2020 මීළඟ ජනාධිපති මේ අයගෙන් කෙනෙක්ද?

2020 President

2020 දී මීළඟ ජනාධිපතිවරයා වීමට සිහින දකින්නෝ රැසක් සිටිති. ජනාධිපතිතුමා රට රට වල සංචාරය කරන සැටි, හෙලිකොප්ටරයේ නැගී රට වටේ යන සැටි, දැසි දසුන් පිරිවරා සිටින සැටි ආදිය දකින විට ඕනෑම අයෙකුට ‘අනේ මටත් ජනාධිපති වෙන්නට ඇතිනම්’ යයි සිතේ. විශේෂයෙන් තීරණ නොගෙන, වෙනස්කම් නොකොට ඔහේ කාලය ගතකරන ජනාධිපතිවරුන් සිටින විට බොහෝම ජනයාට ‘ඔතන්ට මම ගියත් ඔච්චර නේ’ කියා ද සිතේ. ජනාධිපතිවරණය ගැන සිහින දකින්නෝ රැසකි. එයින් කිහිප දෙනෙක් ගැන අපි තරමක් සොයා බලමු.

 

1. රොහාන් පල්ලෙවත්ත

2020 Preident

Image Source – automotivelogistics.media

ව්‍යාපාරිකයින් දේශපාලනයට පැමිණීම ලොව පුරා සිදුවන සිදුවීමකි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය හරහා දේශපාලනයට පැමිණි අයෙකි. රොහාන් පල්ලෙවත්ත යනු ජපානයේ ටොයොටා සමාගමේ එයාබෑග් සපයන සමාගමක ප්‍රධානියෙකි. තමන් මීළඟ මැතිවරණයට සහභාගී වන බව ඔහු 2020ට වසර කිහිපයකට පෙරම ප්‍රකාශ කර, ඉඟි කර තිබේ. රොහාන් පල්ලෙවත්ත, වර්තමාන දේශපාලනය එලියේ සිට විවේචනය කළ හැකි කිසිදු දේශපාලන පෙර පළපුරුද්දක් නැති අයෙකි. එයම ඔහු ප්‍රයෝජනයට ගෙන ඔහුගේ දේශපාලනික කුණු නැති බව සුදුසුකමක්, වාසියක් බවට පත් කරගනී. රටේ ණය එකවර ගෙවීම වැනි දේ කෙතරම් ප්‍රායෝගික දේවල්ද යන්න ගැනත් මහජනතාව තුළ ඇත්තේ සැකයකි. කෙසේ වෙතත් ජනතාවට වසර 70ක් තිස්සේ දේශපාලනය එපා වී ඇති සමයෙක මෙවැනි නව මුහුණු වලටද අවස්ථාවක් ඒමේ හැකියාවක් තිබේ.

 

2. රනිල් වික්‍රමසිංහ

2020 Preident

Image Source – dnaindia.com

රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ වැඩිම වාර ගණනක් අගමැති තනතුර හෙබවූ රටේ ප්‍රධානතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ නායකයා වේ. වටින් ගොඩින් හෙළිවන කරුණු කාරණා අනුව මීළඟ ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක වීමට නියමිතව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාය. එතුමා දශක ගණනාවක දේශපාලන අත්දැකීම් ඇති අයෙකි. එහෙත් දැනටද අග්‍රාමාත්‍ය ධුරය හොබවන ඔහුට බැඳුම්කර සහ රටේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාවක් ලැබේදැයි යන්න පිළිබඳ ගැටළුවක් තිබේ.

 

3. ගෝඨාභය රාජපක්ෂ

President

Image Source – reuters.com

කීර්තිමත් හමුදා නිලධාරියෙකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස ඊලාම් යුද්ධය ඉවර කිරීමට දායක විය. ඉන් පසු තිබූ සංවර්ධන කාර්යයන් වලින් කොළඹ නගර අලංකරණ කටයුතු වඩාත් විධිමත්ව කිරීමට ගෝඨාභයට හැකි විය. ඒ හරහා කොළඹ එතෙක් පැවති අවලස්සන වගුරුබිම් කමණීය උද්‍යාන බවට පත් විය. ඔහුගේ නාගරික සංවර්ධන දැක්ම නූතන ලෝකයට අනුකූල වූ ගමනකි. එහෙත් ඔහු රාජ්‍ය නිලධාරියෙකු මිස එදා දේශපාලන ක්‍රියාකාරිකයෙකු නොවීය. හමුදා නිලධාරියෙකු සහ තරමක් තද ගති ඇත්තෙකු ජනපති පුටුවට පත් වීම ගැන මහජනතාවගේ ඇත්තේ කුකුසකි. එහෙත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ඇති දැඩි ජනතා ප්‍රසාදය කෙලින්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුනහොත් ඔහුත් මීළඟ ජනාධිපතිවරණයක තීරණාත්මක සාධකයක් වනු ඇත.

 

4. පාඨලී චම්පික රණවක

2020 President

Image Source – srilankamirror.com

වාහන දුම් බලපත් හඳුන්වාදීම, පරිසර ඇමති ලෙස කසල ගැටළුවලට විසඳුම් සෙවීම චම්පික රණවක මහතාගෙන් සිදුවූ අපරිමාණ සේවයන් විය. දැනට කොළඹ මහානගර සහ මෙගාපොලිස් සම්බන්ධ ඇමතිතුමා ලෙස එතුමා සැලකිය යුතු වැඩ කොටසක් කොළඹ වෙනුවෙන් කිරීමට උත්සාහ ගෙන ඇත. නව මාර්ග ඉදිකිරීම, කොළඹ නගරය ව්‍යාප්ත කිරීම ආදිය ගැන එතුමා කලක සිට සිය මතය ජනතාවට කියමින් සිටී. සිංහල බෞද්ධ හෙළ උරුමයෙන් දේශපාලනයට පිවිසි චම්පික රණවක මහතා විදුලි ඉංජිනේරු විද්‍යා උපාධිධාරියෙකි. ඉංජිනේරු මහතෙකු රටේ නායකයා වීම උගතෙක් රට කරවීමක් නිසා සමාජයේ ඉහළ පෙළේ කොටසක් චම්පික රණවක මහතා ජනාධිපතිවරයා වෙනු දැක්මට ආශා කරති.

 

5. රාජිත සේනාරත්න

2020 President

Image Source – colombogazette.com

සෑම රජයක්ම පාහේ විටින් විට නියෝජනය කළ සේනාරත්න මහතාගේ පක්ෂය සොයාගන්නට අපහසුය. මෑත කාලයේ ඖෂධ මිල අඩු කිරීම සහ පෙර ආණ්ඩුවට දොස් පැවරීම අතින් රාජිත සේනාරත්න මහතා ඉදිරිපෙළ චරිතයක් විය. ඔහුගේ පුත් චතුර දස දෙස නිතරම පුවත් මවන්නෙකි. සෞඛ්‍ය සේවාවට රාජිතගෙන් යම් සේවාවක් ඉටු වී ඇති බව විපක්ෂ හිතවාදී නොවන අයගේ පොදු අදහසක් වේ. එහෙත් ජනාධිපති වැනි තනතුරක් යනු වගකිවයුතු තනතුරකි. ජනතාව කෙතරම් සීරියස් ලෙස රාජිත වැනි අයෙකු දකීදැයි යම් ගැටළුවක් ඇතත්, වචනයෙන් පහර දීම අතින් නම් ඔහු ලංකා දේශපාලනයේ සිටින දක්ෂ සෙබලෙක් ලෙස දැක්විය හැකිය.

 

6. බත්තරමුල්ලේ සීලරතන හිමි

President

Image Source – youtube.com

වඩා දැනුම් තේරුම් තියන අය රටට සම්පතකි. එහෙත් දේශපාලන දේහය තුළ වඩාත් උගත් නැණවත් අය රටට කළ දේ දකින විට ඇත්තටම උගතුන් නැණවතුන් විශාල පුටුවලට තෝරා පත් කරගැනීමේ වැදගත්කමක් තිබේදැයි යන්න ගැන ගැටළුවක් පැන නගී. ගොවියාට කිරි එළදෙනක් ලබාදීම, ගොවි සංවිධාන වලට ට්‍රැක්ටර් ලබාදීම බත්තරමුල්ලේ සීලරතන හිමිගේ ජනාධිපති පොරොන්දු වේ. රටේ ජනතාවගේ ගොවිතැන් බත් සරුකර, රට නැවත ස්වයංපෝෂිත කිරීමට නම් දුප්පත්ම ජනතාවට හොඳ කලක් උදාවිය යුතුය. බත්තරමුල්ලේ සීලරතන හිමි ජනාධිපතිවරණ, මැතිවරණ ආදියෙන් පැරදුනත්, ඒ හිමියන්ගේ තව තවත් ඉදිරිපත් වී වාසනාව උරගා බැලීමේ විනෝදාංශය නම් නැවතී ඇති සෙයක් නොපෙනේ…

 

7. මෛත්‍රීපාල සිරිසේන

2020 President

Image Source – pmdnews.com

වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයකට නැවත ඉදිරිපත් නොවන්නේ යැයි මුලදී ප්‍රකාශ කළද, ඉන් පසු ඒ අදහස යම්තම් වෙනස් කරගත් ආකාරයක් පෙනුණි. එක්සත් ජාතික පක්ෂය තනිව තරඟ කළහොත් සහ පොදුජන පෙරමුණ ඇතුලු පාර්ශව සිය අපේක්ෂක ලෙස මෛත්‍රීපාල මහතා පත්කර ගත්තේ නැතහොත්, මීළඟ මැතිවරණය ජයගැන්මේ සිහිනය බොහෝ දුර එකක් වනු ඇත.

 

ජනාධිපතිවරණයට පෙර සිට ආයුධ මුවහත් කරන්නෝ මෙන්ම එය එනතෙක් අමුඩය නොගසා සිටින්නෝද රැසක් සිටිති. නායකයෙක් තෝරාගන්නට අපිට අවස්ථාවක් ඇති බව සත්‍යයකි. එහෙත් ඒ ලැයිස්තුවෙහි සිටින නායකයින් කිහිප දෙනෙකුගෙන් එක් අයෙක් පමණක් අපි තෝරා දිය යුතුය. සැබෑවට රට ඉදිරියට ගෙන යා හැකි පුළුල් දැක්මක් ඇති, සැබෑ හැකියාව ඇති අය අපිට ලැබෙන ඡන්ද කොළය තුළ ඉඳීවිද? යන්න අප සැම මුහුණදෙන ගැටළුවකි.

Cover Image Source – youtube.com/pmdnews.lk/colombogazette.com/srilankamirror.com/reuters.com/dnaindia.com/automotivelogistics.media

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *