සමහරු ඉන්නවා පුංචි කාලේ ඉඳලම පොත් කියවන්න හුරු වුණු පොත් කාවෝ. සමහරු ඉන්නවා එහෙන් මෙහෙන් පොතක් දෙකක් කියවන ඈයෝ. තවත් සමහරු දැන් තමයි පොත් කියවන්න පටන් ගන්න හිතන්නේත්. ඒත් කොහෙන් පටන් ගන්න ඕනද කියලා අදහසක් නෑ. සමහරු පොත් කියවනවා වුනත් හොඳ පොතක් තෝරගන්න දන්නෙ නෑ. අපි කියන්නේ නෑ ඕනෑම මනුස්සයෙක් පොත් කියවිය යුතුමයි කියලා. කෙනෙක් පොත් කියවනකොට තව කෙනෙක් චිත්‍රපටි බලන්න පුලුවන්. හැබැයි පොත් කියවන්න අවංක ආසාව තියෙන කෙනෙක් නම් කොහොමද පටන් ගන්න ඕනෑ, කොහොමද හොඳ පොතක් තෝරගන්න ඕනෑ කියන කාරණා ගැන පොඩි දැනුවත් භාවයක් ලබාදෙන්න අපි සූදානම්!
1. පටන් ගැන්ම කොහෙන්ද?
සමහරු ඉන්නවා ජීවිතේට පොතක් අල්ලලා නැති. දැන් එහෙම කෙනෙක් මහා බරසාර පොතකින් පොත් කියවන එක පටන් ගනීද? එහෙම සීරියස් පොත් කියවන්න කැමති අයත් ඉන්නවා. එහෙම අයට මෙන්න මේ නියම සිංහල පොත් වලින් එකක් හොඳයි පටන් ගැන්මට. හැබැයි ඒ තරම් වත් සීරියස් පොත් වලට යන්න අකමැති කෙනෙක්ට හිතලා බලන්න පුලුවන් තමන් ආස මොන වගේ පොත් වලටද කියලා. ඔන්න රහස් පරීක්ෂක කථා වලට කැමති අයට තියෙනවා ෂර්ලොක් හෝම්ස්, අගතා ක්‍රිස්ටි පොත්. මල් ආදර කතාවකට කැමති අයට තියෙනවා එඩ්වඩ් මල්ලවාරච්චි, සුජීව ප්‍රසන්නාරච්චි. ඔය ත්‍රිලර් පන්නයේ කථා වලට කැමති අයට වුනත් ඩීමන් ආනන්දගේ පොත් එහෙම ආයෙමත් ගහලා තියෙනවා. එතකොට හොල්මන් ත්‍රිලර් වලට ආස කෙනෙක්ට භද්‍රජී මහින්ද ගේ බෝදිලිමාගේ සාපය, සඳ වියරුව, දුර කඳු මත අකුණු, උලමගේ රාත්‍රිය, බඹර විලේ හොල්මන වගේ පොත් තියෙනවා.
මෙන්න මේ වගේ පොත් වලින් පටන් ගන්න කෙනෙක්ට අනිවා පොත් කියවන්න නවත්තන්න නම් හිතෙන්නේ නෑ!
2. බුක් ෆෙයාර් එකකට යමුද?
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියන්නේ පොත් කියවන ගොඩක් උදවියගේ වාර්ෂික මහා සැණකෙලිය වගේ. සමහරු ඉන්නවා කෙල්ලෙක්ගේ හරි කොල්ලෙක්ගේ හරි අතින් අල්ලගෙන ඇවිදලා, නූඩ්ල්ස් එකක් කාලා එන්න බුක් ෆෙයාර් යන්නේ. හැබැයි එහෙම ගියත් පෙනුමට හරි පොතක් අරගෙන එන්න ගොඩක් දෙනෙක් පෙළඹෙනවනේ. ඒ නිසා අපි කියන්නේ පොත් ප්‍රදර්ශන හොඳයි කියලා තමා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගොඩක් දෙනෙක්ට විශේෂ වෙන්න හේතුවක් තියෙනවා. ඒ තමයි ඩිස්කවුන්ට්. සියේට විස්ස වුනත් වටිනවනේ කියලා, තමන්ට ඕන කරන පොත් ඔක්කොම එකම තැනකින් ගන්න බුක් ෆෙයාර් එක තරම් තැනක් නෑ. ඇයි හැම ප්‍රකාශකයම වගේ මෙතන ඉන්නවනේ. තමන්ට කියවන්න ආස මොන විදියේ පොත්ද, ඒ ඕනෑම පොතක් මෙතනින් හොයාගන්න පුලුවන්. අනික අලුත් පොත් එහෙමත් සෑහෙන්න ප්‍රමාණයක් දැන් බුක් ෆෙයාර් එක අල්ලලාම දොරට වඩිනවනේ!
හැබැයි මතක තියාගන්න, සැප්තැම්බර් වෙන්නම ඕන නෑ පොත් ප්‍රදර්ශන වලට යන්න. සාමාන්‍යයෙන් අවුරුද්ද පුරාම එක එක කාලවලට ඔය මහජන පුස්තකාලේ එහෙම පොඩි පොඩි පොත් ප්‍රදර්ශන තියෙනවා. මේ වල හොඳ පොත් හොයාගන්නත් තියෙනවා. ඒ පොත් ඩිස්කවුන්ට් පිට ගන්නත් ලැබෙනවා.
3. ගෘප් එකකට සෙට් වෙමුද?
දැන් ඔය පොත් කියවන ෆේස්බුක් ගෘප් තියෙනවනේ. පොත් කියවන අය තමයි ප්‍රසිද්ධම ගෘප් එක. ඒ ඇරෙන්න තව සෑහෙන්න ලොකු පොඩි පොත් කියවන අයගේ ගෘප් තියෙනවා. එතකොට විදර්ශන ප්රකාශකයින්ගේ, ග්රන්ථ ඩොට් එල් කේ එකේ, කේබුක්ස් ඩොට් එල් කේ එකේ, අහස ප්‍රකාශකයන්ගේ වගේ නානාවිධ ප්‍රකාශකයන්ගේ සහ පොත් විකුණන තැන්වලත් ෆේස්බුක් ගෘප් තියෙනවා. මේ ගෘප් එකකට සෙට් වෙන එකත් අලුතින් පොත් කියවන කෙනෙක්ට ලොකු පහසුවක්.
ගොඩක් වෙලාවට අලුත් පොත් ගැන දැනුවත් වෙන්න මේ ගෘප් ප්‍රයෝජනවත්. සමහරු පොතක් කියවලා, ඒ ගැන කෙටි හැඳින්වීමක්, විචාරයක් එහෙමත් ගෘප් එකට දානවා. අන්න එතකොට ඒවා කියවලා තමන්ට අල්ලන පොතක්ද මේක නැද්ද කියලා තීරණය කරගන්න ලේසියි. හැබැයි ඉතින් සමහරු ඉන්නවා මෙලෝ රහක් නැති පොතක් වුනත් උඩ දාන්න පුලුවන් ප්‍රොමෝෂන් වලට. ඒවා පොඩ්ඩක් තෝරා බේරා ගන්න පුලුවන් පොතක් ගැන තියෙන පෝස්ට් එකක් වගේම ඒකේ තියෙන කමෙන්ට්සුත් කියවලා!
ඒ වගේම තමයි පොත් හුවමාරු වගේ ගෘප් එකකට සෙට් වුනොත් පොත් මාරු කරගෙන කියවන්න පුලුවන් ගෘප් එකේ ඉන්න යාලුවෝ අතර. අලුත් පොත් වලට මුදලක් වැය නොකර පොත් කියවන්න ඒක හොඳ ක්‍රමයක්.
4. යාලුවන්ගෙන් අහමුද?
අපේ ඕනම සෙට් එකක ඉන්නවා පොත් කාලා, ඇඟට පොත් පත්තියම් වෙච්ච ඩයල්. එහෙම නැතිනම් අපි වගේ ඔය ආතල් පොතක් දෙකක් කියෝලා ඉන්න ඩයල්. මේ දෙගොල්ලන්ගෙන්ම හොඳ පොතක් ගැන දැනගන්න පුලුවන්. හැබැයි එකක්. යාලු මිත්‍රයෙක්ගෙන් හොඳ පොත් ගැන අදහසක් ගන්න යනවා නම් කලින්ම තීරණය කරන්න ඕන තමන් කියවන්න කැමති මොන ජාතියේ පොත්ද කියලා. අන්න ඊට පස්සේ ඊට අදාළව හොඳ පොත් ගැන අදහස් විමසන්න පුලුවන්.
මතක තියාගන්න ඕන යාලුවෙක්ගෙන් පොතක් ගැන අහනකොට නම විතරක් අහලා ඉන්නෙ නැතුව, පොත ගැන පොඩි විස්තරේකුත් දැනගන්න. මොකද සමහරු කියවලා නැති පොත් කනින් කොනින් අහගෙන රෙකමන්ඩ් කරනවා හොඳයි කියලා. හැබැයි කියවලා බලනකොට යාලුවට දෙකක් දෙන්න තමයි හිතෙන්නේ. අනික පොත කියවපු කෙනෙක්ගෙන් පොතක් ගැන රෙකමන්ඩේෂන් ගන්න කොට දෙයියන්ගෙ නාමෙට පොතේ කථාව කියලා ස්පොයිල් කරන්න දෙන්න එපා.
5. පොත් කඩේකට යමුද?
ගොඩක් දෙනෙක් දැන් පොත් කඩවලට ගිහිල්ලා පොත් ගන්නේ නැති තරම්නේ. පොත් කඩේකට කියලා යන්නේ පොත් ප්‍රදර්ශනේ තියෙන ස්ටෝල් එකටනේ. හැබැයි ඇත්ත කතාව තමයි බුක් ෆෙයාර් එකේ දෙන වට්ටම සමහර වෙලාවට අවුරුද්ද පුරාම විටින් විට ලබාදෙන පොත් ප්‍රකාශකයෝ ඉන්නවා. පොත් මාසේ ඇතුළත වුනත් බුක් ෂොප් එකට ගියහමත් ඒ වට්ටමම ලැබෙනවා.
බුක් ෂොප් එකකට යන එකේ වාසිය තමයි නිදහසේ පොතක් කියවලා බලලා තෝරගන්න තියෙන හැකියාව. මේක බුක් ෆෙයාර් ගියාට ලැබෙන්නේ නෑ. පොත් කඩේකට ගිහින් පොත් තෝරගන්නවා නම් මෙහෙමයි. සරසවි වගේ පොත් කඩේකට ගිහින් වැඩකරන අයගෙන් හොඳ පොත් ගැන ඇහුවට වැඩක් නෑ. ඒත් දයාවංශ, ගොඩගේ, සූරිය වගේ පොත් කඩේකට ගිහින් ඇහුවොත් අලුත් පොත් මොනවද කියලා, ඒ අය පෙන්නනවා. දැන් තියෙන්නේ හෙමිහිට පොතේ පිටුවක් දෙකක් කියවලා බලන්න. පසු පිට, පෙරවදන එහෙමත් කියවලා බලන්න. කොහොමත් පිටු කීපයක් කියවනකොට කෙනෙක්ට අහුවෙනවා පොත හොඳද නරකද කියලා. ආන්න එතකොට පොත හොඳ නම් ගන්නයි තියෙන්නේ.
මේ එක්කම මතක් කරන්න ඕන පරණ පොත් විකුණන කඩ. මේ තැන්වලින් සෑහෙන්න අඩුවට හොඳ පොත් ගන්න හැකියාව තියෙනවා.නුගේගොඩ සරසවි වෙයාර් හවුස්, මරදානේ පරණ පොත් කඩ මේ තැන්වලට ඇතුළත්. ඊට අමතරව ආමර් වීදියේ, කොල්ලුපිටියේ, මරදාන ස්ටේෂන් එක එහා පැත්තේ එහෙමත් පරණ පොත් විකුණන මහත්තුරු හොයාගන්න පුලුවන්.
6. ඔන්ලයින් ගෙන්නගමුද?
ගොඩක් පොත් ගන්න උදවිය මේ ක්‍රමේට මනාපයි. ඇයි පොත් කඩේකට ගිහින් පොත් තෝරන්න, ඉන් පස්සේ පොත් ටික උස්සගෙන ගෙදර යන්න වුවමනා නෑ. තෝරලා ඕඩර් එක දැම්මහම කෙලින්ම ගෙදරටම පොත් ටික එනවා. අනික ප්‍රකාශකයෝ ගණනාවකගේ පොත් එකම වෙබ් සයිට් එකකින් හොයාගන්න පුලුවන්.
ලංකාවේ මෙහෙම පොත් ගන්න ගොඩක් වෙලාවට ප්‍රසිද්ධ තැන් වෙන්නේ Grantha.lk සහ Kbooks.lk තමයි. මේ තැන් වල වට්ටම් සහිතව පොත් තියෙනවා. අමතර පොඩි තැපැල් ගාස්තුවක් ගෙවලා ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්. ඕන නම් ස්මාට්ෆෝන් එකට Poth App එක දාගෙන ඒකෙන් වුනත් පොත් කියවන්න පුලුවන්.
ඉංග්‍රීසි පොත් වුනත් අර උඩ කිවුව ලංකාවේ පොත් සයිට් වල තියෙනවා. හැබැයි ගොඩක් ලංකාවේ හොයාගන්න පවා නැති ඉංග්‍රීසි පොත් හොයාගන්න හොඳම තැන තමයි Bookdepository.com කියන්නේ. තැපැල් ගාස්තු, නැව් ගාස්තු වලින් නිදහස්.
7. ලයිබ්රියකට සෙට් වෙමුද?
ගොඩක් දෙනෙක්ට පොත් වලට විශාල මුදලක් යට කරන්න බැහැනේ. අපිටත් එහෙමයි. ආන්න එහෙම වෙලාවක සාර්ථක විසඳුමක් තමයි පුස්තකාල කියන්නේ. ඕනෑ නම් කොළඹ මහජන පුස්තකාලය තියෙනවා. මෙතන සෑහෙන්න පොත් තියෙනවා. අලුත්ම පොත් එන්න නම් කල් යනවා, ඒත් කෙනෙක්ට කියවලා ඉවර කරන්න බැරි තරම් විශාල ඉංග්‍රීසි, සිංහල පොත් එකතුවක් මෙතන තියෙනවා. කොළඹ ඇතුළේ පදිංචිය තියෙන කෙනෙක්ට හරි, කොළඹ ඇතුලේ පදිංචිය තියෙන නිර්දේශකරුවෙක් ඉන්න කෙනෙක්ට හරි සුළු වාර්ෂික මුදලකට සාමාජිකත්වය ගන්න පුලුවන්. එහෙම නොවෙන කෙනෙක්ට වුනත් රුපියල් 2,000 ක තැන්පතුවක් තියලා විනාඩි දහයෙන් සාමාජිකත්වය ගන්න පුලුවන්.
මීට අමතරව ලංකාවේ හැම ප්‍රධාන නගරයකම වගේ පුස්තකාල තියෙනවා. මේ වලින් එකක සාමාජිකත්වය ලබාගත්තට පස්සේ පොත් කියවන්න මිලදී ගන්නම ඕන නැහැ.
එහෙමනම් සාහිත්‍ය මාසෙත් අල්ලලා පොත් කියවන්න පුරුද්ද ඇතිකරගමු නේද?
Cover Image Source – youthincmag.com /today,com/medium.com
Leave a Reply