කතාවක් කියවන එකෙන් ලබන සතුට දෙගුණ තෙගුණ වෙලා යන්න හේතු වෙන එක ප්‍රධාන කාරණයක් තමයි ඒකේ ඉන්න චරිත. ඇත්තටම ඒ වගේ චරිත ඇතත් නැතත් ඒ චරිත ලක්ෂණ තියෙන උදවිය ඉන්නවා. එතකොට ඒ ඒ චරිත තමන්ට ආරෝපණය කරගන්න පාඨකයා පුරුදු වෙනවා. සිංහල නවකතා ආපු ගමන් මගේ ඒ වගේ චරිත සෑහෙන ගණනක් ඉන්නවා. ඒ අතරින් හද රැඳුණු කීප දෙනෙක් තමයි මේ.
1. අරවින්ද ජයසේන

Image Source – kadapatha.com.au
ලංකාවෙ නවකතා වල සුවිශේෂම චරිතයක් වෙන අරවින්ද ජයසේන අපිට හමුවෙන්නෙ විරාගයෙන්. අරවින්දලා ඕනෑ තරම් සමාජයේ ඉන්නවා. ඒ නිසාම අරවින්දලා ජනප්‍රිය චරිත බවට පත්වෙනවා. ඉන්ට්‍රොවර්ට් කෙනෙක් විදියට අරවින්දව හඳුන්වන්න පුළුවන්. තමන්වම ස්වයං විග්‍රහයකට ලක් කරගන්න මාර සංවේදී මනුස්සයෙක්. එහෙම පිරිමි හිත් තියෙනවා කියලා පාඨකයාට පෙන්වපු චරිතයක් තමයි අරවින්ද.
2. දෙවෙන්දරා සං

Image Source – scribd.com
අරවින්දට නොදෙවෙනි ඒ වගේම ගුප්ත චරිතයක්. උසස් පෙළ කලා විෂය ධාරාවේ සිංහලවලට මළගිය ඇත්තෝ නිර්දේශ වෙලා තිබ්බත් හරි දෙවෙන්දරා ගැන සෑහෙන ලොකු කතිකාවක් ඇති වුණා. කොහොමින් හරි දෙවෙන්දරා කියන්නේ මනස්පුත්‍රයෙක්. ඒ කියන්නේ හිතින් දේවල් අම්බානෙකට හිතුවත් ඒවා යථාර්ථයක් කරන්න තරම් ශක්තියක් නැති කෙනෙක්. නොරිකො එක්ක ජීවිත කාලෙම එකට ඉඳී කියලා හිතුවට මොකෝ අන්තිමේ පාඨකයාත් අතරමං කරලා දැම්මා. ඒත් කෙල්ලෝ කොල්ලොන්ගේ කොළබොක්කටම වැදෙන්න ප්‍රේමය සම්බන්ධයෙන් ඉන්න අයිකන් එකක් තමයි දෙවෙන්දරා සං.
3. උපාලි ගිනිවැල්ලේ

Image Source – artstation.com
යාළුවෙක් එක්ක දූපතකට වෙලා තනියම වගා කරගෙන ඉන්න එක පට්ට මොරාල් එකක් ඇති යස වැඩක් කියන එක කිව්ව හද රැඳි චරිතය තමයි උපාලි ගිනිවැල්ලේ. අණ්ඩපාලකමෙන් පටන් අරන් ඉවර වුණේ හොඳ දැක්මක් තියෙන ඕන එහෙකට ඔට්ටු තරුණයෙක් විදියටයි. උපාලිගේ චරිතය ගැන හොඳ චිත්‍රයක් මවාගන්න පුළුවන් වෙන්නේ ඒත් එක්කම තකට තක ඉන්න ජින්නා නිසා කියලත් අමතක නොකර බැහැ.
4. සුදු අප්පො

Image Source – youtube.com
අඹ යහළුවෝ නවකතාවේ එන සුදු අප්පොගේ ඇත්ත නම සුනිල්. ගල්වලේ ගෙදර නිමල්ගේ අඹ යාළුවා වෙන්නේ එයා. වලව්කාරයෝ වුණාට මොකෝ ඒ පට්ටම ඔළුවට නොගහපු ළමාකමේ ප්‍රතිමූර්තියක් වගේ හිටපු මේ ආදරණීය චරිතය අපේ කුඩා කාලෙත් එක්ක අනිවාර්‍යයෙන්ම බැඳිලා ඉන්නවා. සුනිල් කැමති වුණේ නෑ නිමල් එයාට සුදු අප්පො කියනවට. ඒත් නවකතාවල සුනිල්ලා ඕනෑ තරම්. සුදු අප්පොලා ටිකයි.
5. සුගත්

Image Source – fragmenteyes.blogspot.com
දම්මිගේ සුගත්. ගොළු හදවත නවකතාවේ විරහවෙන් පීඩාවට පත් වුණ ප්‍රේමවන්තයා. වෙරළු ගෙඩියක් කන්න ලැජ්ජාවේ පණ ඇරගන්න ගියෙත් මොහු තමයි. පස්සෙන් පහු චිත්‍රපටවලටත් ගීතවලටත් ප්‍රස්තුතයක් වුණා. ඉස්කෝලවල මේ වගේ චරිත ඕනෑ තරම් ඉන්නවා. ඒ වගේම නොලැබුණු ප්‍රේමයක් වෙනුවෙන් මේ වගේ ම දුක් විඳින චරිත ගැන ඕනෑ තරම් නිර්මාණ බිහි වෙලා තියනවා. ඒත් එහෙම අය අතරින් සුගත් ලා ඉන්නේ එක්කෙනයි.
6. පියල්

Image Source – dbsjeyaraj.com
ප්‍රේම කතාවක් කියලා වැරදියට සමාජය හිතාගත්තු සමාජ පරිවර්තනයක් ගැන ටොකු ඇන ඇන කියා දුන්නු ගම්පෙරළිය නවකතාවේ වලව් ඔළුගෙඩි හිල්වෙන්න ඇනපු ටොක්ක තමයි පියල්. පියල් නන්දාට ආදරේ කරා තමයි. හැබැයි ඕක විවාහයෙන් කෙළවර කර ගත්තේ ඒ නිසාම නෙවෙයිනේ. පියල්ට සල්ලි තිබ්බා වලව්කාරකම නැතත්. අන්තිමේදී වලව් සැට් එකට කලර්ස් පෙන්නුවෙත් පියල්.
7. වීරප්පුලි හේනයා

Image Source – youtube.com
මෑත කාලයේ පාඨකයන් අතිශය සංවේදී කරපු සෙන්කොට්ටන් නවකතාවේ එන කුල භේදය නිසා අපා දුක් විඳින අහිංසකයා වීරප්පුලි හේනයා. ජීවිත කාලයම රදලයන්ගේ රෙදි අපුල්ලන එක කරපු, නිදහසේ පිනක් දහමක්වත් කරගන්න ඉඩක් නොලද ජීවිතයක්. අන්තිමට තමන්ගේ අතින් පැල කරපු බෝ ගහ විතරක් ජීවිතයේ එකම වස්තුව කරගන්නේ දුවගෙත් මුණුබුරාගෙත් වෙන්වීමෙන් පස්සේ. ඔහුගේ මරණය පාඨකයාට කම්පනයක් ඇති කරවන්න සමත් වෙන්නෙත් ඔහුගේ අහිංසකකම, අසරණකම නිසාමයි.
මේ වගේ ඔබ කැමති තවත් චරිත සිංහල නවකතාවල ඉන්නවද? කමෙන්ට් එකකින් කියන්න අපිට ඒ ගැන…
Leave a Reply