දෑස, දෙතොල, වරලස වගේම කාන්තාවකගේ සුන්දරත්වය ඔප්නංවන තවත් දෙයක් තමයි නියපොතු කියන්නේ. කතාවක් තියෙනවා ඇත්තටම කෙනෙක්ගේ පිරිසිදුකම දැනගන්න ඕන නම් එයාගේ කකුලේ නියපොතු දිහා බලන්න කියලා. මොකද ගොඩාක් දෙනා ලස්සන කරන්න උත්සාහ කරන්නේ මුහුණ සහ අඳින පළඳින දේ නිසා ඒ දේවල් කොහොමත් අලංකාරයි. ඉතින් නියපොතු වලට අවධානයක් නොදී හැරියොත් මුහුණ කොපමණ අලංකාර කරගත්තත් ඒ සුන්දරත්වයෙන් පලක් නැතුව යනවා. නියපොතු කියන්නේත් ඒ තරම්ම අවධානයක් දිය යුතුම අංගයක්. නියපොතු පුද්ගලයෙකුගේ සෞඛ්‍යය කියාපාන කැඩපතක් වගෙයි. ලස්සන, පිරිසිදු නිය, ළඳකට ආභරණයක් බඳුයි. ඒ වගේමයි අපිරිසිදු නිය විෂබීජ ආකරයක් බඳුයි. ඉතින් අද අපි කතා කරන මේ කරුණුත් නියපොතු අලංකාරව තියාගන්න කැමති අපේ ආදරණීය යෙහෙළියන්ට ගොඩාක් වැදගත් වේවි…
1. මොයිස්චරයිසර් ක්‍රීම් ආලේප කරන්න
කාන්තාවෝ නිතරම වගේ දෑත් සෝදන කණ්ඩායමක් නිසා හරි ඉක්මනට දෑත් වියලි බවට පත්වෙනවා. ඒ වගේමයි රෙදි සෝදන කුඩුවර්ග, සබන් වර්ග, කුස්සියේ භාවිතාවෙන පිරිසිදුකාරක නිතර දෙවේලේ අතේ ගෑවෙන විට ඒ මගින් නියපොතුවලටත් සිදුවන්නේ හානියක්. ඒ නිසාම දෑතේ මෙන්ම නියපොතුවලත් තෙතමනය රඳවා ගැනීමට මොයිස්චරයිසර් ක්‍රීම් හෝ ඒ වෙනුවෙන් ඇති තෙල් වර්ගයක් ආලේප කිරීම වඩාත් සුදුසුයි. සෑම අත් සේදීමකට පසුව මෙසේ ආලේප කරන්න පුළුවන්නම් කදිමයි. පොල් තෙල් කියන්නේ ඔබේ නියපොතු මෙන්ම නියමහත් රැකදෙන හොඳම ආලේපනයක්.
2. රබර් ග්ලවුස් දෙකක් භාවිතා කරන්න
ලස්සන කියන්නේ කෘත්රීමව අපි ළංකර ගන්නා ලස්සනට වඩා අපේ ස්වභාවික සුන්දරත්වයෙන් පිළිඹිබු වෙන ලස්සනට. නිය ආලේපන වලින් නියපොතු අලංකාර කරගන්න පුළුවන් තමයි. නමුත් ස්වභාවික නිය රැකගෙන සරළ, පිරිසිදු, ලස්සන නිය පෙළක් පවත්වාගෙන යන්නත් ඔබට පුළුවන්. අපේ ශරීරයේ වෙනත් අවයව සමග ගත්තම දෑත කියන්නේ නිතරම යමක් හා ගැටෙන අවයවය. මේ නිසා අපේ නියපොතු හැමදෙයටම නිරාවරණය වන ප්‍රතිශතය වැඩියි. පිරිසිදුකාරක, ඖෂධ, රූපලාවන්‍ය ද්‍රව්‍ය, කෘමිනාෂක වගේම අධික ජලය ආශ්‍රිතව කටයුතු කිරීම (කෘෂිකාර්මික රැකියා) වැනි නොයෙකුත් හේතු නිසා අපේ නියපොතු වලට හානි වෙන්න පුළුවන්. ඉතින් රබර් ග්ලවුස් දෙකක් පැළඳගෙන මේ කටයුතු කරන්න යොමු වෙන එක නිය ආරක්ෂා කරගන්න කදිම විසඳුමක්.
3. ඔබ කොපමණ වාර ගණනක් නියපොතු ඔපමට්ටම් කිරීම හෝ නියපොතු කපා දැමීම කළ යුතුද?
නියපොතු දිගට වැවීමට ඔබට අදහසක් නැත්තම් සතියකට වරක්වත් ඔයාගේ නියපොතු කපන්න හෝ ඔපමට්ටම් කරන්නට මතක තබා ගන්න. මොකද එසේ කිරීමෙන් ඔයාගේ නියපොතුවලට ශක්තිමත් බවක් ලැබෙනවා. ඒ වගේමයි ඔයාගේ එදිනෙදා අවිවේකී බව එක්ක ඔයාගේ නියපොතු වෙනුවෙන් අවධානය දෙන්නට ඔයාට හැකියාවක් නැත්නම්, ඔයාගේ ජීවන රටාව දිගු නියපොතු සමඟ සසැඳෙන්නෙ නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ නියතුඩේ ප්‍රමාණයට නියපොතු කෙටි කරන්න. ස්නානය කිරීමෙන් අනතුරුව හෝ නියපොතු ජලයේ පොඟවා ගැනීමෙන් අනතුරුව නියපොතු කපනවා නම් ඔබට අවශ්‍ය පිළිවෙළට නියපොතු ඉතා පහසුවෙන් කපා ගැනීමට හැකියි.
4. ඔබේ නියමහ රැකගන්න
නියපොතු කපන හෝ අලංකාර කරනු ලබන කිසිම අවස්ථාවක ඔබේ නියමහට හානිවීමට ඉඩ නොතබන්න ඔබ වග බලා ගන්න ඕන. නියමහ කියන්නේ බැක්ටීරියා සඳහා වූ බැරියර් එකක් වගේ. ඉතින් නියමහට හානි වුනොත් එහෙම නම් වේදනාකාරී ආසාදන තත්ත්වයක් ඇතිවෙන්නත් පුළුවන්. ඔබට ඉතා සීරුවෙන් හා මනා ඉවසීමෙන් යුතුව නියමහ ආශ්රිත සම Cuticle Pusher එකක් භාවිතයෙන් සකසාගන්නත්, මැරුණ සම පමණක් ඉතාම ප්‍රවේසමෙන් ඉවත් කරගන්නත් පුළුවන්.
ඒ වගේමයි නියමහ අවට තෙතමනය රඳවා ගැනීමත් ඉතා අවශ්‍යයි. එසේ නොවුනොත් වියළී ඉරිතැලී ඒ අවට සම ගැලවෙන්නට පටන් ගන්න පුළුවන්. හොඳින් ජලය පානය කිරීමත්, තෙතමනය රඳවන ආලේපනයක් භාවිතා කිරීමත් ඔබට මේ සඳහා විසඳුමක් ලෙස කළ හැකියි.
5. ඔබේ නියපොතු ශක්තිමත් කරන්න
නියපොතු කැපූ පසු හෝ ඔපමට්ටම් කළ පසු Fortifying තෙල් හෝ ඔලිව් තෙල් බිංදු කිහිපයක් හෝ ලෙමන් පෙති දැමූ උණුසුම් ජලය අඩංගු භාජනයක් තුළ විනාඩි පහක් ඔබේ දෑත් දමාගෙන සිටින්න. ලෙමන් මඟින් ඔබේ නියපොතු පිරිසිදු වෙනවා පමණක් නොව, ඒවා ශක්තිමත්ද වෙන බව ඔබ දැන සිටියාද? ඉන්පසුව දෑත් හොඳින් පිසදා, වියළා Fortifying ක්‍රීම් හෝ ඔලිව් තෙල් ආලේප කරන්න. අනතුරුව ඔබේ නියපොතුවල වැඩි ආරක්ෂාව සඳහා ගුණාත්මක, තත්ත්වයෙන් උසස් වර්ගයේ නියාලේපනයක් ආලේප කර, වැඩි ආරක්ෂාවක් හා වැඩි ප්රතිවිරෝධී බවක් ඇතිකරගත හැකියි. ඒ වගේමයි හොඳ ශක්තිමත් නියපොතු අවශ්‍ය නම් ඔබ කිසිදාක නියපොතු හැපීමේ පුරුද්ද නම් නොකළ යුතුයි.
6. උසස් තත්ත්වයේ නියාලේපන හා නියාලේප ඉවත් කිරීම් භාවිතා කරන්න
නියාලේපන වල අඩංගු වෙන හානිකර රසායනික ද්‍රව්‍ය නිහඬවම ඔබව රෝගී කරවන්නට පුළුවන්. ඉඳලා හිටලා නියාලේපන ගල්වන කාන්තාවන්ට වඩා නිතරම නියාලේපන ගල්වන කාන්තාවන්ට මෙහි ඇති අවදානම ඉහළයි. Dibutyl Phthalate, Toluene, Formaldehyde, Formaldehyde Resin සහ Camphor කියන රසායනික පහ ඉතාම අහිතකර රසායනික ලෙස නම් කර තියෙනවා. මෙම රසායනිකයන්ගෙන් මිදී හැකි තරම් කාබනික නියාලේපන (Organic Nail Polish) භාවිතා කිරීමට උත්සහ දැරීම ඉතා වැදගත්.
ඒ වගේමයි බොහෝ ක්යුටෙක්ස් රිමූවර් වලත් Formaldehyde, Toluene, Phthalates වැනි අහිතකර රසායනික අඩංගු වෙනවා. මේ රසායනිකයන් පිළිකා, ඇදුම වැනි රෝග තත්ත්ව මෙන්ම ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතවත් ගැටළු ඇති කරවන්නට හේතු වෙනවා. රිමූවර් වල අඩංගු තවත් රසායනිකයක් තමයි ඇසිටෝන්. ප්ලාස්ටික් දියකිරීමේ හැකියාවක් සහිත ඉතාම භයානක රසායනිකයක් තමයි මේ. Acetone-free රිමූවර් ඔබට වෙළඳපලේ ඕනෑ තරම් සොයාගැනීමට තියෙන නිසා මිලදී ගැනීමට පෙර අන්තර්ගත රසායනික ද්‍රව්‍ය මොනවාද කියලා කියවලා බලන්න අමතක කරන්න එපා.
7. හොඳින් ජලය පානය කරන්න, සමබල ආහාර වේලක් ගන්න
බාහිරින් අපි කරන දේවල් වගේම ශරීර අභ්‍යන්තරයට අපි ලබාදෙන දේත් ඉතාම වැදගත්. හොඳින් ජලය පානය කර ශරීරය වියළීමෙන් වළක්වා ගැනීම නියපොතු වලට පමණක් නොවෙයි, සෑම අතින්ම වැදගත්. ඒ වගේමයි පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගන්න. ඔමේගා 3 මේද අම්ල, විටමින් බී, සින්ක්, යකඩ, කැල්සියම්, විටමින් B සහ H අඩංගු ආහාර ඔබේ නියපෙළේ සුන්දරත්වයට ඉතාම වැදගත්.
Cover Image Source – sammysoap.com/.saga.co.uk/nailsplash.com
Leave a Reply