ඔයා ඇඳන් ඉන්නෙ හරිම බ්‍රා සයිස් එකද? ඒක දැනගන්න නම් මේක කියවල බලන්න

Triumph Lanka

බ්‍රා එකක් කියන්නෙ කාන්තා අපිට නැතුවම බැරි අත්‍යාවශ්‍ය ඇඳුමක්. වැඩිවිය පැමිණුනාට පස්සෙ ඉඳන්ම අඳින්න ගන්න මේ බ්‍රා එක ජීවිත කාලයක්ම සමහරු අඳින්නෙ වැරදි සයිස් එකෙන් කියල කිව්වොත් ඔබ පුදුම වෙනවද? ලංකාවෙ නෙවෙයි ලෝකයේම කාන්තාවන්ගෙන් 85%ක පමණ ප්‍රමාණයක් අඳින්නෙ නිවැරදි බ්‍රා සයිස් එක නෙවෙයි. අද අපි ඔබට කියන්න හදන්නෙ කොහොමද ඔබේ සිරුරේ හැඩයට ගැලපෙනම බ්‍රා එක තෝරගන්නෙ කියල. හිමින් සීරුවේ කියවල බලන්නකො, බ්‍රා සයිස් එක හොයාගන්න එක රොකට් සයන්ස් නෙවෙයි 😉

 

1. නිවැරදි බ්‍රා සයිස් එකක් නොඇඳීමෙන් වෙන්නෙ මොකක්ද?

Triumph Lanka

Image Source – fmgnewz.blogspot.com

නිවැරදි බ්‍රා සයිස් එක නොඇඳීමෙන් පෙනුමට වඩා හානියක් ඔබේ සෞඛ්‍යට වෙන්න පුළුවන්. ස්නායු, නහර සහ වසා ගැටිති සිරවීමෙන් පියයුරු වල වේදනාවක් ඇති වෙන්න පුළුවන්. කාලයත් සමඟ නොයෙක් අතුරු ආබාධ ඇති වෙන්නත්, ගැටිති, කැපුම් තුවාල, දද සහ කුශ්ට රෝග මතු වීමටත් හැකියාවක් පවතිනව. මීට අමතරව වැරදි බ්‍රා සයිස් එකක් ඇඳීමෙන් ඔබේ ඉරියව් වලට වැරදි විදියට බලපෑම් එල්ල කරනව. ඒ මඟින් කල්යත්ම කොඳු ඇට පෙළේ ආබාධ ඇති වෙන්න පුළුවන්.

පමණට වඩා බුරුල් බ්‍රා එකක් ඇඳීමෙන් පියයුරු එල්ලා වැටීම වෙන්න පුළුවන්. තද බ්‍රා ඇඳීමෙන් පියයුරු පිම්බිලා ඉස්සිලා පෙනීම, පිට පැත්තෙන් තද වී ඉලිප්පී පෙනීම, අත් වලට යටින් පියයුරු පිටට පැන තිබීම වෙන්න පුළුවන්. මේ විදියට පෙනෙන එකෙන් අපි උඩින් මොන තරම් වටිනා ලස්සන ඇඳුමක් ඇන්දත් ඒකෙ පෙනුම නැති වෙලා යනව.

 

2. ඒ කාලෙ සයිස්මද තාම අඳින්නෙ?

Triumph Lanka

Image Source – Triumph Lanka

අවුරුදු දාහතරෙන් පහලවෙන් අඳින්න ගන්න බ්‍රා සයිස් එක අඳින්න බැරි තරමට හිර වෙනකම්ම හුඟක් යුවතියන් වෙනස් කරන්නෙ නෑ. වයසත් එක්ක, කාලයත් එක්ක ඔබේ සිරුරේ හැඩය වෙනස් වෙනව. ඊට අනුකූලව බ්‍රා සයිස් එක වෙනස් කරගැනීම අනිවාර්යයයි. ඇඟේ බර අඩු වැඩි වීමට සාපේක්ෂව බ්‍රා සයිස් එක වෙනස් වෙනව. අනිත් කාරණය නම්, ඔබගේ හෝමෝන වෙනස්වීමත් සමඟම බ්‍රා සයිස් එක වෙනස් විය හැකි බැවින් සෑම මාස 6කට වරක්ම තම සයිස් එක මැනගෙන නිවැරදි බ්‍රා එක තෝරාගන්න එක වැදගත්. මේ ආකාරයට නිතරම ඔබ අඳින බ්‍රා එක ඔබේ සිරුරට ගැලපෙන ප්‍රමාණයෙන් ගැනීමට මතක තබා ගන්න.

 

3. කොහොමද මනින්නෙ?

Triumph Lanka

Image Source – youtube.com

මනින්න කලින් ඔයා ළඟ තියෙන වඩාත් තදත් නැති බුරුලුත් නැති බ්‍රා එකක් ඇඳල අත්පටි එජෙස්ට් කරගෙන, පියයුරු සෘජුව හිටින විදියට සකසා ගන්න. දැන් මනිමු.

  • මුලින්ම පියයුරු වලට පහළින් ඉල ඇට වටා වට ප්‍රමාණය මැනගන්න. මෙය බුරුල්ව නැතුව ඇඟේ මිම්මටම මැනගැනීම අනිවාර්යයයි. ටේප් එක පිට පැත්තෙන් පහළට හෝ ඉහළට යන්න නොදී සමාන්තරව තබාගන්න. කණ්ණාඩියකින් බලාගෙන කරන එක අපහසු නම් තව කෙනෙකුගේ සහය ලබාගන්න.
  • දැන් පියයුරු වටා මැනගන්න. මෙහිදී ටේප් එක තනපුඬු හරහා යන විදියටත්, පිටු පසින් එල්ලා නොවැටෙන්නත්, තරමක් බුරුලටත් මැනගන්න.
  • මුලින්ම ඉල ඇට වටා මැනගත් මිනුම තමා ඔබේ බ්‍රා එකේ බෑන්ඩ් එකේ මිනුම. මෙහිදී 31 1/2 වගේ බාග ගණනක් ආවොත් ආසන්නම වැඩි අගය වන 32 අගය ලබාගන්න. ඉන්පසු මෙම අගය සෙන්ටිමීටර (cm) වලට හරවා ගන්න.
  • දැන් ඔබ ලබාගත් පපුවේ මිම්මෙන් බෑන්ඩ් එකේ මිම්ම අඩු කරන්න. ඉතිරි වන අගය අනුව කප් සයිස් එක පහත චාර්ට් එකෙන් හඳුනාගන්න.

සෙ.මි 13 වෙනසක් නම් කප් සයිස් – A

සෙ. මි 15 වෙනසක් නම් කප් සයිස් – B

සෙ. මි 17 වෙනසක් නම් කප් සයිස් – C

සෙ. මි 19 වෙනසක් නම් කප් සයිස් – D

සෙ. මි 21 වෙනසක් නම් කප් සයිස් – DD නැත්නම් E

 

වෙනස අඟල් 5ට වඩා වැඩි නම් කප් සයිස් එක බ්‍රෙසියර් බ්‍රෑන්ඩ් එකට අනුව වෙනස් වෙනවා.  හොඳ වර්ගෙක බ්‍රෑන්ඩ් එකක් සහිත බ්‍රා එකක් නම් ඔවුන් ළඟ ඇති බ්‍රා සයිස් චාර්ට් එකට අනුව ඔබට ලබාගන්න පුළුවන්.

 

4. මෙන්න මෙහෙමයි බ්‍රා සයිස් එක ගන්නෙ

Triumph Lanka

Image Source – Triumph Lanka

  • බෑන්ඩ් එකේ සයිස් එකයි කප් සයිස් එකට අනුව එන අකුරයි තමා ඔබේ බ්‍රා සයිස් එක. ඒ කිව්වෙ බෑන්ඩ් එක අඟල් 32 නම් කප් සයිස් එක B නම් ඔයාගෙ බ්‍රා සයිස් එක වෙන්නෙ 32B.
  • 32B කප් සයිස් එකයි 34B කප් සයිස් එකයි දෙකක්. මේ නිසා බ්‍රා එකක් තෝරගන්නකොට ඔබේ මිනුම් වලට අනුව එන බ්‍රා එක බෑන්ඩ් එකෙන් තදයි නම් ඊට වඩා ලොකු බෑන්ඩ් සයිස් එකෙන් පොඩි කප් සයිස් එක තෝරගන්න. ඒ කියන්නෙ ඔබේ සයිස් එක 32B නම් ඔබ 34A සයිස් එක අරන් බලන්න. ඒක ඔබට ගැලපේවි.
  • එහෙමත් නැත්නම් කප් එක ලොකු වැඩි වෙන වෙලාවක නම් 32A හෝ 30C වගේ සයිස් එකක් ඔබට ගැලපේවි.

මේ කියපු විදියට බ්‍රා සයිස් එක තෝරගන්න එක ගැටළු සහගතයි නම් පැකිලීමකින් තොරව එම වෙළඳසැලක සහායිකාවකගෙන් උදව් ඉල්ලන්න. ඔවුන් බොහෝවිට ඔබට ගැලපෙනම බ්‍රා එක තෝරාදෙන්න තරම් දැනුවත්.

 

5. හරිම විදියට තෝරාගත්තට අඳින්න දන්නවද?

Triumph Lanka

Image Source – blog.juneberries-haven.com

  • පොඩ්ඩක් ඉස්සරහට පහත් වෙලා පටි අතරින් අත් දෙක දාගන්න ගමන් පියයුරු කප් එක ඇතුළට සිටින විදියට ඇඳගන්න.
  • දැන් අත පිටුපසට කරකවා බ්‍රා එකේ හුක්ස් ටික කොඳු නාරටිය මැදට හිටින විදියට සකසගෙන දාගන්න. මුලින්ම හුක්ස් දාගෙන පස්සෙ අත් පටි අඳින ක්‍රමය බොහෝ දෙනෙක් අනුගමනය කළත්, ඒ ක්‍රමයෙන් බ්‍රා එක ඇදෙන්න පුළුවන්. ඒ කියන්නෙ වැඩි කාලයක් බ්‍රා එක නිසි හැඩයේ පවතින්නෙ නෑ. ඒ වගේම හුක්ස් පේළියේ පළවෙනි හුක් එක දාගන්න. ඒක තමා ඔබ මිලදී ගත්ත බ්‍රා එකේ හරිම සයිස් එක එන හුක් එක.
  • පටි උරහිස මත රඳවා ගත් පසු පියයුරු කප් එකේ දෙපැත්තෙන් පිටට පැන ඇති නම් එය ඇතුළට සිටින ලෙස සකසා ගෙන බ්‍රා එකේ පටිය තදත් නැති ලූසුත් නැති ගාණට සකසාගන්න. බ්‍රා එකේ හරි මැදින් කප් අතරින් ඇඟිල්ල දමා පියයුරු පහසුවෙන් කප් අතර සිටින ලෙස සකස් කරගන්න.

 

6. හරිම බ්‍රා සයිස් එක තෝරගත්තද කියල දැනගන්නෙ මෙහෙමයි

Triumph Lanka

Image Source – healthline.com

  • බ්‍රා එකේ බෑන්ඩ් එක පිටට සහ අත් යට ප්‍රදේශයට තද නොවී තිබිය යුතුයි. බෑන්ඩ් එකට උඩින් හෝ යටින් මස් පිඬු තෙරපිලා පිම්බිලා නම් බ්‍රා එක තදයි. ඔබේ දබරැඟිල්ල පහසුවෙන් බෑන්ඩ් එක වටේ ගෙනියන්න හැකියාව තියෙනව නම් ඒක පර්ෆෙක්ට් බෑන්ඩ් සයිස් එක.
  • කප් එකේ දෙපැත්තෙන් හෝ ඉදිරියෙන් පියයුරු තෙරපී එළියට නොආ යුතුයි. එහෙම එළියට පැනල නම් ඒ කප් සයිස් එක ඔබට පොඩියි.
  • අත් දෙක දෙපසින් දමා සීරුවෙන් සිටගත් විට ඔබේ තනපුඬු උරහිසත් වැලමිටත් අතර හරි මැද උසක පිහිටනව නම් ඔබ නිවැරදි බ්‍රා සයිස් එක තෝරගෙන.
  • බ්‍රා එක ඇඳලා අත් දෙක ඉස්සීමේදී පිටුපස පටිය නොසෙල්වී තිබේනම් ඔබ තෝරාගෙන ඇත්තේ නිවැරදි බ්‍රා සයිස් එකයි.

 

7. මේ දේවලුත් වැදගත්

Triumph Lanka

Image Source – joygurtiza.com

වෙළඳපොලේ නානාප්‍රකාර බ්‍රා වර්ග තියෙනව. ඒ වගේමයි විවිධ හැඩයේ සිරුරු සහිත, විවිධ හැඩයේ පියයුරු සහිත කාන්තාවනුත් ඉන්නව. ඒ ඒ සිරුරු වලට ගැලපෙන ආකාරයට තමන්ගේ පෝස්චර් එක එහෙමත් නැත්නම් ඉරියව්ව වඩාත් හොඳින් පවත්වා ගන්න පුළුවන් බ්‍රා එකක් ඔබ අනිවාර්යයෙන් තෝරාගත යුතුයි.

පේව්මන්ට් එකෙන් ලාබෙට ගන්න බ්‍රා එකකින් අපිට නියම ප්‍රමිතියක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. බ්‍රා කියන්නේ අල්මාරියක් පිරෙන්නම අරගන්න ඇඳුමක් නෙවෙයි නිසා ගන්න බ්‍රා කීපය හොඳ ප්‍රමිතියක් ඇති බ්‍රෑන්ඩ් එකකින් ලබාගන්න මතක තියාගන්න. ඒ වගේම නිතරම එක බ්‍රෑන්ඩ් එකකට පුරුදු වෙන්න. ඔබේ බ්‍රා සයිස් එක වෙනස් උනත් පහසුවෙන්ම නියම බ්‍රා සයිස් එක තෝරගන්න ඒකෙන් ඔබට හැකියාව ලැබෙනව.

Cover Image Source – nite.com / Triumph Lanka/ tatacliq.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *