අපේ තියෙන සෙන්ටිමෙන්ටල් ගතිය එළියට එන්න නම් අනිවා හින්දි පිචෑර් එකක් බලන්නම ඕනි. හැබැයි දැන් එන එව්වයේ සම්භාව්‍ය ගතිය එන්න එන්න වැඩි වෙනවා. අර එක පාර සින්දුවක් පටන් ගෙන කොල්ලයි කෙල්ලයි නටන්න ගන්න සිනමාව ඩිංග ඩිංග ඈතට යනවා. කොල්ලයි කෙල්ලයි කිව්වම මතක් වුණේ, ඔය වගේ ලව් බයිස්කෝප්වල දුෂ්ටයෙක් හිටියනේ. එක්කෝ කෙල්ලට කැමති මොකෙක් හරි තගෙක්. ඒත් නැත්තම් කෙල්ලගේ සනුහරේ කවුරුහරි. ඔය යක්කු හින්දා පැත්තක ඉන්න අහිංසක අපෙත් ලේ වතුර වුණා. බලන්න මේ මූණු ටික මතක ද කියලා.
1. අම්රිෂ් පූරි

Image Source – youtube.com
දුෂ්ටයා කියන එකට සමාන පදයක් කියන්න කිව්වොත් මේ නම තමයි කියන්න තියෙන්නේ. ඒ චරිතවල ඉඳලාම ද කොහෙද නිකන් පොටෝ එකක් දැක්කත් අසූ හාරදාහට මළ පනිනවා. මෙතුමගේ රඟපෑමේ දක්ෂකම තමයි ඉතින් ආයේ වෙන මොකක්ද. අම්රිෂ් පූරිගේ හොඳම රඟපෑම විදියට 1987 තිරගත වුණ Mr. India චිත්‍රපටයේ මොගැම්බෝගේ චරිතය හඳුන්වන්න පුළුවන්. බුදු අම්බෝ ඒ සැර මූණ! ඊට අමතරව Karan Arjun, Ram Lakhan, Nagina, Indiana Jones වගේ චිත්‍රපටත් දුෂ්ටකමේ හොඳම ඒවා.
2. ඩැනී ඩෙන්සොන්ග්පා

Image Source – bollywoodbubble.com
ඉන්දීය සිනමාව මොහුව හඳුන්වන්නේ කඩවසම්ම දුෂ්ටයා කියලයි. එහෙම කියන්න සම්පූර්ණ අයිතියකුත් තියනවා. සිකීම් ඌරුවක් ඇති මොහු ඉන්දීය ජාතිකයෙක්. Bang Bang චිත්‍රපටයේ තට්ටේ ගාලා ඉන්නේ නියම මාචෝ පාට් එකට. Lajja, Agneepath (1990), Andar Bahaar, The Burning Train මොහුගේ නපුරු ම නපුරු රංගන ජීවිතයේ මතක සටහන්.
3. ශක්ති කපූර්

Image Source – hamaraphotos.com
ඔව්. මේ ඉන්නේ ශ්‍රද්ධා කපූර්ගේ අප්පොච්චි. තාත්තලා දූලා ඔක්කොම එකයි, රඟපානකොට ඒක කරනවා ඇට්ටි හැලෙන්න. ශක්ති කපූර් දුෂ්ට චරිතයක් රඟපෑවා බැලුවා නම් එදා රෑට නිදාගන්න එකත් හරි අමාරුයි. හීනෙන් වුණත් ඇවිත් බෙල්ල මිරිකලා යනවා පේන්න පුළුවන්. Chaalbaaz, Aankhen, Main Khiladi Tu Anari, Gunda වගේ චිත්‍රපටවල ආය ගන්න දෙයක් නෑ… නපුර විතරයි.
4. ප්‍රාන්

Image Source – asianimage.co.uk
දැක්කම බය හිතෙන ඇස් දෙක, ඇඟත් එක්ක හිරිවැටිල යන කටහඬත් එක්ක ප්‍රාන්ට පුළුවන් අපේ ප්‍රාණෙත් ගන්න. 50 සහ 60 දශකවල ඔහුගේ රංගනය නිසා මිනිස්සු ඇත්තටම ඔහුට බයවෙන්නත් පටන් අරන් තියෙනවා. Johnny Mera Naam, Ram Aur Shyam, Poorab Aur Paschim වගේ චිත්‍රපට ඒ රංග ප්‍රතිභාව හොඳින් දකින්න පුළුවන් අවස්ථා.
5. ප්‍රේම් චොප්රා

Image Source – youtube.com
ඉස්සෙල්ලම දැක්කම නම් හරිම කියුට් අන්කල් කෙනෙක් කියලා හිතෙනවා. චිත්‍රපටය ටිකක් දිග ඇරෙනකොට ඉතින් පිරිත් නූල් ටික අතේ බැඳගන්න මතක් වෙනවා. Upkaar, Do Raaste, Kati Patang, Do Anjaane වගේ චිත්‍රපට ඔහුගේ හොඳම ඒවා. ප්‍රේම් නාමය දුෂ්ටකම් අතර හිනිපෙත්තට ම නගින්නේ Bobby චිත්‍රපටයෙන්. ඒකේ දී ඔහු “Prem naam hai mera… Prem Chopra” කිව්ව විදිය අම්මේ ඉතින්.
6. අම්ජාඩ් ඛාන්

Image Source – samacharnama.com
අම්ජාඩ් කියනවාට වඩා දන්නේ ගබ්බාර් සින්ග් කිව්වම. ඒ කියන්නේ Sholay කියන චිත්‍රපටියේ ඔහුගේ චරිතය. සාමාන්‍යයෙන් චිත්‍රපටයේ වීරයාට තමයි ආකර්ෂණය වැඩි. ඒත් මේ චිත්‍රපටයෙන් ඒක වෙනස් කරා. චරිතයට මොන තරම් සාධාරණයක් කරාද කියන එක ඔහු වටා එකතු වුන ප්‍රේක්ෂකයන් ඔප්පු කරා. දෙබස් කටපාඩම් කරන්න, ඔහු වගේ හැසිරෙන්න මිනිස්සු පුරුදු වුණා. ෆිල්ම්ෆෙයාර් සම්මානයකටත් නිර්දේශ වුණා. Inkaar, Des Pardes, Nastik, Dada වගේ චිත්‍රපටවලත් මේ මූණ තියෙනවා.
7. ගුල්ෂාන් ග්‍රෝවර්

Image Source – punjabigram.com
බොලිවුඩය මොහුට දීලා තියෙන කාඩ් එකෙන්ම හිතාගන්න පුළුවන් රඟපෑමේ තරම. හැමෝම කියන්නේ ‘Bad Man’ කියලයි. Ram Lakhan, Lajja, Hera Pheri, 16 December, Bullet Raja වගේ චිත්‍රපටවල රංගනය බලන් ඉන්නත් බයයි.
චිත්‍රපටයක ප්‍රධාන නළුවා වෙන එක ලේසි වැඩක්. නළුකම බලන්න නම් දුෂ්ටයාගේ පැත්තට හැරෙන්න වෙනවා.
Cover Image Source – punjabigram.com/youtube.com/indianbubble.com/samacharnama.com/asianimage.co.uk/hamaraphotos.com
Leave a Reply