වෝ ෆිල්ම්ස් කියන්නේ යුද්ධ ගැන හැදුණු චිත්‍රපට. යුද්ධය ගැන චිත්‍රපට හදනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. එක අතකින් ඒ යුද්ධ භූමි වල පසුබිම තාත්වික විදිහට හදන්න ඕන. අනික රූපගත කිරීම් වලට යන අධික වියදම ගැනත් සලකා බලන්න ඕන. අනෙක් පැත්තට ගත්තම රංගනය අතිනුත් දැඩි කැපකිරීමක් කරන්න වෙන චිත්‍රපට වර්ගයක් තමයි යුධ චිත්‍රපට කියලා කියන්නේ. අපි බලමුකෝ දැනට ලෝකයට විවර වුණු හොඳම යුධ චිත්‍රපට දහයක් ගැන තොරතුරු.
1. Schindler’s List
දෙවැනි ලෝක යුද්ධය ඇසුරෙන් සත්‍ය සිදුවීමක් ආශ්‍රිතව නිපදවුණු චිත්‍රපටයක් මේක. ඔස්කා ශින්ඩ්ලර් කියන ප්‍රකට ව්‍යාපාරිකයා ගැනයි චිත්‍රපටයේ කියවෙන්නේ. මේක මානුෂිකත්වය ගැන කියවෙන චිත්‍රපටයක්. අහිංසකයන් පිරිසකගේ ජීවිත ගැන තමන්ගේ ජීවිතයද අවදානමේ දමා වදවෙන උත්තරීතර මිනිසෙක් ගැන කතාවක්. IMDB දර්ශකයේ මුල් තැනක් හිමිකරගෙන තියෙන මේ සිනෙමාපටය නම් බලන්නම ඕන යුධ චිත්‍රපටයක්. ප්‍රධාන චරිතය ලියම් නීසන්.
2. Saving Private Ryan
සොල්දාදුවෙක් සොයන්න, ආරක්ෂා කරන්න කැපවෙන, මහන්සි වෙන තවත් සොල්දාදුවන් පිරිසක් ගැන කියවෙන මේ කතාවෙත් පසුබිම හැදෙන්නේ දෙවැනි ලෝක යුද්ධය සමය මූලික කරගෙනයි. හරියටම කිවුවොත් 1944 අවුරුද්දේදියි මේක වෙන්නේ. චිත්‍රපටය බලලම කතාව දැනගන්න ආරාධනා කරනවා. ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ටොම් හෑන්ක්ස් සමගින් මැට් ඩේමන්.
3. The Pianist
මේකත් දෙවැනි ලෝක යුද්ධය ආශ්‍රිතව නිපදවුණු චිත්‍රපටයක්. පෝලන්ත සහ යුදෙවු මිශ්‍ර සම්භවයක් සහිත පියානෝ ශිල්පියෙක් ඉන්නවා. නම ව්ලැඩිස්ලෝ ස්පිල්මන්. කතාව පටන් ගන්නේ නාසි හමුදාවන් යුදෙවුවන් වහල් සේවයේ යොදවන්න සහ මරන්න ගෙනියන පසුබිමක. කතාව පුරා දිවෙන්නේ මේ පියානෝ ශිල්පියා බොහෝ කම්කටොළු මැද තමන්ගේ ජීවිතය බේරගන්න දරන වෑයමයි. ඒඩ්‍රියන් බ්‍රෝඩි මෙහි ස්පිල්මන් ගේ චරිතයට විශිෂ්ට ලෙස පණ පොවනවා.
4. Braveheart
දෙවැනි ලෝක යුද්ධ සමයෙන් පස්සේ අපි මේ යන්නේ 13 වැනි ශත වර්ෂයට. එංගලන්තයේ රජ්ජුරුවන්ට එරෙහිව කැරැල්ලක් මෙහෙයවපු ස්කොට්ලන්ත ජාතික විලියම් වොලස් ගැනයි සිනෙමාපටයේ කියවෙන්නේ. රජ්ජුරුවෝ පළවෙනි එඩ්වර්ඩ් රජ්ජුරුවෝ. මේක 1995 ආපු චිත්‍රපටයක් උනත් අදටත් මෙය බොහෝ සිනමා රසිකයන්ගේ ආදරයට පාත්‍ර වෙනවා. මෙල් ගිබ්සන් මෙහි ප්‍රධාන චරිතයට පණ පොවනවා.
5. Full Metal Jacket
මේක ඇවිල්ලා වියට්නාම් යුද්ධය ගැන ගහපු ඇමරිකානු සිනෙමාපටයක්. මේ යුද්ධයට ගියපු සෙබළ කණ්ඩායමක් මුහුණ දෙන අත්දැකීම් තමයි සිනෙමාපටය පුරාවටම විහිදෙන්නේ. මේක 1987 චිත්‍රපටයක්. මැතිවු මෝඩින්, ඇඩම් බෝල්ඩ්වින් සහ වින්සන්ට් ඩි ඔන්ෆ්රියෝ යන නලුවන් මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවනවා.
6. Apocalypse Now
මේ සිනෙමාපටයේ කියවෙන්නෙත් ඇමරිකානු හමුදාව වියට්නාමයේ ලබපු අත්දැකීම් ගැනයි. වියට්නාම් යුද්ධ සමයේදී විලාඩ් කියන කපිතාන්වරයා යවනවා වියට්නාමය ආසන්නයේම තියෙන කැම්බෝඩියාවේ පුද්ගලයෙක් ඝාතනය කරන්න. එසේ මෙසේ පුද්ගලයෙක් නෙමෙයි, කැම්බෝඩියාව හොල්ලගෙන හිටපු ජය නායකයෙක්ව මරන්නයි මෙයාව යවන්නේ. චිත්‍රපටය හොයාගෙන නැරඹීම ඔබට බාරයි. මාලන් බ්රැන්ඩෝ අර කැම්බෝඩියාවේ ජන නායකයට පණ පොවද්දී, කපිතාන් විලාඩ්ට පණ පොවන්නේ මාටින් ශීන් විසිනුයි.
7. The Hurt Locker
ඉරාක යුද්ධය පාදක කරගනිමින් නිමැවිච්ච චිත්‍රපට අතරේ මේ සිනෙමාපටයට සුවිශේෂී තැනක් හිමිවෙනවා. බෝම්බ නිශ්ක්‍රීය කණ්ඩායමක් වටා දිවෙන මේ කතාවේ සුවිශේෂීත්වය වෙන්නේ මේ යුධමය සිනෙමාපටය අධ්‍යක්ෂණය කරන්නේ කාන්තාවක් වීම. ඒ අධ්‍යක්ෂකවරිය කැත්රින් බිගෙලෝ. මෙහි ප්‍රධාන චරිතයට ජෙරමි රෙනර් පණ පොවනවා.
8. The 12th Man
ඔව් මේ දොළොස් වෙනි මිනිසා ගැන කතාව. දෙවැනි ලෝක යුධ සමයේදී එංගලන්තයෙන් එන 12 දෙනෙක්ගෙන් යුත් රහසිගත භට කණ්ඩායමක 11 දෙනෙක්ම ජර්මානුවන් අතින් මිය යනවා. ඉතුරු වුණු 12 වැනියා තනිවම, නිර්භයව මෙහෙයුම සිදු කරනවා. මේ ඒ ගැන කතාවයි. ප්‍රධාන චරිතයට තෝමස් ගුලෙස්ටඩ් විසින් පණ පොවනවා.
9. Dunkirk
ඩන්කර්ක් සටන කියන්නේ දෙවැනි ලෝක යුධ සමය ගැන දන්නා ඕනෑම කෙනෙක් අතර ප්‍රකට සටනක්. ඩන්කර්ක් කියන්නේ ප්‍රංශයේ නගරයක්. මේ සටන වෙනම දිශාවකින් දැකපු මේ සිනමාපටය රොටන් ටොමැටෝ යුධ චිත්‍රපට දර්ශකයේ ඉහළටම ඇවිල්ලා තියෙනවා. ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ෆියොන් වයිට් හෙඩ් සමගින් ජැක් ලෝඩන්.
10. ZERO DARK THIRTY
අන්තිමට ගෙනාවේ ඇමරිකාවේ ප්‍රධානම හතුරා විනාශ කිරීම ගැන වන චිත්‍රපටය. ඔව් ඒ තමයි ඔසාමා බින් ලාඩන්. ඔහුගේ අවසානය සනිටුහන් කිරීම වෙනුවෙන් ඒ මෙහෙයුමට දායක වූ නාවික සීල් හමුදා භටයන්ගේ අත්දැකීම් ඇසුරෙන් නිමැවුණු මේ සිනෙමාපටයත් අධ්‍යක්ෂණය කළේ අර කලින් කියපු The Hurt Locker අධ්‍යක්ෂණය කරපු නෝනමයි.
Cover Image Source -war-movies.info/youtube.com/sbs.com
Leave a Reply