කොග්ගල ප්‍රාඥයා: මාර්ටින් වික්‍රමසිංහ පිළිබඳ බොහෝ දෙනා නොදත් තොරතුරු

Martin WIckramasinghe

කොග්ගල ප්‍රාඥයා කියලා හඳුන්වන මාර්ටින් වික්‍රමසිංහ ගත්කතුවරයා ගැන අද කී දෙනෙක් දන්නවද? ඇත්තටම මේ ප්‍රශ්නේ අපිට අහන්න හිතුණේ කාලෙකට කලින් සමාජ ජාල ඇතුළේ සංසරණය වුණු වීඩියෝවක් නිසා. ඒකේ පාරේදී හමුවෙන විවිධ අයගෙන් වීඩියෝව කරන අය අහනවා මාර්ටින් වික්‍රමසිංහ  ගැන. එතැනදී සමහරු මාර්ටින් වික්‍රමසිංහ කියලා ගත්කතුවරයෙක් ගැන දන්නෙ නෑ. සමහරු දන්නවා. කොහොම වුනත් මාර්ටින් වික්‍රමසිංහ ගැන කෙනෙක් දැන සිටීම හෝ නොදැන සිටීම අපි ගැටළුවක් කරගන්නේ නෑ. ඒ වෙනුවට අපි සූදානම් මාර්ටින් වික්‍රමසිංහ හෙවත් ශ්‍රී ලංකාවේ මහා ගත්කතුවරයා, කොග්ගල ප්‍රාඥයා ගැන තොරතුරු ටිකක් කියන්න. සමහර විට අනාගතේදී මේ වගේ වීඩියෝවකට පාර තොටේදී මුහුණ දෙන්න සිද්ධ වුනොත්, මාර්ටින් වික්‍රමසිංහයන් ගැන දැනගෙනම එතකොට කතා කරන්න පුලුවන්!

 

 

1. කොග්ගල මලලගම මාර්ටින් වික්‍රමසිංහ

Martin WIckramasinghe

Image Source – google.com

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නවකථා හැම එකකටම වගේ පාදක වෙලා තියෙන්නේ දකුණුකරයේ කොග්ගල සහ කොළඹ. කොග්ගල ග්‍රාමය ගැන වික්‍රමසිංහයන් අතින් මේ තරම් ලියැවෙන්න හේතුව වෙන්නේ ඔහු උපන්නේත්, හැදී වැඩුනේත් කොග්ගල මලලගම වීමයි. පොඩි කාලේදී ගමේ පංසලෙන් සහ ගුරු ගෙදරින් අකුරු හදාරන වික්‍රමසිංහ ඉන්පස්සේ යන්නේ ගාල්ලේ බොනවිස්ටාවට. කොහොම වුනත් අවුරුදු අට වෙනකොට පියා මියයන නිසා මාර්ටින් වික්‍රමසිංහට සිද්ධ වෙනවා අහංගම විද්‍යාලයට යන්න. එතැනින් පස්සේ වුනත් නවතින්නේ නැතුව එන අගහිඟ කම් නිසා වික්‍රමසිංහයන්ගේ අධ්‍යාපනය නතර වෙනවා.

 

2. වෘත්තිය ජීවිතය

Martin WIckramasinghe

Image Source – archives.dailynews.lk

පාසැල් අධ්‍යාපනයෙන් සමුගත් මාර්ටින් වික්‍රමසිංහ කොළඹට ඇවිත් වෙළෙඳසැලක ලිපිකරුවෙකු විදියට ‍රැකියාව කරනවා. හැබැයි තමන්ගේ වැ‍ටුපෙන් මවට කොටසක් යවන්නත්, ඉතුරු කොටසින් පොත් පත් ගන්නත් වික්‍රමසිංහ අමතක කරන්නේ නෑ. කොළඹ කරෝලිස් සිල්වා සාප්පුවේ හා කොළඹ ජෝන්ද සිල්වා සමාගමේ තමයි වික්‍රමසිංහ මුලින්ම සේවය කරන්නේ. 1915 දී ඇතිවුණු සිංහල-මුස්ලිම් කෝලාහලය නිසා වික්‍රමසිංහට රස්සාව අතෑරලා ගමට යන්න වෙනවා. ආයෙමත් රස්සාවකට යන්න හිතන ඔහු මඩකළපුවට යන්නේත් තමන්ට හුරුපුරුදු ලිපිකාර තනතුරකට.

මෙහෙම කාලයක් ගියාට පස්සේ මාර්ටින් වික්‍රමසිංහ ගත්කතුවරයෙකු වෙලා. ලිපිකාර තනතුරෙන් අස්වෙන ඔහු ඊළඟට බැ‍ඳෙන්නේ ලේක්හවුස් ආයතනයට. එතැනදී දිනමිණ සහ සිළුමිණ වගේ පුවත්පත් වල කර්තෘ තනතුරු පවා මාර්ටින් වික්‍රමසිංහයන් විසින් දරනු ලබනවා.

 

3. වික්‍රමසිංහයන්ගේ කෘති

Martin WIckramasinghe

Image Source – bookfair.lk/desiblitz.com

මාර්ටින් වික්‍රමසිංහ කිවුවහම ගොඩක් දෙනෙක් දන්න පොත් කීපයක් තියෙනවා. එකක් මඩොල්දූව. ඉන් පස්සේ ගම්පෙරළිය. සමහරු දන්නවා ගම්පෙරළියෙන් පස්සේ කලියුගය සහ යුගාන්තය කියලත් පොත් දෙකක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඒ තුන් ඈඳුතු නවකථාවක්. තවත් සමහරු දන්නවා මාර්ටින් වික්‍රමසිංහ විරාගය කියලා පොතක් ලිවුවා කියලා.

හැබැයි මාර්ටින් වික්‍රමසිංහයන් ලියලා තියෙන පොත් පෙළ මේ ලැයිස්තුවට වඩා බොහොම දිගයි. සෝමා, අයිරාංගනී, සීතා, ලීලා, මිරිඟුව වගේ නම් වලින් ලියවුණු පොත් පෙළක් තියෙනවා. කළුනික සෙවීම, උපන්දා සිට, අපේ ගම වගේ පොත් තියෙනවා. කරුවල ගෙදර, බවතරණය කියන පොත් තියෙනවා. ඉන් පස්සේ වහල්ලු, ගැහැණියක්, මඟුල් ගෙදර, චරිතාදර්ශ කතා, බිල්ල සහ අපූරු මුහුණ, හද සාක්කි කීම, මගේ කථාව, පව්කාරයාට ගල් ගැසීම වගේ කෙටි කථා පොත් තියෙනවා.

 

4. මාර්ටින් වික්‍රමසිංහගේ පැතිරුණු දැනුම

Martin WIckramasinghe

Image Source – artceylon.com

ගොඩක් අය මාර්ටින් වික්‍රමසිංහව දන්නේ නවකථා ලියපු ගත් කතුවරයෙක් විදියට විතරයිනේ. හැබැයි මාර්ටින් වික්‍රමසිංහ කියන්නේ නාට්‍ය ලියූ කෙනෙක්, විචාරකයෙක් විතරක් නෙවෙයි, ස්වභාව විද්‍යාව, විචාරය, සාහිත්‍යය වගේ ක්ෂේත්‍ර ගණනාවක පැතිරුණු දැනුම තිබුණු ප්‍රාඥයෙක් කියන එක ගොඩක් දෙනෙක් දන්නෙ නෑ. මාර්ටින් වික්‍රමසිංහයන් මුස්ලිම්-සිංහල කෝලාහල කාලේ කොළඹ ‍රැකියාවෙන් ඉවත් වෙලා ගමට ඇවිත් කාලය ගත කරන්නේ ස්වභාව ධර්මය නිරීක්ෂණයෙන්. වික්‍රමසිංහයන්ගේ පුත් විශේෂඥ වෛද්‍ය රංග වික්‍රමසිංහ කියන්නේ “මගේ තාත්තා තමයි ලංකාවේ බිහිවුණු මුල්ම පරිසර වේදියා” කියලා. ඒ කථාව කොයි තරම් ඇත්තද කියලා දැනගන්න පුලුවන් වික්‍රමසිංහයන් ලියපු විද්‍යා විනෝද කථා කියවලා බැලුවොත්. ළමයින්ට ස්වභාවික විද්‍යා දැනුම ලබාදෙන්න ලියවුණු සරල, රසවත් පොතක් තමයි ඒ.

මීට අමතරව මාර්ටින් වික්‍රමසිංහයන් අතින් ලියැවුණු විචාරාත්මක නිබන්ධනයන් ගණනාවක් තියෙනවා. එයින් සමහරක් විදියට විචාර ලිපි, ගුත්තිල ගීතය, සාහිත්‍ය කලාව, සිංහල විචාර මග, බණ කතා සාහිත්‍යය, කාව්‍ය විචාරය, නව පද්‍ය සිංහලය, සාහිත්‍යෝදය කතා, ඇත්ත යුත්ත, සම්ප්‍රදාය හා විචාරය, ජාතක කතා විමසුම, රස වාදය හා බෞද්ධ කාව්‍යය, සිංහල සකස්කඩ පෙළගස්වන්න පුලුවන්.

 

5. මාර්ටින් වික්‍රමසිංහ නම් මාධ්‍යවේදියා

Martin WIckramasinghe

Image Source – albertaguidedfishingadventures.com

මාර්ටින් වික්‍රමසිංහයන් මුලින්ම පුවත්පතක කියලා සේවයට පැමිණෙන්නේ දිනමිණට. ඒ 1920 ගණන් වල කියලා තමයි අහන්න ලැබෙන්නේ. කියවෙන විදියට ඒ කාලේ හිටි හොඳ පුවත්පත් කලාවේදියෙක් සහ සිංහල උගතෙක් වුණු ඩී.ඩබ්.වික්‍රමාරච්චි තමයි මාර්ටින් වික්‍රමසිංහයන්ව ‍රැකියාවට බඳවා ගන්නේ. ඒ උපකර්තෘවරයෙක් විදියට. අහන්නට ලැබෙන විදියට එතැන් සිට වසර 26ක් දක්වා මාර්ටින් වික්‍රමසිංහ පුවත්පත් කලාවේදියෙකු විදියට වැඩ කරන්නේ. ජාතික නිදහස් ව්‍යාපාරයද, දේශීය ආගමික ප්‍රචාරක ව්‍යාපාරයද උච්චවතම අවස්ථාවක තිබූ කාලයක මාර්ටින් වික්‍රමසිංහයන් විසින් නැවුම් විෂයයන් ඔස්සේ දැනුම පාඨකයා අතරට ගෙන යෑමට උත්සාහ ගෙන තිබුණා. පරිණාම ධර්මය ලිපි පෙළ, වෘක්ෂලතා සහ සත්ත්වයෝ ලිපි පෙළ ඊට උදාහරණ විදියට දක්වන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි. මාර්ටින් වික්‍රමසිංහයන් විසින් සමකාලීන බටහිර ලෝකයේ කීර්තිය ලබාගෙන හිටපු දාර්ශනිකයෙකු වුණු නීට්ෂේ, රුසියානු සාහිත්‍යධර ‍තෝල්ස්‍තෝයි වගේ පුද්ගලයෝ ගැනත් දේශීය උගත් පාඨකයාව දැනුවත් කරන්න ලිපි ලියුවා. තමන්ගේ නමින් වගේම අපර නාමයන්ගෙනුත් මාර්ටින් වික්‍රමසිංහ ලිපි සැපයූ බව සඳහන්. උදාහරණයක් විදියට ගත්තොත් සිළුමිණ පුවත්පතට මයුරපාද යන නමෙන් ලියා තිබුණෙත් වික්‍රමසිංහයන්ම තමයි! මේ තමයි මාර්ටින් වික්‍රමසිංහ නම් වූ මාධ්‍යවේදියාගේ ජීවිතය.

 

6. මාර්ටින් වික්‍රමසිංහ සහ පවුල

Martin WIckramasinghe

Image Source – martinwickramasinghe.blogspot.com

සාමාන්‍යයෙන් අපිට මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ගැන තියෙන අදහස බොහොම නිවුණු, කේන්ති යන්නෙ නැති චරිතයක් විදියටනේ. හැබැයි වික්‍රමසිංහ මහත්තයාගේ පුත්‍රයා කියනවා ඒක එහෙම නෙවෙයිලු. සාමාන්‍යයෙන් පාන්දර පහට විතර නැගිටින වික්‍රමසිංහයන් පුස්තකාලයට ගිහින් පොත් කියවන එක, ලියන එකලු කරන්නේ. බිරිඳ වුණු ප්‍රේමා හදන කෝපි කෝප්පය ගෙනිහින් දෙන්නේ පුතා හරි ලොකු දුව හරි. රංග වික්‍රමසිංහ කියන විදියට වික්‍රමසිංහයන් පොත් කියවන්න, ලියන්න ගත්තහම බීරෙක් වගෙයිලු. අවට වෙන කිසිම දෙයක් ගැන අවධානයක් නැතිලු.

එතකොට මාර්ටින් වික්‍රමසිංහට තරහා ගියහම වැඩියෙන්ම දොස් අහන්නේ බිරිඳ ප්‍රේමා කියලා තමයි කියන්නේ. කලාතුරකින් අතිශයින්ම කෝපයකට පත් වුණොත් පිඟාන පොළවේ ගහන එකලු කරන්නේ. එහෙම වුනත් මාර්ටින් වික්‍රමසිංහ කියන්නේ තමන්ගේ පවුලට ආදරේ මනුස්සයෙක් කියලා කියන්න පුලුවන්. ලේක්හවුසියෙන් ලොකු වැ‍ටුපක් නොලැබුණු නිසා දරුවන් හත් දෙනෙකු සමග පවුලක් නඩත්තු කරන එක අසීරු කාරණයක් වුනත්, හැම තිස්සේම තමන්ගේ දරුවන්ට හිතන්න, තර්ක බුද්ධියෙන් කටයුතු කරන්න වික්‍රමසිංහ උගන්වනවා.

 

7. ආන්දෝලනයට ලක්වුණු නවකථාව: බවතරණය

Martin WIckramasinghe

Image Source – bookfair.com

බවතරණය කියන්නේ මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත අවසාන කෘතිය. බවතරණයේ සිද්ධාර්ථයන් සහ ඔහුගේ ජීව්ත කතාවත්, අබිනික්මනත් පාදක කරගනිමින් ලියැවිලා තියෙන්නේ. හැබැයි මේ කෘතියේ සිද්ධාර්ථයන්ව දැක්වෙන්නේ සාමාන්‍ය රාජකීය තරුණයෙක් විදියට. සිද්ධාර්ථයන් අසාමාන්‍ය වෙන්නේ ලෝක සත්වයාව දුකින් මුදවා ගැනීමේ මහා මානව ප්‍රේමයෙන් යුතුව සත්‍යය සොයා යෑමේ දුෂ්කර ගමනකට අවතීර්ණ වන නිසාවෙනුයි. පසුකාලයකදී වික්‍රමසිංහයන් කියනවා මේ පොත් ලියන්නේ තරුණ කාලේ හිතට ආපු අදහසකට අනුව කියලා. ඒ කියන්නේ හින්දු-සකු-බමුණු-අද්භූත-අලංකාර වාදයන්ගේ ගිලී තිබුණු බුදු සිරිත එයින් ගලවා ඉදිරිපත් කිරීමට කියන එක.

හැබැයි බවතරණයට විරුද්ධව බොහොම විශාල උද්ඝෝෂණයක් සහ විරෝධතා ‍රැල්ලක් දියත් වෙනවා. යක්කඩුවේ ප්‍රඥාරාම, පල්ලේවෙල සද්ධාතිස්ස වගේ මහනාහිමිවරු වගේම ශ්‍රීමත් සෙනරත් ගුණවර්ධන, ශ්‍රීමත් සිරිල් ද සොයිසා වගේ ගිහි බෞද්ධ නායකයෝත්, පරම විඥානාර්ථ සමාගම හා කොළඹ තරුණ බෞද්ධ සංගමය වගේ සංවිධානත් මේ විරෝධතාවයට එක් වෙනවා. කොහොම වුනත් ලංකාවේම බෞද්ධයෝ මේ විරෝධයට එක් වෙන්නේ නෑ. එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර වගේ සාහිත්‍යධරයෝ වගේම අකුරටියේ අමරවංශ හිමි, මොර‍ටුවේ ශාසනරතන හිමි වගේ නාහිමි වරු මේ පොතට තමන්ගේ සහයෝගය ප්‍රසිද්ධියේම ලබාදෙනවා.

අන්තිමට මේක සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය දැනගත්තට පස්සේ සංස්කෘතික අමාත්‍යාංශය මගින් කරුණු සොයා බලන්න ත්‍රිපුද්ගල කමි‍ටුවකුත් පත් කෙරෙනවා. කොහොමහරි බවතරණයට විරුද්ධ උද්ගෝෂණ උත්සන්න වෙනකොට ඒකට දේශපාලනයත් ගෑවෙනවා. ඒ නිසාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බවතරණය තහනම් කරන්න කියලා බල කරනවා. තවත් පාර්ශව වික්‍රමසිංහයන්ව බුදු චරිතයට නිගරු කිරීමේ චෝදනාව යටතේ අත් අඩංගුවට ගන්න කියාත් බල කරනවා.

මේ හැම විරෝධතාවයක්ම දිහා බොහොම උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා කොග්ගල ප්‍රාඥයා. අවසානයේදී කරුණු සොයා බැලීමෙන් පසුව අගමැතිනිය තීරණය කරන්නේ බවතරණය තහනම් කිරීම අනවශ්‍ය බව.

Cover Image Source – martinwickramasinghe.blogspot.com/srilankafinder.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *