ඌරෙක්ට මහත්තයා කිවුවත්, මහත්තයාට ඌරා කිව්වත් ඌරා ඌරමනේ! එහෙම කියන්නේ හැබැයි ඌරන්ට අගෞරවයක් වෙන්න නෙවෙයි. ඒත් ඉතින් මිනිස්සු ඌරන්ට සම කරන තැන් සෑහෙන්න අපිට එදිනෙදා ජීවිතේදී අහුවෙනවා. ඌරු වැඩ කරන්න එපා කියලා කියන්නේ කෙනෙක් එක්කෝ අසික්කිත නැතිනං අප්‍රසන්න වැඩක් කරනකොට. ඌරෙක් වගේ කියනවා ඇඟ පත හොඳට තියෙන මනුස්සයෙක් දැක්කහම. ඇමරිකාවේ ගැන්ග්ස්ටාර් සුමනේ කෙනෙක්නං පොලිස් මාමෙක් දැක්කත් කියන්නේ “පිග්” කෙනෙක් කියලා. හැබැයි දැන් ඔය හැම කීමක්ම හැදිලා තියෙන්නේ ඌරො කියන්නේ මහ අසික්කිත, අප්‍රසන්න, ගඳ ගහන සත්තු ජාතියක්ය කියන මතේ ඉඳගෙනනේ. හරි, ඌරෙක් කිවුවහම සාමාන්‍යයෙන් අප්‍රසන්න හැඟීමක් එන්නෙ නැද්ද? හැබැයි අපි කියන්නේ ඌරො ගැන තියෙන ඔය සංකල්පය වැරදියි කියලා තමයි. ඇත්තටම වෙලා තියෙන්නේ සෑහෙන පිරිසක් පෝක් ගැන දැනගෙන හිටියත් ඌරො ගැන දන්නෙ නැති එක. ඒ නිසා ඌරෝ ගැන නොදන්න කාරණා තමයි මේ කියන්න යන්නේ!
1. අසූචි, කැත කුණු වල ලගින ඌරෝ!

Image Source – rt.com
මේක තමයි ඌරෝ කියන කොට මුලින්ම අපේ හිතට එන චිත්‍රය. මඩ, කුණු, අසූචි නාලා ඉන්න ඌරෙක්. හැබැයි ඇත්ත කථාව තමයි ඌරෝ එහෙම අපිරිසිදු සත්තු කොටසක් නෙවෙයි කියන එක. ඌරෝ අසූචි කැත කුණු වල ලැගලා ඉන්නෙ නෑ. ගෙදර හදන ඌරෝ හරි ඇතිකරන ඌරෝ හරි එහෙම ඉන්නවා නම් ඒකෙන් කියන්නේ පශුපාලනය අන්තිම දුර්වලයි කියන එක. ඒ කියන්නේ වැරැද්ද මිනිස්සුන්ගේ. ඒකට හොඳම උදාහරණය තමයි වල් ඌරෝ. කැලේ ඉන්න ඌරෝ කිසිම විදියකට කැත කුණු ගොඩක ලැගලා ඉන්නෙ නෑ. උන් ලැගලා ඉන්න තැන්වලින් මළපහ කරන තැන් හැකිතාක් ඈතින් තියාගන්නවා. ඌරු පැටවු පවා ඒ පුරුද්ද අනුගමනය කරනවා.
හැබැයි ඌරෝ මඩේ ලගිනවා. ඒක ඇත්ත. ඒකට හේතුව ශරීරය සිසිල්ව තියාගන්න ඕන නිසා. සමස්තයක් විදියට ගත්තහම ඌරෝ කියන්නේ අපිරිසිදු සත්තු නෙවෙයි කියන්න පුලුවන්.
2. ඌරෙක් වගේ දාඩිය දාගෙන ඉන්නේ!

Image Source – gooddesignforall.blogspot.com
ගොඩක් අය හිතනවා ඌරෝ කොයි වෙලාවෙත් දාඩිය පෙරාගෙන ඉන්නෙ කියලා. ඒ නිසාම ඌරො ගාව මාර ගඳයි කියලා. හැබැයි ඇත්ත කතාව ගත්තොත් ඌරන්ට ස්වේද ග්‍රන්ථි නැහැ. ඌරන්ගේ ශරීර ව්‍යුහය දිහා බැලුවොත් ඒක පැහැදිලි වෙයි. ඒ නිසාම තමයි අපි කලිනුත් කිවුව විදියට ශරීරය සිසිල් කරගන්න ඌරෝ මඩේ ලගින්නේ. ඒ නිසා ඌරෝ වගේ දාඩිය දාලා දාඩිය ගඳ ගගහා ඉන්නවා කියලා කෙනෙක්ට කියන්න කලින් තවපාරක් හිතලා බලන්න වෙනවා.
3. ඥාණවන්ත ඌරෝ!

Image Source – agweb.com
ඌරෝ කියන්නේ ඇත්තටම මොළේ තියෙන සත්තු ජාතියක්. හැබැයි ගොඩක් දෙනා හිතන්නේ ඌරෝ කියන්නේ මෝඩ සත්තු කොටසක් කියලා. ඌරෝ ගැන අධ්‍යයනය කරන අය කියන්නේ අවුරුදු තුනක ළමයෙක්ට වඩා ඌරොන්ට මොළේ තියෙනවා කියලා. ඒ වගේම බල්ලන්ට සහ තවත් යම් යම් ප්‍රයිමේටාවුන්ටත් වඩා ඌරන්ට මොළේ තියෙනවා කියලා. විශේෂයෙන්ම ඌරොන්ට හොඳ සන්නිවේදන හැකියාවක් සහ තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා ගොඩක් දෙනෙක් කියනවා. ඌරන්ට බොහෝම ඉක්මනට දෙයක් ඉගෙන ගන්න පුලුවන් කියලා තමයි කියන්නේ. ඒ වගේම ඌරන්ට හොඳ මතකයකුත් තියෙනවලු.
4. යාලු මිත්තරයෝ ඉන්න ඌරෝ!

Image Source – livekindly.co
අපි කිවුවනේ ඌරෝ බොහොම ඥාණවන්තයි කියලා. ඒ වගේම තමයි ඌරන්ගේ සමාජ ජීවිතයත්. ඒ කියන්නේ උන් බොහොම සමාජශීලියි. ඌරන්ගේ භාෂාවත් සාපේක්ෂව දියුණුයි. විස්සකට වැඩි එකිනෙකට වෙනස් හඳුනාගත හැකි ශබ්ද ප්‍රමාණයක් ඌරන්ගේ ශබ්ද කෝෂයේ තියෙනවා. ඉතින් ඌරෝ කට්ටිය එකට ඉන්නවා නම් මේ භාෂාවෙන් නිරන්තරයෙන්ම වගේ කථාබහ කරමින් ඉන්නවා කියලා තමයි කියැවෙන්නේ. ඒ වගේම ඌරෝ සමීප සම්බන්ධතා ඇතිකරගන්නවා. වෙනත් විදියකට කිවුවොත් ඌරන්ට ඌරෝ අතරේම යාලුවෝ ඉන්නවා කිවුවොත් වැරදි නෑ. ඌරන්ට මේ විදියේ සාපේක්ෂව ඉහළ ඥාණයක් තියෙන නිසාම ඌරන්ගේ හැඟීම් වලට තියෙන සංවේදීතාවයත් සාපේක්ෂව වැඩියි කියලා කියන්න පුලුවන්.
5. ක්‍රීඩාශීලී ඌරෝ!

Image Source – hoobly.com
අපි දිගටම කිවුවනේ ඌරෝ ඥාණවන්තයි වගේම සමාජශීලීයි කියලා. ඇත්තටම ඒ වගේම ඌරෝ බොහොම කුතුහලාත්මකයි, ක්‍රීඩාශීලීයි, විනෝදයට ලැදියි. මිනිස්සු වගේම ඌරෝ සිහින දකිනවා කියලත් අපි කිවුවනේ. ඇත්තටම ඌරෝ කැමතියි නිදාගන්නකොට එකිනෙකාගේ නාහේ ගාවාගෙන නිදාගන්න. ඒ වගේම සොබාවික පරිසරයක ඉන්න ඌරෝ නම් පැය ගණන් එකිනෙකා එක්ක සෙල්ලම් කරන්න, අවුව තපින්න සහ අවට ගවේෂණය කරන්න ගත කරනවා. තවත් විදියකට කිවුවොත් ඌරෝ කියන්නේ කිසිසේත්ම අලස සතෙක් නෙවෙයි. මේක හොඳටම දැනගන්න පුලුවන් හුරතල් සතෙක් විදියට ඌරෙක්ව ඇති කළොත්!
6.හුරතලේට හදන ඌරෝ!

Image Source – ozarkmountainminipigs.com
දැන් ඔය කියපු ඔක්කොම තිබුණත් ඌරෙක්ව හුරතලේට හදන එක පොඩ්ඩක් අමුතුයි වගේ නේද? හැබැයි ඇත්තටම ගත්තොත් ඌරෝ හුරතලේට ඇති කරනවා සෑහෙන රටවල, සෑහෙන ප්‍රමාණයක්. ඌරෙක්ට අර කරට කරපටියක් දාලා ඇවිද්දවන එක බොහොම ලේසියෙන් පුරුදු කරවන්න පුලුවන්. මළ පහ කරන්න පෙට්ටියක් පාවිච්චි කරන එක වගේ යහපත් පුරුදු වුනත් ඌරු පැටියෙක්ට හුරු කරවන්න හරිම ලේසියි. ඕනෑ නම් අර සර්කස් වල වගේ එක එක ට්‍රික්ස්, සෙල්ලම් කරන්න වුනත් ඌරෙක්ව බොහොම ලේසියෙන් හුරු කරවන්න පුලුවන්. ක්‍රීඩාශීලී බවත්, ඥාණවන්ත බවත් නිසාම උන් උද්‍යෝගයෙන් ඒවා ඉගෙන ගනීවි.
ඇත්තටම සමහරු සුරතල් සතුන් විදියට ඌරොන්ව තෝරාගන්න තවත් හේතුවක් තියෙනවා. දැන් ඔය සමහරු ඉන්නේ පූසන්ගේ බල්ලන්ගේ ලෝම වලට ආසාත්මිකතාවයන් තියෙන. අන්න ඒ අයට ඌරෙක් ඇතිකළාට අවුලක් නෑ. මොකද ඌරන්ගේ ලෝම නැහැ. තියෙන්නේ අපේ වගේම රෝම නැතිනම් මවිල්. ඒවා ගැලවිලා අපේ නාහෙට යන්නෙ නෑ.
7. මිනිස්සු වගේ ඌරෝ!

Image Source – .huffingtonpost.com
ඌරෙක් වගේ කියලා ඔය ඇඟ පත තියෙන හාදයෙක්ට, හාදියක්ට කියනවා ඇහිලා තියෙනවනේ. එහෙම කෙනෙක්ගේ ශාරීරික හැඩහුරුකමක් විවේචනය කිරීම වැරදියි. හැබැයි ඉතින් ඇත්තටම ඌරෝ මිනිස්සුන්ට සමානයි. විශේෂයෙන්ම සිහින දැකීම වගේ ඉහළ ඥාණයත් එක්ක එන දේවල් වලින් විතරක් නෙවෙයි, ජානමය හැඩහුරුකම අතිනුත් ඌරෝ මිනිස්සුන්ට සමානයි. ඒ නිසා තමයි ඔය විද්‍යාඥයෝ මනුස්සයෝ අතර තියෙන ලෙඩ රෝග වලට බෙහෙත් හොයනකොට පර්යේෂණ වලට ඌරන්ව පාවිච්චි කරන්නේ.
කථාව ඉවර කරන්න කලින් තව එක දෙයක් කියන්න ඕන. වින්ස්ටන් චර්චිල් කියපු බොහොම ප්‍රසිද්ධ කථාවක් තියෙනවා. “බල්ලෝ අපි දිහා ගෞරවයෙන්, තමන්ට වැඩි කෙනෙක් දිහා බලන විදියට බලන්නේ. පූසෝ අපිව පහළට දාලා තමන්ට පහළ කෙනෙක් දිහා බලන විදියට බලන්නේ. ඒත් ඌරෝ අපේ ඇස් කෙලින් බලන්නේ තමන් හා සමානයෙක් දිහා බලන විදියට”!
ජෝර්ජ් ඕවල් ගේ ඇනිමල් ෆාර්ම් පොත කියවලා තියෙන කෙනෙක්ට දැන් මතක් වෙන්න ඕන ඒකේ සත්තුන්ගේ කැරැල්ලට නායකත්වය දෙන්නේත්, ගොවිපලේ ආධිපත්‍යය ගන්නේත්, අන්තිමට මිනිස්සු එක්ක ගිවිසුම් ගහලා මිනිස්සුම වෙන්න උත්සාහ ගන්නේත් ඌරො කියලා. ඒ පොතේ සත්තු එන්නේ සංකේතාත්මකව වුනත්, ඌරෝ ඥාණවන්තයි කියන එක තේරෙනවා.
Cover Image Source – phytosynthese.com / blog.oxforddictionaries.com
Leave a Reply