ ගෙවල් වල උන්නු කට්ටියත් ඇවිල්ල කෝච්චියට නැග්ගා. කවුරුත් හිතුවෙ නෑ කෝච්චිය ගහගෙන යාවිය කියලා. ඉන් පස්සේ ආපු ලොකු වතුර පාරට කෝච්චි පෙට්ටි ටිකත් එක්කෝම ගහං ගියා. අවසානේ වතුරේ තියෙද්දීම යාන්තං ජනේලෙකින් එලියට ඇවිල්ල තමයි පණ බේරාගත්තේ” එදා පැරෑලිය දුම්රිය අනතුරෙන් දිවි ගලවාගත්තෙකු ඒ සිදුවීම ඉතා සැකෙවින් විස්තර කර තිබුනේ එසේය. එදා සමුද්‍රදේවී දුම්රියට ගොඩ වූ කිසි කෙනෙක් මෙවන් විපතක් ගැන සිහිනෙකිනුදු සිතන්නට නැතුව ඇත. එහෙත් ඈත ඉන්දුනීසියාවේ සිදුවූ රිච්ටර් පරිමාණයේ 9.0ක භූමිකම්පාව හේතුවෙන් ඇතැම් සුමාත්‍රා දිවයින් වල ජනයා බුරුතු පිටින් මිය ගියහ. එයින් ඇති වූ සුනාමි රළ පහර රටවල් ගණනාවකම වෙරළ බඩ පරිසරයේ සිටි ජනයා ගිලගන්නට විය. පළමු රළ පහර හමුවේ නවතා තිබූ දුම්රියට, දෙවැනි තෙවැනි රළ පහර වැදුනේ මෙට්‍රික් ටොන් ගණනක් බර දුම්රිය මැදිරි සෙල්ලම් බඩු පරිද්දෙන් වතුරේ පාවී යන ලෙසටය. එම අවස්ථාවේ අවට ජනයාද දුම්රියට ගොඩ වී සිටි හෙයින් අනතුරින් සිදු වූ ජීවිත හානි තවත් වැඩි විය. මෙම අනතුරින් අඩු වශයෙන් එම ස්ථානයේදී මගීන් 1400කට වැඩි සංඛ්‍යාවක් මිය පරළොව යන්නට ඇතැයි සැලකේ. එය එදා මෙදාතුර ලෝකයේ දුම්රියක් මුහුණදුන් බිහිසුණුම අනතුර ලෙස ඉතිහාසයේ කළු අකුරින් ලියවී තිබේ.

 

2. 1928 කටුකුරුන්ද අනතුර

Train accidents

Image Source – thegreenwichphantom.co.uk

දුම්රිය දෙකක් මුහුණට මුහුණ ලා ගැටුණු 1928 දුම්රිය අනතුර එවකට දුම්රිය ක්ෂේත්‍රයේ සිදුවූ බිහිසුනුම අනතුර විය. මාතර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් සහ කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියක් එකිනෙක ගැටීමෙන් සන්ධ්‍යා කාලයේදී වූ මෙම දුම්රිය ගැටුමේ ශබ්දය මහා පිපිරුමක් පරිද්දෙන් කටුකුරුන්ද, කළුතර ජනයාට ඇසී තිබුණි. එදා දුම්රිය වල ගමන් කළ ජනයා අඩු වූ බැවින් අනතුරින් මිය ගිය අය ගණන 27ක් තරම් අඩු විය. 52 දෙනෙකු තුවාල වලට ලක් විය. දුම්රිය අනතුරට හේතුව වී තිබුනේ දුම්රිය සංඥා ආදිය නොසලකා හැරීමකි. දුම්රිය ස්ථානයෙන් සංඥා ලබා දුන්නේද? ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවීද? එසේ නැතිනම් දුම්රිය සංඥා නොතකා ධාවනය කළාද ආදී වැඩි විස්තරයක් දැනගැනීමට දුම්රිය දෙකේම දුම්රිය රියදුරු සහ සහායක යන සතර දෙනාම අනතුරින් පසු  ජීවතුන් අතර නොමැති විය. එවකට යටත් විජිත රජයට දැඩි බලපෑමක් එල්ල කළ මෙම දුම්රිය ගැටුමට විරුද්ධව මගීන් සංගම් තනාගෙන වැරදිකරුවන් සොයා දඬුවම් දෙන්නැයි ඉංග්‍රීසි ආණ්ඩුවට බල කළහ.

 

3. 1996 දෙහිවල බෝම්බය

Train accidents

Image Source – lankaweb.com/sundaytimes.com

2009ට පෙර ලංකාවේ ගෙවුණු තිස් වසක කාලය බොහෝ ජනතාව බියෙන් ගතකළ කාලයක් උනා. ඒ කාලේ බස් වල කෝච්චිවල නෙමෙයි මහමග ගියත් මිනිස්සු හිටියේ කොයි වෙලේ බෝම්බ පුපුරයිද කියන බයේ. එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදීන් වන්නියේ කැලෑවලට කොටු වෙද්දි, ඔවුන්ට ප්‍රහාර එල්ල වෙද්දි ඔවුන් ඒ පලිය ගන්න දකුණේ මිනිස් ජීවිත බිල්ලට තියන්නට උනා. 1996 ජූලි 24 වැනිදා 764 දරණ මුහුදුබඩ කාර්යාල දුම්රියට මගීන් ගොඩ වුනේ වෙනදා වගේම ඉක්මනින් ගෙවල්දොරවල් වල යන බලාපොරොත්තුවෙන්. හමුදා සේවයෙන් ඉවත් වුණු එක් මගියෙක්ට දුම්රිය මැදිරියේ රාක්කයේ තිබුන බෑගයක් සම්බන්ධයෙන් සැක හිතුනා. ඔහු අවට මගීන්ට සහ දුම්රිය බලධාරීන්ට ඒ වග දැනුම් දුන්නා. ඒ කාර්යාල වෙලාව නිසා දුම්රිය ස්ථානයත් කලබලයි. දුම්රිය මගීන් බොහෝ දෙනෙක් කිව්වේ පාර්සලය ගැන බයවෙන්න දෙයක් නැහැ, යමු කියලා. ඒත් වැඩිදුර යන්නට ලැබුනේ නැහැ. දුම්රියේ තිබුන බෝම්බය පන්නිපිටිය බත්තරමුල්ල තරම් ඈතට යනතෙක් ගිගුම් දී පුපුරා ගොස් තිබුනා. මගීන් 64 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ ඒ අනතුරින් විශාල පිරිසක් තුවාල ලැබුවා.

 

4. 1964 මීරිගම විල්වත්ත දුම්රිය අනතුර

1964 දී තලෙයිමන්නාරම් තොට ඉන්දියාව හා සම්බන්ධ වූ බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක වුනා. ඒ තලෙයිමන්නාරම් තොටට ගිය දුම්රියෙන් එදා ඉන්දියාවේ සිට එන බඩු බාහිරාදියද, මගීන්ද, මාළුද කොළඹට ගෙන එනු ලැබුවා. එය මාළු කෝච්චිය ලෙසද හැඳින්වුනා. විවේකයක් නොමැතිව දෙවන දිනයටත් දුම්රිය රියදුරු අසුනේ වාඩි වූ රියදුරුට මීරිගම විල්වත්ත වංගුවේ ඇති භයානකකම නොපෙනී ගොස් තිබුණා. පළමුව වේගයෙන් වංගුව ගන්නා විට බඩු ගැල් කිහිපයක් එලියට විසි වී ගොස් තිබුනා. ඉන් පසු දුම්රියම ක්ෂණිකව අනතුරට භාජනය වුනා. මෙම මාරාන්තික පීලි පැනීමෙන් 40කට වැඩි පිරිසක් මරුමුවට පත් වුනා.

 

5. 2005 යාංගල්මෝදර දුම්රිය අනතුර

Train accidents

Image Source – sundaytimes.lk/news.bbc.co.uk

යාංගල්මෝදර යනු පොල්ගහවෙලට නුදුරු ප්‍රධාන මාර්ගය හරහා වැටී ඇති දුම්රිය හරස් මගකි. දුම්රිය ඈතට නොපෙනෙන තැනෙක පිහිටා ඇති යාංගල්මෝදර අනතුරුදායක දුම්රිය ගේට්ටුවකි. වසා තිබූ දුම්රිය ගේට්ටුවේ අනෙක් පසින් දැමූ බසය ක්‍රියාත්මක වූයේ දුම්රිය ළඟ ළඟම එන වගක් නොදැන විය හැකිය. කෙසේ හෝ සංඥා ක්‍රියාත්මක වී වැසුණු ගේට්ටුවේ පසෙකින් රිංගූ බසය දුම්රිය එන්ජිමේ ගැටුණි. මගීන් 37ක් ජීවිතවලින් වන්දි ගෙවූ ඒ දුම්රිය අනතුර හේතුවෙන් බසය තැලී පොඩි වී ගොස් තිබුණි. පුද්ගලික බස් රියදුරු සහ කොන්දොස්තරවරුන්ගේ නොමනා හදිස්සිය ගැන රට තුළ මහත් කතාබහ ඇතිකරවූ ඒ දුම්රිය අනතුරෙන් පසු දුම්රියේ රියදුරාට අධිකරණයෙන් දැඩි දඬුවම් නියම විය.

 

6. 1985 යාපනේ දුම්රිය අනතුර

Train accidents

Image Source – slnewsonline.ne/thuppahi.wordpress.com/lankaweb.com

එකම රටක් ලෙස තිබූ ඉන්දියාව දෙකඩ වූ 1947 කාලයේදී පාකිස්ථානය සහ ඉන්දියාවේ දුම්රිය අතර අපකීර්තිමත් දුම්රිය ගමන් රැසක් සිදුවිය. ප්‍රචණ්ඩත්වය දෙපසට පැතිර ගිය ඒ කාලයේ ඇතැම් දුම්රිය වලට පැනගත් ජාතිවාදී ත්‍රස්තවාදීන් ඉන්දීය පාකිස්ථාන සීමාවේදී දුම්රිය මගීන් මරුමුවට පත් කරන්නට විය. ලංකාවේද ත්‍රස්තවාදී කලබල ආරම්භ වීමත් සමගම 1985  කාලසීමාවේදී දුම්රිය ධාවනය වූයේ ඉතාම සීරුවෙනි. එල්. ටී. ටී. ඊ යට පෙර සන්නද්ධ කණ්ඩායම් කිහිපයක් විසූ ඒ සමයේදී ටෙලෝ සංවිධානය යාපනයේ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ යාල් දේවියට බෝම්බ තබන ලදී. බිම් බෝම්බ 5ක් පුපුරා යෑමෙන් දුම්රිය පීලි පැන්නේය. එවකට දකුණේ සිට උතුරු කෙළවරට රාජකාරි වලට යමින් සිටි හමුදා සෙබළුන් 40ක් එම ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත් විය. සාමාන්‍ය වැසියන් 19 දෙනෙකු එම ගැටුම් වලින් මියගොස් තිබුණි. බෝම්බ ප්‍රහාර මෙන්ම ඉන් පසු දුම්රිය වෙත වෙනත් සන්නද්ධ ප්‍රහාරද එල්ල වූ එම වකවානුවෙන් පසු යාල් දේවී උතුරට යෑම නැවතුණි. එදා 1985 සිට තවත් වසර 25ක් යනතෙක් උතුරු දුම්රිය මගෙහි දුම්රිය ධාවනය වව්නියාවට සීමා විය.

 

7. 2002 රඹුක්කන අනතුර

Train accidents

Image Source – alamy.com

කඩුගන්නාව දුර්ගයේ සිට පහළ බෑවුම ඔස්සේ පැමිණෙන දුම්රියේ තිරිංග නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම නිසා 2002 ජනවාරි 13 වැනිදා මහනුවර කොළඹ නගාරාන්තර දුම්රිය රඹුක්කන වෙල්යායකට පෙරලී ගියා. එහිදී බෑවුම ඔස්සේ වේගයෙන් පැමිණි නගරාන්තර දුම්රියට වේගය පාලනය කරගන්නට බැරි වී තිබුනා. මේ අනතුරින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර 200කට අධික පිරිසක් තුවාල ලබා තිබුනා. අවට ප්‍රදේශවාසීන් පැමිණ මේ අනතුර අවස්ථාවේ මගී ජීවිත බේරාගන්නට කටයුතු කර, එතැනින් නොනැවතී මගීන්ගේ බඩු බාහිරාදිය පවා පොලිසියට බාර දෙන්නට ක්‍රියාකර තිබුනා. මෙහි පරීක්ෂණ වලින් පසුව අනාවරණය වූ පරිදි මෙම අනතුරට හේතුව වී තිබුනේ රියදුරු විසින් නිසි අවස්ථාවේදී තිරිංග ක්‍රියාත්මක නොකිරීමයි.

 

දුම්රියක ගමන් පහසුව සලසාගන්නේ බස් රියක වගේ මිනිසුන් පනහක් හැටක් නෙවෙයි. ඇතැම් කාර්යාල දුම්රියක මගීන් 1000කටත් වඩා වරකට ගමන් කරනවා. දුම්රිය සේවාවේදී දුම්රිය මාර්ග නඩත්තුව, කාර්මික දෝෂ නිවැරදි කිරීම, තිරිංග පද්ධති සැකසීම, දුම්රිය සංඥා නිකුත් කිරීම වගේම දුම්රිය නියාමකවරු, දුම්රිය රියදුරු ආදී පාර්ශව ගණනාවක් දුම්රියක් නිසි පරිදි ධාවනයට සහාය වෙනවා. එසේම දුම්රිය හරහා, ගේට්ටු හරහා වාහන දමන්නට යන කලබලකාරයින්ද  ඔවුන්ගේ ජීවිත මෙන්ම දුම්රිය මගීන්ගේ ජීවිතත් අවදානමට ලක් කරනවා. දුම්රිය ගැන කතාබහ ඇතිවන අවස්ථාවලදී දුම්රිය සේවකයින් ඇතැම්විට මගීන්ගෙන් බැනුම් ඇහුවත්, ඔවුන් කරන සේවය සුළුපටු නැහැ. දුම්රිය සේවයේ අතීතයේ සිදුවූ අනතුරු දෙස බලා අපිට පාඩම් ඉගෙනගන්නට හැකි නම්, හානි අඩු දුම්රිය සේවයක් අපිටත් ගොඩනගාගන්නට හැකි වේවි.

Cover Image Source -telegraph.co.uk/egyptianstreets.com/mediaindia.eu