අතල් ජී යනුවෙන් ඉන්දියාවේදී හැඳින්වෙන අතල් බිහාරි වජ්පායි, ඉන්දීය අග්‍රාමාත්‍යවරුන් අතර මුල් පෙළේ කියවෙන නමකි. භාරතීය ජනතා පක්ෂය හරහා තරමක් හින්දු ආගම්වාදී මූලයකින් පැමිණියද අතල් ජී ආගම්වාදියෙකු වූයේ නැත. අනූව දශකයේදී නරසිංහ රාඕ කොන්ග්‍රසය හරහා දියත්කළ වෙනස්කම් ඉදිරියට ගෙනගොස් නවීන ලෝකය හා පෑහෙන නව ඉන්දියාවකට නායකත්වය දීමට අතල් බිහාරි වජ්පායිට හැකි වුණි.
1. අතල් ගේ දේශපාලන ආගමනය
1957 දී කොංග්‍රසයට විරුද්ධ භාරතීය ජන සේනා හරහා පාර්ලිමේන්තුවට තේරීපත්වුන වජ්පායි, සහශ්‍රයේ මුල් දශකය දක්වාම නොකඩවා ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජනය කළේය. “වරක් නේරු මහත්මයා රජයෙන් හෝටල් හදමු කිව්වාම මම ඒකට විරුද්ධ වෙලා අපි රෝහල් හදමු කිව්වා. එතකොට නේරු මහත්තයා මගේ දිහා මේ කවුද මේ නවක මන්ත්‍රී කියල වගේ බලලා, අපි හෝටල් හදලා ඒ එන සල්ලි වලින් රෝහල් හදමු කිව්වා. ඒත් අදටත් ඒ හදපු හෝටල් රජයට පාඩුයි. ඒත් මම කිව්ව විදියට එදා රෝහල් හැදුව නම් අද දහස් ගාණකට සහනය ලැබිලා.” අතල් ජී නේරු සමග කළ කුඩා විවාදයක් ගැන මාධ්‍යයට පසුව අදහස් දක්වා තිබුණේ එසේය. නිදහස් ඉන්දියාවේ කොන්ග්‍රසයෙන් බැහැරව පත්වූ, ධූර කාලයක් සම්පූර්ණ කළ මුල්ම අගමැතිවරයා බවට පත්වූයේ භාරතීය ජනතා පක්ෂයේ අතල් බිහාරි වජ්පායිය. ඔහුගේ සහ අද්වානිගේ භාරතීය ජනතා පක්ෂය 1990 දශකයේදී කොංග්‍රසයට තිබූ බලය සොලවන අයෝමය බලයක් විය.
2. යෞවන කාලයේදී දේශපාලනයට අත් පොත් තැබීම
අතල් බිහාරි වජ්පායි උපතින්ම බ්‍රාහ්මණ කුලයේ අයෙකි. බ්‍රාහ්මණයෝ මස් කෑම සහ මත්පැන් ප්‍රතික්ෂේප කළත්, වජ්පායි ගේ සමීපතමයින් කියන පරිදි ඔහු කෙබාබ් කමින් විස්කි බොන්නට ආශා කළ හොඳ කන බොන මිනිහෙක් විය. දේශපාලනය, හින්දි සහ සංස්කෘත භාෂාවන් විශ්ව විද්‍යාල මට්ටම දක්වා හැදෑරූ වජ්පායි, කාන්පූර් හි ඩී. ඒ. වී කොලේජ් මගින් දර්ශනපති පළමු පෙළ උපාධියක් ලබාගත්තේය. ඔහු ග්වේලියර් නැමැති බිහාරයේ ආර්ය සමාජය නැමැති සංගමයේ 1940 ගණන්වලදී ක්‍රියාකාරී සාමාජිකයෙකු විය. වජ්පායි පසුකලෙක කියන පරිදි ඔහු දක්ෂ කවියෙකු වීමට සිහින දුටු අයෙකි. ඔහුගේ කතාවන් තුළදීද ඔහු කවියෙන් අදහස් ප්‍රකාශ කිරීමට දක්ෂයෙක් විය. මුල් තරුණ අවදියේම පාර්ලිමේන්තුවේ දැක්වූ අදහස් හේතුවෙන් මොහු කවදා හෝ ඉන්දියාව පාලනය කරන්නේ යැයි ජවහල්ලාල් නේරු ද වජ්පායි ගැන උදාන වාක්‍ය කියා තිබුණි.
3. විදේශ කටයුතු
චීනය සහ පාකිස්ථානය කෙරෙන් බොහෝ කාලයක් වෙන් වී සිටි ඉන්දියාව නැවත ඒ රටවල් සමග හිතමිතුරු වන්නට වජ්පායි ගේ විදේශ ප්‍රතිපත්තිය හේතු විය. එසේම නිදහසින් පසු මහා යුද්ධ 4කට තුඩුදුන් කාශ්මීර ප්‍රශ්නයට වජ්පායි දුන් විසඳුම පාකිස්ථානය හා සම්මුතිවාදීව කළ ප්‍රවේශයක් විය. එහෙත් දේශපාලන දිවි මගේ බොහෝ කලක් හිතමිත්‍රයාව සිටි, තරමක් දැඩි හින්දු මතධාරී එල් කේ අද්වානිගෙන් පවා කාශ්මීර ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් දීම කෙරෙහි වූයේ විරෝධයකි. කෙසේ වෙතත් වජ්පායි ධූර කාලය තුළ පාකිස්ථානයේ හමුදා පාලනයක් තිබුනද එහි නායක වූ පර්වේස් මුෂාරෆ් අග්‍රා වලට රැගෙන විත් සාකච්ඡා කරන්නට වජ්පායි රජයට හැකි විය.
4. විද්‍යාව සහ තාක්ෂණයෙන් මුලට ගැනීමට කළ මැදිහත් වීම
ලංකාව සංවර්ධනය නොවූ රටක් ලෙස සැලකූ විට අධ්‍යාපනයට යම් වැඩිමිලක් රටේ ජාතික ආදායමින් වෙන්කරනු ලබයි. එහෙත් අප රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් විද්‍යාව තාක්ෂණය සහ නව සොයාගැනීම් වෙනුවෙන් වෙන් කරන්නේ මුළු ජාතික ආදායමෙන් 0.14%ක් තරම් සුළු අගයකි. අතල් බිහාරි වජ්පායිගේ සමයේදී ඉන්දියාවේ පර්යේෂණ සහ තාක්ෂණය සඳහා රජයෙන් වියදම් කරන මුදල ජාතික ආදායමෙන් 1.6% දක්වා වැඩි කර, තාක්ෂණය සහ අලුත් නිමැවුම් වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් කරන්නට ඔහු ක්‍රියාකළේය. එසේම ඔහුගේ ධූර කාලයකදී ඉන්දියාවේ රොකට් මිනිහා ලෙස ප්‍රචලිත ආචාර්ය අබ්දුල් කලාම් ජනාධිපති ලෙස පත් කරගත්තේය. ඉන්දියාව පෙර නොවූ විරූ ලෙස රොකට් තාක්ෂණයෙන් සහ පරමාණුක බලයෙන් සවිමත් වූයේ අතල් බිහාරි වජ්පායි ගේ සමයේදීය.
5. වජ්පායිගේ තාක්ෂණික දායකත්වය
ජාතික ටෙලිකොම් සම්මුතියක් 1999 දී ගෙන ආ වජ්පායි රජය, ටෙලිකොම් ක්ෂේත්‍රය තුළ වර්තමාන ඉන්දියාවේ ඇති වී ඇති ප්‍රගතියට දායක විය. මෙම ක්ෂේත්‍රයේ දැනට ඉන්දියාවේ ටෙලිකොම් ප්‍රමුඛයා වන භාරතීය එයාටෙල් හි අධිපතිතුමාම පවසන පරිදි වජ්පායිගේ ටෙලිකොම් සම්මුතීන් පසුකලෙක ඉන්දියානු ටෙලිකොම් ක්ෂේත්‍රයේ දියුණුවට හේතු වී තිබේ.
ඔහුගේ ධූර කාලය රොකට් තාක්ෂණය සහ පරමාණුක තාක්ෂණය යන අංශ දෙකෙන්ම පර්යේෂණ වලට දිරි ලැබුණු කාලයකි. ලොව සයවැනි න්‍යෂ්ටික බලවතා ලෙස ඉන්දියාවට කිරුළු පළඳමින් පොක්රාන් 2 රොකට්ටුව 1998 දී ගුවන් ගත කිරීමට වජ්පායි සමයේදී අවස්ථාව ලැබුණි. එකල පාකිස්ථානය සමග තිබූ විරසක තත්ත්වයන් සමනයට දේශපාලනික අතින් සාකච්ඡා ආදිය පැවැත්වීම එක් පසෙකිනුත්, සීතල යුද්ධයක් ලෙස අනෙක් පසින් න්‍යෂ්ටික පරීක්ෂණ ආදියත් රටවල් දෙකේම පැවැත්වුණි. එහෙත් කෙසේ හෝ ඉන්දියාවේ රොකට්ටුව කලින් යැවීමට වජ්පායි ඇතුළු එවකට ඉන්දියානු රජය සමත් විය.
6. චන්ද්‍රයාන් ව්‍යාපෘතිය
සැබැවින්ම වජ්පායි යනු දක්ෂ කථිකයෙකි, කවියෙකි. ඔහු උපාධියට හැදෑරූ විද්‍යාවක් වී නම් ඒ සංස්කෘත සහ හින්දු දහම විය. එහෙත් වජ්පායිගේ තාක්ෂණික දැක්ම සඳ තරණය දක්වා දිව ගියේය. 2008දී ඉන්දියාව චන්ද්‍රයා ගවේෂණයට යැවූ චන්ද්‍රයාන් 1 යානාව දකුණු ආසියාතික රටක් ලෙස අපිටද ආඩම්බරයක් එක් කළ මෙහෙයුමකි. එනම් අපට අසල්වැසි ඉන්දියාව ලෝකයේ චන්ද්‍ර ගවේෂණයට යානාවක් යවා පර්යේෂණ කිරීමට තරම් දියුණු රටක් විය. එම ව්‍යාපෘතියද අතල් බිහාරි වජ්පායි සමයේ ආරම්භ කළ ව්‍යාපෘතියකි.
7. ආර්ථික දායකත්වය
වජ්පායි දැඩි ආගමික පදනමක් ඇති පාර්ශවයකින් බලයට පැමිණියද ඔහුගේ ආර්ථික දැක්ම සවිමත් එකක් විය. කොංග්‍රසයේ නරසිංහ රාඕ විසින් සිදුකළ ඉන්දියානු වෙළඳපොල සවිමත් කිරීමේ ක්‍රියාවලියට වජ්පායිද පසුකලෙක නිසි පරිදි නායකත්වය සැපයීය. ඔහුගේ කාලය තුළ 1999 කාර්ගිල් යුද්ධය, 1999-2000 ඇති වූ සුළි සුළං, 2001 බිහාර් භූමිකම්පාව, 2003 දරුණු නියංසාය සහ 2003 දී තෙල් මිල ඉහළයෑමට මුහුණ දීමට සිදුවිය. එහෙත් ඒ සියලු කඩාවැටීම් ඇදවැටීම් මධ්‍යයේද ඉන්දියානු ආර්ථිකයේ සැබෑ 8%ක වර්ධනයක් පවත්වාගන්නට වජ්පායි ගේ නායකත්වය සහිත රජයට හැකි විය.
වජ්පායි ප්‍රබල කථිකයෙක් කවියෙක් වුවද ඔහු සාපේක්ෂව විරුද්ධ පක්ෂයට, විරුද්ධවාදීන්ට වාචාල ලෙස බැනවදින්නෙක් නොවීය. ඔහුගේ කතාවන් සෑමවිටම ගරු කළ යුතු අයට ගරු කරන කතාවන් විය. අතල් බිහාරි වජ්පායි 2018 අගෝස්තු 16 වෙනිදා සදහටම ලොවෙන් සමුගත් අතර, එ් මරණය වර්තමාන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේද හද සසල කරවන්නක් විය. වජ්පායිගේ දේශපාලන දිවි මගෙහි නිරන්තර සගයා වූ එල්. කේ. අද්වානි අවමංගල පණිවුඩයේ කියා සිටියේ “මගේ උත්තරීතර මිතුරාගේ අවමංගල කතාව කරන්නට මට අවස්ථාවක් ලැබේ යැයි මා කිසිවිටෙක සිතුවේ නැහැ” යනුවෙනි. වජ්පායි යනු ඉන්දියාවට අගමැතිවරයෙක් නොවේ. ඔහු වර්තමාන ලෝක බලවතකු ලෙස නැගිටින ඉන්දියාවට මේ සහශ්‍රය මුලදී බලය සැපයූ යෝධයෙකි.
Cover Image Source – phytosynthese.com / blog.oxforddictionaries.com
Leave a Reply