අපි මේ කියන්න යන්නේ ඔබව පුදුමයට, ත්‍රාසයට සහ භීතියට පත් කරවන්න පුලුවන් විදිහේ හිතාගන්නවත් බැරි අවසානයන් සහිත චිත්‍රපටි කිහිපයක් ගැනයි. චිත්‍රපටය එතෙක් ගලාගෙන ආපු විදිහ වෙනසකට ලක් කරලා, ඔබව ෂොක් කරලා තමයි අපි මේ කියන චිත්‍රපටි හැම එකක්ම අවසන් වෙන්නේ. ප්ලොට් ට්විස්ට් සහිත චිත්‍රපටි බලන්න කැමති කෙනෙක්නම් මේ චිත්‍රපටි සෙට් එකම අනිවාර්යයෙන් ඔබට අල්ලලා යාවි.
1. Sleepaway Camp (1983)

Image Source – giphy.com
ලෝක සිනමා ඉතිහාසයේ චිත්‍රපටයක දකින්න ලැබුණු, නරඹන්නන්ව තිගැස්සීමට ලක්කරන විදිහේ හොඳම අවසානය සහිත චිත්‍රපටය හැටියටයි මේ චිත්‍රපටය සැළකෙන්නෙ. ඇන්ජලා බේකර් කියන තරුණියකුත් එයාගෙ ඥාති සහෝදරයාත් ඇතුළත් වෙන සමර් කෑම්ප් එකක සිද්ධවෙන අද්භූත මිනීමැරුම් දාමයක් වටා තමයි මේ චිත්‍රපට කතාව ගෙතෙන්නෙ. මිනීමරුවා කවුද කියන එක හෙළිදරවු වෙන්නේ හරියටම චිත්‍රපටයේ අවසාන ජවනිකාවෙදි. හැබැයි ඒ හෙළිදරවුව එන්නේ තවත් ලොකු ෂොක් එකකුත් එක්කයි.
2. Twentynine Palms (2003)

Image Source – giphy.com
ට්වෙන්ටි නයින් පාම්ස් කියන්නේ වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ඇතුළේ වැඩි දෙයක් සිද්ධ වෙන්නේ නැතිම තරමයි. ඩේවිඩ් කියන ඡායාරූප ශිල්පියාත් එයාගෙ පෙම්වතියත් යන චාරිකාවක් තමයි චිත්‍රපටය පුරාම පෙන්වන්නේ. මේ දෙන්නා වාහනේ ගමන් කරන ජවනිකා, කතා කරන, ප්‍රේමාලිංගනයේ යෙදෙන ජවනිකා හැරුණම නිශ්චිත කතා තේමාවක් චිත්‍රපටයේ දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි ඒ විදිහට ඇදීගෙන යන කතාවට නොසිතන විදිහේ වෙනසක් ගේන්න අවසාන මිනිත්තු කීපය සමත් වෙනවා. නිවීහැනහිල්ලේ චිත්‍රපටය නරඹාගෙන ආපු ප්‍රේක්ෂකයන්ව භීතියට පත් කරන්න පුළුවන් විදිහේ, ඔබ කිසිදා නොහිතන විදිහේ අවසානයක් තමයි මේ චිත්‍රපටයට තියෙන්නෙ.
3. Saw (2004)

Image Source – giphy.com
2004 දි ආපු ‘සෝ’ චිත්‍රපටය එතෙක් පැවති හොල්මන් චිත්‍රපට කලාවට අලුත් මානයක් එක් කරපු සුපිරිම චිත්‍රපටයක්. මේ වෙද්දි සෝ ෆ්‍රැන්චයිස් එකේ චිත්‍රපටි 8ක්ම හැදිල තියන එකෙන්ම හිතාගන්න පුළුවන්නෙ මේකෙ ජනප්‍රියත්වය. හැබැයි ඉතින් පළමු සෝ චිත්‍රපටයට අලගු තියන්නවත් පස්සෙ හැදුණු ඒවට බැහැ. සිහිසුන්ව ඉඳලා, හිටිහැටියේ කාමරයක් ඇතුළේදී අවදි වන ආගන්තුකයින් දෙන්නෙක්ට නන්නාදුනන පුද්ගලයෙක් හරහා නොයෙකුත් වැඩ සම්පූර්ණ කරන්න අණ ලැබෙනවා. අභිරහස්, පටලැවිලි අතරින් එන්න එන්නම උද්වේගකර වෙන චිත්‍රපටයේ කථාව අවසන් වෙන්නේ නරඹන්නන්ට ජීවිතේට අමතක නොවෙන සර්ප්‍රයිස් එකක් දීලයි.
4. Identity (2003)

Image Source – giphy.com
කුණාටු වැහි සහිත රාත්‍රියක මොටෙල් එකක් ඇතුළෙ කොටුවෙන ආගන්තුකයො පිරිසක් වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ. හිටි හැටියේ මේ අය අතරින් එකා දෙන්නා අභිරහස් විදිහට මරා දැමෙන්න පටන් ගන්නවා. කවුද මේ මිනීමැරුම් කරන්නේ කියලා ප්‍රේක්ෂකයාව අභිරහස් ගාලක පටලවන විදිහේ චිත්‍රපටයක් තමයි අයිඩෙන්ටිටි. අවසානයේදී කවුරුත් නොහිතපු විදිහේ මිනීමරුවෙක්ව හෙළිදරවු කිරීමත් එක්ක චිත්‍රපටය නිමාවෙන්නේ මතක හිටින විදිහේ අවසානයක් ප්‍රේක්ෂකයන් හමුවේ තබලායි
5. The Usual Suspects (1995)

Image Source – giphy.com
මංකොල්ලකෑම් සහ මිනීමැරුම් සිද්ධි දාමයක් ගැන පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමකට අපූරු නමක් ගැන අහන්න ලැබෙනව. ඒ තමයි ‘කයිසර් සෝසෙ.’ කයිසර් සෝසෙ කියන්නේ භයානක පාතාල නායකයෙක්. මේ පුද්ගලයා ගැන තොරතුරු පොලිසියට හෙළිදරවු කරන්නෙ වර්බල් කින්ට් නැමැති තවත් අපරාධකාරයෙක්. පොලිසිය සහ වර්බල් කින්ට් අතර ඇතිවෙන දෙබස් තුළින් තමයි චිත්‍රපටයේ කතාව ගොඩනැගෙන්නේ. කවුද කයිසර් සෝසේ කියන එක ප්‍රේක්ෂකයාට දැනගන්න ලැබෙන්නේ චිත්‍රපටයේ අවසාන සීන් එකෙන් තමයි. ඒක අමතක නොවෙන සීන් එකක්.
6. The Game (1997)

Image Source – miscrevs.wordpress.com
සල්ලිකාර බැංකුකරුවෙක් තමන්ගේ මල්ලිගෙන් ලැබෙන ආරාධනාවක් හින්දා ගේම් එකකට ලියාපදිංචි වෙනවා. හැබැයි ටික දවසක් යද්දි මෙයාට සැක හිතෙනවා මේක විනෝදෙට කරන ගේම් එකකට වඩා තමන්ගෙ ඇත්ත ජීවිතෙත් එක්ක කරන සෙල්ලමක්දෝ කියලා. මේ සැකය ඒ පැත්තට මේ පැත්තට දෝලනය වෙන එක චිත්‍රපටයේ අවසානය තෙක්ම සිදුවෙනවා. පොඩි පොඩි අවුල් තැනක් දෙකක් තිබ්බත්, ගේම් චිත්‍රපටයත් අපිට අමතක කරන්න බැරි විදිහේ අවසානයක් සහිත චිත්‍රපටයක්.
7. The Prestige (2006)

Image Source – deviantart.com
දක්ෂ මැජික් ශිල්පියො දෙන්නෙක්ගේ ගැටුමකින් සමන්විත ‘ද ප්‍රෙස්ටීජ්’ චිත්‍රපටය 2000 ගණන් වලින් පස්සේ බිහිවුණ හොඳම චිත්‍රපටයක් හැටියට අපිට සඳහන් කරන්න පුළුවන්. කාලයක් හොඳම යාළුවො හැටියට හිටපු මැජික් ශිල්පියො දෙන්නෙක් එක්තරා අවාසනාවන්ත අනතුරක් නිසා ලොකුම ප්‍රතිවාදියො බවට පත්වෙනවා. එකිනෙකාව අභිබවා යන්න කියලා මේ දෙන්නා යන්නේ කිසිවෙක් නොසිතන දුරක්. ඒ දුර කොයිතරම්ද කියලා නරඹන්නන්ව විශ්මයට පත්කරන්න සමත්වෙන බලවත්ම සිදුවීමකින් තමයි චිත්‍රපටයේ අවසානයත් සිද්ධ වෙන්නෙ.
8. Ugly (2013)

Image Source – madaboutmoviez.com
2013 දී තිරගත කරපු ‘අග්ලි’ චිත්‍රපටය අනුරාග් කාශ්‍යප්ගේ අධ්‍යක්ෂණයක්. කුඩා දැරියෙක්ගේ පැහැරගැනීමක් පාදක කරගෙන තමයි මේ චිත්‍රපට කතාව හැදෙන්නේ. දැරියව පැහැරගත් අයව සොයාගැනීමට පොලිසිය යොදන උපක්‍රමත්, දැරියගේ ජීවිතයට සම්බන්ධ අයගේ ජීවිත වල සිදුවෙන හැල හැප්පීම් එක්කත් චිත්‍රපටි කතාව ගලාගෙන යන්නේ මිනිස් සම්බන්ධතා වල ස්වභාවය ගැනත් අපූරු කතාවක් කියමින්. දැරියගේ පැහැර ගැනීම සම්බන්ධ අභිරහස චිත්‍රපටය අවසානයේදී විසඳෙනව. හැබැයි ඒක විසඳෙන්නෙ ලොකු කම්පනයක් අපේ හිතේ ඇති කරලයි.
9. Se7en (1995)

Image Source – hcmoviereviews.wordpress.com
අපි මේ ලැයිස්තුවෙ කළින් කියපු ‘ද ගේම්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු ඩේවිඩ් ෆින්චර් තමයි මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරන්නේ. සීරියල් කිලර් කෙනෙක් පසුපස්සේ හඹායන රහස් පරීක්ෂක දෙපළක් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක. කිතු දහමේ සඳහන් වන මරණීය පාප හත සිහිගන්වමින් මිනී මැරුම් කරන මේ මිනීමරුවාගේ උත්සාහය වෙන්නේ මිනීමැරුම් 7ක් කරන්නයි. ඊට කළින් පොලිස් අත්අඩංගුවට ඔහුව පත්වුණත්, ඔහු අදිටන් කරන් ඉන්න අවසාන මිනීමැරුම් කීපය කරන්න ඒක බාධාවක් වෙන්නේ නැහැ. චිත්‍රපටයේ අවසානයේදි සිද්ධ වෙන හයවැනි සහ හත්වැනි මිනීමැරුම් නිසා, හොලිවුඩ් සිනමා ඉතිහාසයේ අමතක නොවෙන චිත්‍රපට අවසානයක් බවට මේ චිත්‍රපටය පත්වෙනව.
10. The Mist (2007)

Image Source – giphy.com
ද මිස්ට් චිත්‍රපටය අවසානයේදී දැනෙන ‘අයියෝ!’ කියල හිතෙන හැඟීම දන්නේ ඉතින් මේ චිත්‍රපටය නරඹපු කෙනෙක්ම තමයි. ඒ තරම්ම අමතක නොවෙන විදිහේ අවසානයක් ‘ද මිස්ට්’ චිත්‍රපටය සතුයි. කුණාටුවක් එක්ක එන ඝණ මීදුමක් එක්තරා නගරයක් වසා ගන්නවා. මේ මීදුම අස්සෙ හැංගිලා එනවා අමුතුම විදිහේ මිනීමරු ජීවීන් කොට්ඨාසයක්. මේ ජීවීන්ගෙ ප්‍රහාර වලට බියෙන් පිරිසක් සුපර් මාර්කට් එකකට වෙලා ආරක්ෂිතව ඉන්න උත්සාහ කරනවා. ක්‍රම ක්‍රමයෙන් තර්ජනය දැඩි වෙද්දි, මෝටර් රථයක නැගිලා පිරිසක් පළා යනව. ඒ පළායාම කෙළවර වෙන්නේ නොසිතන විදිහේ අවසානයක් ප්‍රේක්ෂකයාට තිළිණ කරලයි.
Cover Image Source – inverse.com/horrordvds.com
Leave a Reply