ලෝක සිනමාවේ හොඳටම නැගලා ගිය ඇක්ටර් ඩිරෙක්ටර් සුසංයෝග

Director Actor Collaborations

චිත්‍රපටයකට දක්ෂ රංගන ශිල්පියෙක්ගේ සාර්ථක රඟපෑමකින් ලැබෙන්නෙ ලොකු ආලෝකයක්. ඒ වගේම තමයි යම්කිසි නළුවෙක්ට හෝ නිළියකට හොඳ අධ්‍යක්ෂකවරයෙක් යටතේ වැඩ කරන්න ලැබෙනවා කියන්නෙත් ඔහුගේ, ඇයගේ රංගන ජීවිතයට ආලෝකයක් වැටෙන අත්දැකීමක්. හොඳ නළුවෙක් හෝ නිළියක් හොඳ අධ්‍යක්ෂකවරයෙක් එක්ක එකතු වෙලා, කිරි පැණි වගේ, ලුණු දෙහි වගේ සෙට් වෙලා වැඩ කරනවා කියන්නේ ෆිල්ම් එකක් අනිවා ගොඩ යන්න ඉඩ වැඩියි කියන එකයි. ලෝක සිනමාව ගත්තහම මෑත භාගයේදී ඒ විදිහට දකින්න ලැබෙන, ෆිල්ම් එක ලෙසටම ගොඩ දාන ඇක්ටර් ඩිරෙක්ටර් ජෝඩු කීපයක්ම ඉන්නවා. ඒ අය ගැන තමයි මේ කියන්න යන්නේ. ඒ විතරක් නෙමෙයි, ලිපියේ අවසානයේ ලංකාවේ ඒ විදිහේ හොඳම ඇක්ටර් ඩිරෙක්ටර් සුසංයෝගයක් ගැනත් අපි කියලා තියනවා.

 

1. ටිම් බර්ටන් – ජොනී ඩෙප්

Director Actor Collaborations

Image Source – arbitrarybloger.wordpress.com

ජොනී ඩෙප් කිවුවම මොකක්ද මුලින්ම මතකයට එන්නේ? එකකට එකක් වෙනස් විදිහේ ස්වරූපයෙන් යුතුව කරපු අමුතුම විදිහේ චරිත රංගනයන් වෙන්න පුළුවන්. මේ විදිහෙ චරිත රැසක් හරහා ප්‍රේක්ෂකයා හමුවට එන්න ජොනී ඩෙප්ට අවස්ථාව සැලසෙන්නෙ ටිම් බර්ටන්ගේ චිත්‍රපටි හරහා තමයි. ජොනී ඩෙප් මේකප් දාලා, අමුතුම විදිහට ස්වරූපය වෙනස් කරගෙන රඟපාපු ‘එඩ්වර්ඩ් සිසර්හෑන්ඩ්, ස්වීනි ටොඩ්, චාර්ලි ඇන්ඩ් ද චොකලට් ෆැක්ටරි, ඩාර්ක් ශැඩෝස්’ වගේ චිත්‍රපටි රැසකම අධ්‍යක්ෂකවරයා වෙන්නේ ටිම් බර්ටන් තමයි. සුරංගනා කතා වගේ විචිත්‍රවත්ව දිගහැරෙන මේ චිත්‍රපට අතරින් ඩෙප් සහ බර්ටන් කරන මුල්ම චිත්‍රපටය තමයි 1990 දි එළියට ආපු ‘එඩ්වර්ඩ් සිසර්හෑන්ඩ්.’ මේ වෙද්දි මේ දෙන්නා එකතුවෙලා චිත්‍රපටි 9ක් කරලා තියනවා. ඒ අතරින් වැඩි චිත්‍රපටි ප්‍රමාණයක් බොක්ස් ඔෆිස් වාර්තා තියන්නත් සමත් වෙලා තියනවා.

 

2. මාර්ටින් ස්කෝසීස් – රොබට් ඩිනීරෝ

Director Actor Collaborations

Image Source – digitalspy.com

අපි හිතන විදිහට එතෙක් මෙතෙක් බිහිවුණ හොඳම අධ්‍යක්ෂක – නළු සුසංයෝගය තමයි මේ. ස්කෝසීස් – ඩිනීරෝ සුසංයෝගයෙන් හැදුණු චිත්‍රපට අතරින් වැඩි ප්‍රමාණයක්ම ලෝකයේ විශිෂ්ටතම චිත්‍රපට හැටියටයි සැලකෙන්නෙ. ස්කෝසීස් ඩිනීරෝ එකතුවෙන් බිහිවෙන මුල්ම චිත්‍රපටය තමයි 1973දි ආපු ගැන්ග්ස්ටර් චිත්‍රපටයක් වෙන ‘මීන් ස්ට්‍රීට්ස්.’ ඊට පස්සෙ අවුරුද්දේ ලෝකෙම අදටත් කතාබහ වෙන ස්කෝසීස්ගෙ මාස්ටර්පීස් එක වන ‘ටැක්සි ඩ්‍රයිවර්’ හැදෙනවා. රොබර්ට් ඩිනීරෝගෙ අමතක නොවන විදිහේ රංගනයක් ඒ චිත්‍රපටයට ඇතුළත්. 80 ගණන් වලදි ඩිනීරෝ බොක්සිං ක්‍රීඩකයෙක්ගේ චරිතය නිරූපණය කරපු ‘රේජින්ග් බුල්’ එළියට එනවා. 95දි ‘කැසිනෝ’ චිත්‍රපටයෙන් තමයි මේ දෙන්නාගේ සුසංයෝගයට තාවකාලික නැවතුම් ලකුණක් වැටෙන්නෙ. මේ වෙද්දි ස්කෝසීස් සහ ඩිනීරෝ එකතුවෙන් චිත්‍රපට 10ක් නිර්මාණය වෙලා තියනවා. ඒකට එක් කෙටි චිත්‍රපටයකුත් ඇතුළත්. ලබන අවුරුද්දේදි ‘දි අයිරිෂ්මන්’ නමින් මේ දෙන්නාගේ එකතුවෙන් හැදුණු චිත්‍රපටයක් තිරගත වෙන්නටත් නියමිතයි.

 

3. මාර්ටින් ස්කෝසීස් – ලියනාඩෝ ඩිකැප්‍රියෝ

Director Actor Collaborations

Image Source – peepingmoon.com

මාටින් ස්කෝසීස්ගේ සිනමා ජීවිතයේ පළමු අර්ධය ඩිනීරෝට අයිති වෙද්දි එහි දෙවෙනි අර්ධය අයිති වෙන්නෙ ලියනාඩෝ ඩිකැප්‍රියෝ හටයි. 2002 දි ආපු ‘ගැන්ග්ස් ඔෆ් නිවුයෝර්ක්’ චිත්‍රපටයෙන් තමයි ඩිනීරෝගෙන් බැටන් පොල්ල ඩිකැප්‍රියෝ අතට මාරු වෙන්නේ. එතැන් පටන් මේ වෙනකන් ඩිකැප්‍රියෝ සහ ස්කෝසීස් එකතුවෙන් චිත්‍රපට 5ක් නිර්මාණය වෙලා තියනවා. ඒ චිත්‍රපට සියල්ලක්ම වගේ සුපිරි ගණයේ ලා සලකන්න පුළුවන් ඒවායි. නම් වශයෙන් කියනවනම් ‘ගෑන්ග්ස් ඔෆ් නිවුයෝර්ක්, දි ඒවියේටර්, ද ඩිපාර්ටඩ්, ෂටර් අයිලන්ඩ් සහ ද වුල්ෆ් ඔෆ් වෝල් ස්ට්රීට්’ තමයි ඒ චිත්‍රපට පෙළ. ස්කෝසීස්ගේ සිනමා ජීවිතේ ප්‍රධානම නළුවෝ දෙන්නා වෙන ඩිනීරෝ සහ ඩිකැප්‍රියෝ දෙන්නව එකතු කරගෙන චිත්‍රපටයක් තනන්නත් ස්කෝසීස්ගෙ අදහසක් තියෙන බවට කසුකුසු නැගුණා පහුගිය දවස්වල.

 

4. ක්වෙන්ටින් ටරන්ටිනෝ – සැමුවෙල් එල්. ජැක්සන්

Director Actor Collaborations

Image Source – latimes.com

ක්වෙන්ටින් ටරන්ටිනෝගේ චිත්‍රපට වල නිතර දකින්න ලැබෙන මූණු රැසක් තියනවා. සැමුවෙල් ජැක්සන්, උමා තර්මන්, මයිකල් මැඩ්සන්, ටිම් රොත් සහ හාවි කීටල් ඒ වගේ කිහිප දෙනෙක්. මේ අය අතරින් ටරන්ටිනෝගේ අංක එකේ චිත්‍රපටි සඟයා හැටියට නම් කරන්න පුළුවන් සැමුවෙල් එල්. ජැක්සන් තමයි. සැමුවෙල් එල්. ජැක්සන් මුලින්ම ටරන්ටිනෝ චිත්‍රපටයකින් අපිට මුණ ගැහෙන්නෙ පල්ප් ෆික්ෂන් හරහා. කුළී මිනීමරුවෙක් වුණ ජූල්ස් වින්ෆීල්ඩ් කියන ඒ චරිතය ටරන්ටිනෝ ලිවුවෙම සැමුවෙල් ජැක්සන්ව හිතේ තියාගෙන කියලා කියනවා. ඊට පස්සේ ‘කිල් බිල්, ජැකී බ්‍රවුන්, ඉන්ග්ලෝරියස් බාස්ටර්ඩ්ස්, ජැන්ගෝ අන්චේන්ඩ් සහ ද හේට්ෆුල් එයිට්’ හරහා සැමුවෙල් ටරන්ටිනෝ හවුල අපි ඉදිරියට එනවා. අදටත් අපේ ප්‍රියතම චරිතය වෙන ‘ජූල්ස් වින්ෆීල්ඩ්’ චරිතය වෙනුවෙන් හොඳම සහය නළුවාට ඔස්කාර් නිර්දේශ වෙන්නත් සැමුවෙල් ජැක්සන්ට හැකියාව ලැබිල තියනවා.

 

5. කොඑන් සහෝදරයෝ – ෆ්‍රාන්සස් මැක්ඩෝර්මන්ඩ්

Director Actor Collaborations

Image Source – .hollywood.com

මෙතෙක් අපි කතා කරපු නළු – අධ්‍යක්ෂක සුසංයෝගයට වෙනසක් එක් කරන විදිහේ එකතුවක් තමයි මේ. සුප්‍රකට අධ්‍යක්ෂකවරුන් වන කොඑන් සහෝදරයන්ගෙන් වැඩිමලා වන ජොඑල් කොඑන්ගේ ප්‍රිය බිරිඳ තමයි ෆ්‍රාන්සස් මැක්ඩෝර්මන්ඩ් කියන්නේ. අපරාධ චිත්‍රපට නිර්මාණය කිරීමේ වැඩි ප්‍රසිද්ධියක් දක්වන ජොඑල් සහ ඊතන් කොඑන් සහෝදරයනුත් ෆ්‍රාන්සස් මැක්ඩෝර්මන්ඩුත් එකතුවෙන් අති සාර්ථක චිත්‍රපට රැසක්ම බිහිවෙලා තියනවා. මේ අය සුසංයෝගයෙන් හැදෙන මුල්ම චිත්‍රපටය තමයි 1984 දි තිරගත කරපු ‘බ්ලඩ් සිම්පල්’ කියන චිත්‍රපටය. ඒ චිත්‍රපටය තිරගත වෙන අවුරුද්දේම තමයි ජොඑල් සහ ෆ්‍රාන්සස් පෙමින් බැඳිලා විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ. ඊට පස්සේ හැදුණු ‘රේසින්ග් ඇරිසෝනා, ෆාර්ගෝ, බර්න් ආෆ්ටර් රීඩිංග්, ද මෑන් හූ වොස්න්ට් දෙයාර් සහ හේල් සීසර්’ වගේ චිත්‍රපට වලටත් ෆ්‍රාන්සස් සිය දායකත්වය සැපයුවා. 1997 දි තිරගත කරපු ‘ෆාර්ගෝ’ චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය දිනාගන්නත් ෆ්‍රාන්සස් මැක්ඩෝර්මන්ඩ් සමත් වුණා.

 

6. ෂාරුක් ඛාන් – කරන් ජොහාර්

Director Actor Collaborations

Image Source – dnaindia.com

බොලිවුඩ් සිනමාවේ රජු හැටියට හැඳින්වෙන ෂාරුක් ඛාන්ගේ සිනමා ජීවිතයේ වැඩි අයිතිය අධ්‍යක්ෂකවරුන් දෙන්නෙක්ට වෙන් කරල දෙන්න පුළුවන්. එක්කෙනෙක් වෙන්නේ යාෂ් චොප්රා. අනිත් කෙනා තමයි අපි මේ කියන කරන් ජොහාර්. කරන් ජොහාර්ගේ අධ්‍යක්ෂණයෙන් සහ ෂාරුක් ගේ රංගනයෙන් චිත්‍රපටි 4ක් එළිදැකල තියනවා. ඊට අමතරව කරන් විසින් නිෂ්පාදනය කරපු, ෂාරුක් රංගනයේ යෙදුණු චිත්‍රපටිත් තියනවා. කරන් සහ ෂාරුක්ගේ මුල්ම චිත්‍රපටය තමයි 1998දි ආපු ‘කුච් කුච් හෝතා හේ.’ ඊට පස්සේ ‘කභි කුෂි කභි ඝම්, කභි අල්විදා නා කෙහ්නා සහ මයි නේම් ඉස් ඛාන්’ යන චිත්‍රපට වලත් ෂාරුක් කරන් එකතුව පැවතුණා. මේ චිත්‍රපට 4 ෆිල්ම් ෆෙයාර් සම්මාන 17ක් හිමි කරගන්න සමත් වෙලා තියනවා. මේ අතරින් ‘කභි අල්විදා නා කෙහ්නා’ චිත්‍රපටය හැරෙන්නට අනික් චිත්‍රපට තුනේදීම හොඳම නළුවාට සහ හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මාන දිනාගන්නට ෂාරුක් සහ කරන් ජොහාර් සමත් වෙලා තියනවා.

 

7. වෙස් ඇන්ඩර්සන් – බිල් මරේ

Director Actor Collaborations

Image Source – slashfilm.com

වෙස් ඇන්ඩර්සන්ගේ චිත්‍රපට කියන්නේ ඇස් දෙකත් හිතත් යන දෙකම පිනවන බොහෝම විචිත්‍රවත් චරිත සහ දර්ශන සහිත ඒවා. ඔහුටම විශේෂ වෙච්ච වර්ණ වලින් තමන්ගේ සිනමාපට පින්තාරු කරන්න වෙස් ඇන්ඩර්සන් දක්ෂයි. වෙස් ඇන්ඩර්සන්ගේ චිත්‍රපට බහුතරයකින් අපිට මුණ ගැහෙන චරිතයක් තමයි බිල් මරේ. වෙස් ඇන්ඩර්සන් මේ වෙනකොට අධ්‍යක්ෂණය කරලා තියන සිනමාපට ගණන 17ක්. ඉන් සිනමාපට 8කම බිල් මරේ සුළු චරිතයකින් හරි රංගනයේ යෙදෙනවා. මේ දෙන්නගෙ එකතුව තිබුණ මුල්ම චිත්‍රපටය වුණේ 1998 දි ආපු ‘රශ්මෝර්’ චිත්‍රපටයයි. ඊට පස්සේ ‘ද රෝයල් ටෙනන්බෝම්ස්, ලයිෆ් අක්වාටික් විත් ස්ටීව් සීසු, ඩාර්ජීලින් ලිමිට්, මූන්රයිස් කින්ග්ඩම්, ද ග්‍රෑන්ඩ් බුඩාපෙස්ට් හොටෙල්’ වැනි චිත්‍රපට වලත් ඇන්ඩර්සන් – මරේ සුසංයෝගය දකින්න ලැබුණා. මේ චිත්‍රපට හැම එකක්ම වගේ රංගනයට සහ අධ්‍යක්ෂණයට චිචාරක ප්‍රශංසා හිමිවුණ චිත්‍රපටයි. මේ අවුරුද්දෙදි ආපු වෙස් ඇන්ඩර්සන්ගේ ‘අයිල් ඔෆ් ඩෝග්ස්’ ඇනිමේෂන් චිත්‍රපටයේ වගේම 2009 ආපු ‘ෆැන්ටෑස්ටික් මිස්ටර් ෆොක්ස්’ ඇනිමේෂන් චිත්‍රපටයෙත් හඬ කැවීම් වලින් මරේ දායක වුණා.

 

බෝනස් – ජයන්ත චන්ද්‍රසිරි – කමල් අද්දරආරච්චි සහ ජැක්සන් ඇන්තනි

Director Actor Collaborations

Image Source – lankainformation.lk/fragmenteyes.blogspot.com/srilankamirror.com

ලංකාවෙ නිර්මාණය වුණ හොඳම ටෙලි නාට්‍යයක් වෙන ‘වෙද හාමිනේ’ ටෙලියේ තමයි අපි මුල් වරට සැරටම මේ ජයන්ත, කමල් සහ ජැක්සන් සුසංයෝගය දැක්කේ. ඊට පස්සේ සිනමාවට එද්දිත් ජයන්ත චන්ද්‍රසිරිගෙ චිත්‍රපට බහුතරයක කමල් සහ ජැක්සන් දෙදෙනා රඟපාමින් දායක වුණා. 2002 දි ආපු ‘අග්නිදාහයේ’, 2005 දි තිරගත කළ ‘ගරිල්ලා මාර්කටින්’ වල වගේම මෑතකදී තිරගත කිරීම ඇරඹුව ‘ඝරසරප’ චිත්‍රපටයේදීත් මේ දෙදෙනාගේ රංගනය දැකගන්න අපිට අවස්ථාව ලැබුණා. වෙද හාමිනේ නාට්‍යයද ඇතුළුව කමල් සහ ජැක්සන් රඟපෑ ජයන්ත චන්ද්‍රසිරිගේ බොහොමයක් නිර්මාණ වල කමල් සහ ජැක්සන් එකිනෙකාට එරෙහිව යන චරිත රඟපෑමත් විශේෂත්වයක් හැටියට දකින්න පුලුවන්.

Cover Image Source – adorama.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *