කොල්ලෙක්ට ගැලපෙනම සපත්තු ‍තෝරගන්නේ කොහොමද?

Mens Shoe tips

සාමාන්‍යයෙන් ෆැෂන් පැත්තට වැඩිපුරම බර කෙල්ලොනේ. කොල්ලන්ගේ ෆැෂන් එක වෙන්නේ ඩෙනිමට අතට අහුවෙන ටී ෂර්ට් එක හරි ෂර්ට් එක හරි ඇඳලා, හැමදාම දාන සෙරෙප්පු දෙක හරි සපත්තු දෙක හරි දාගෙන යන එක තමයි. ඇඳුම් ගන්න ගියහමත් එහෙමයි. කෙල්ලෙක් සෙරෙප්පු කුට්ටමක් ගන්න දවසින් බාගයක් ෂොප් එකෙන් ෂොප් එකට යනකොට, කොල්ලෙක්ට ඒ වැඩේට යන්නේ විනාඩි පහයි. කඩේ ඇතුළට ගිහින් තමන්ට ඕන සපත්තු මොනවද කියලා බැලුවා, ගණන් ඇහුවා, බජට් එකට ඒ සපත්තු සෙට් වෙනවද බැලුවා, එහෙමනම් දාලා බැලුවා, අරගෙන ගෙදර ආවා! සිම්පල් නේ! හැබැයි ඉතින් අපි කියන්නේ සපත්තු ගන්න එහෙම ලේසියෙන් බැහැ කියලා තමයි. ඊට වඩා හිතන්න දේවල් තියෙනවා. පොඩ්ඩක් වෙලාව ගියත් ගැලපෙනම සපත්තු දෙක ගන්න ඕනනේ. ඉතින් ඒකට කොල්ලෙක්ට නම් හිතන්න ඕන දේවල් ගැන තමයි මේ කියන්න යන්නේ.

 

1. මොනවද ගන්න ඕන සපත්තු?

Mens Shoe tips

Image Source – racewearcarousel.com.au

මේක තමයි අංක එකට හිතන්න ඕනෑ කරන්නේ. තමන්ට වුවමනා සපත්තු මොනවද? කොතැනට දාන සපත්තුද ගන්න ඕන? ඔ‍ෆිස් එකට යන්න නම් ඔ‍ෆිස් දාන සපත්තු. මගුල් ගෙදරකට යන්න නම් ඊට වඩා පොඩ්ඩක් ජැන්ඩියට තියෙන සපත්තු. කැෂුවල් දාන්න නම් ස්වෙඩ් සපත්තු. ඔය වගේ නොයෙක් ආකාරයේ සපත්තු වර්ග තියෙනවා. ඔ‍ෆිස් එක දැඩිව ඔ‍ෆිස් ඇඳුම් ගැන සැලකිලිමත් වෙනවා නම් ඉතින් හොඳ ඔ‍ෆිස් සපත්තු දෙකක් ගන්න වෙනවා. එහෙම නැතුව ඩෙනිමට ෂර්ට් එකක් ඇඳලා යනවා නම් ස්වේඩ් සපත්තු කෝකටත් ගැලපෙනවා. ඕන නම් වීක් එන්ඩ් එකට වගේ දාන්න හාෆ් ෂූස් හරි ලෝෆර්ස් හරි කමක් නෑ.

හැබැයි මෙහෙම විතරක් බලලා හරියන්නෙත් නෑ. අපි කියමු ඔ‍ෆිස් සපත්තු දාලා යන්න ඕන, හැබැයි දවසකට සෑහෙන්න ඇවිදිනවා කියලා. එහෙමනම් විශේෂයෙන්ම සපත්තුවේ අඩිය හොඳට තියෙන්න ඕන. සුවපහසු වෙන්න ඕන. මේ හැම කාරණාවම හිතලා බලලා ඔන්න ගන්න ඕන සපත්තු මොනවද කියලා තීරණය කරන්න පුලුවන්.

 

2. එක කුට්ටමක් ඇතිද?

Mens Shoe tips

Image Source – ties.com

සපත්තු ගන්න කොල්ලන්ගෙන් සීයෙට අසූවක් විතරම ගන්නේ එක සපත්තු කුට්ටමයි. පාවිච්චි කරන්නේත් එක සපත්තු කුට්ටමයි. දැන් මේ සපත්තු කුට්ටම තමයි ගොඩටත් මඩටත්, මගුලටත්, ඔ‍ෆිස් එකටත් හැම තැනටම දාන්නේ. හැමදාම දාන්නේ. ඒක ඉතින් ආර්ථික තත්ත්වයත් එක්කත් බැඳුණු හේතුවක්නේ. හැබැයි හරි ක්‍රමය ඒක නෙවෙයි. අඩුම ගාණේ සපත්තු කුට්ටම් දෙකක්වත් තියාගන්න එක තමයි හරි ක්‍රමය. සතියේ දවස් පහම ඔ‍ෆිස් යනවා නම් තියාගන්න ඔ‍ෆිස් සපත්තු කුට්ටමක් සහ කැෂුවල් ඒත් ඔ‍ෆිස් එකට දාන්න පුලුවන් සපත්තු කුට්ටමක්. ඒකට ස්වේඩ් සපත්තු හොඳයි. එහෙම නැතිනම් දැඩි පාවිච්චියක් තියෙනවා නම් ඔ‍ෆිස් සපත්තු කුට්ටම් දෙකක්ම තියෙන එකත් හොඳයි. මේක සල්ලි කන වැඩක් කියලා හිතුවට මේ ක්‍රමේ වාසි තියෙනවා. එකක් තමයි සපත්තු මාරුවෙන් මාරුවට දානකොට කල් පවතිනවා. සපත්තු වල ගඳක් එන්නෙ නෑ. පුද්ගලික සෞඛ්‍යයටත් ඉතාම හොඳයි. සපත්තු වල පෙනුමත් අල්ලලා හිටිනවා.

 

3. කොලිටිය කොහොමද?

Mens Shoe tips

Image Source – huffingtonpost.com

සපත්තු කඩේට ගිහින් ඕන සපත්තු මේවාය කියලා ඒ සපත්තු වලින් ගණන් අඩුම එක අරගෙන ගෙදර එන්න එපා. ගණන් අඩුම සපත්තු කඩේට යන්නත් එපා. සපත්තු ගන්නකොට කොලිටිය ගැන ඊට වඩා හිතන්න වෙනවා. හැබැයි ඉතින් කොලිටි බඩු ගිණි ලාබෙට ගන්න බෑ. ඔය අපේ සමහර යාලුවෝ ඉන්නවා කෙලින්ම ගන්නේ රුපියල් අට දාහේ නම දාහේ සපත්තු. අනික් එවුන් හිනාවෙනවා මූට පිස්සු කියලා. ඇයි ඉතින් ඒ වගේම සපත්තු පිටකො‍ටුවෙන් ගන්න පුලුවන් දෙදහට. හැබැයි රහස මේකයි. දෙදහේ සපත්තු කුට්ටම මාස අටක් යනකොට අව පාට වෙලා, එහෙන් මෙහෙන් කැඩීගෙන යන්න එනවා. හැබැයි අර අට දාහේ නම දාහේ සපත්තු කුට්ටම අවුරුදු ගාණක් දාන්න පුලුවන්, ඒ කොලිටියෙන්ම. මේක තමයි ඇත්තම සිදුවීම. කොලිටි බඩුවල කල් පැවැත්ම වැඩියි. ලුක් එකත් ජෙනුයින්. ආන්න ඒ නිසා තමයි සපත්තු වල කොලිටිය බලන්න කියන්නේ. හැබැයි ඉතින් වෙළඳ ගැට වලට අහුනොවෙන්නත් දැනගන්න ඕන.

 

4. පොඩ්ඩක් හිර වුනාට නියම සපත්තු දෙක!

Mens Shoe tips

Image Source – today.com

දැන් අපි සපත්තු ගන්න ගියාට පස්සේ අපේ හිත යන විදියේ සපත්තු කුට්ටමක් එතන තියෙන්න පුලුවන්. හැබැයි සයිස් එක හොයලා දාලා බලනකොට පොඩ්ඩක් හිරයි. ඒත් ඉතින් ඒ ඩිසයින් එකටත් අපි සෑහෙන ආසයි. ආයෙ ඔය වගේ ඩිසයින් එකක් කොහේ හොයන්නද. ඒ නිසා ඒ සපත්තු දෙක අපි ගන්නවා. හිර එක අවුලක් නෑ, සපත්තු දානකොට ඇදිලා කකුලේ ගාණට එනවනේ! ආන්න කරන්න පුලුවන් මෝඩම වැඩක්. සපත්තු ඇදෙනවාද නැද්ද කියන එක කරුණාකරලා පැත්තකින් තියන්න. සපත්තු දෙක දාලා බලනකොට කකුලේ ගාණට, සුවපහසුවට නැතිනම් ගන්න යන්න එපා. කොයි තරම් ලස්සන ඩිසයින් එකක් වුනත් වැඩක් නැහැ අපහසුවෙන් නම් දාන්න වෙන්නේ.

 

5. කොච්චර සුවපහසු වෙන්න ඕනද?

Mens Shoe tips

Image Source – theidleman.com

සපත්තු දෙකක සුවපහසුව කියන එක මූලිකවම ගන්න පුලුවන් සපත්තු දෙක අපේ කකුලට ගැලපෙනවද නැතිද කියන කාරණාවෙන්. ඒ කියන්නේ කකුල් වලට හිර සපත්තු දෙකක් දාගෙන යනවා කියන්නේ ඒක වධයක්. කකුල් කැපෙනවා විතරක් නෙවෙයි, හිර සපත්තු දෙකක් දාගෙන ඉන්න සිද්ධ වීමෙන් අපේ දවසම අවුල් වෙන්න පුලුවන්. අනික් අතට වුවමනාවට වඩා බුරුල් සපත්තු දෙකක් දාගෙන ඉන්නවා කියන්නෙත් හරි අපහසු හැඟීමක් ඇති කරන දෙයක්. ඒ වගේම ආරක්ෂිත නෑ. ඒ නිසා උඩිනුත් කියපු විදියට තමන්ගේ කකුලේ හරිම සයිස් එකට සපත්තු ගන්න වගබලාගන්න ඕනෑ.

දෙවෙනියට සපත්තු දෙකක සුවපහසුව ගැන හිතනකොට ඒක දාගෙන මොනවද කරන්නේ කියන එක ගැනත් හිතන්න ඕන. අපි කියමු වැඩිපුර පයින් යන්න හුරුවෙලා ඉන්න කෙනෙක් කියලා. එහෙම කෙනෙක්ට ඔය සාමාන්‍යයෙන් අපි ඔ‍ෆිස් දාන සපත්තු හරියන්නෙ නෑ. ඔ‍ෆිස් දාන සපත්තු දාගෙන ගොඩක් දුර ඇවිදිනවා කියන්නේ මුළු ඇඟටම වෙහෙසකර දෙයක්. එහෙම ඔ‍ෆිස් සපත්තු දාන්නත්, ඇවිදින්නත් වෙනවා නම් වෙනම රනින් ෂූස් දෙකකුත් තියාගන්න එක හොඳයි. එහෙම නැතිනම් වඩාත් සුවපහසු ස්වේඩ් සපත්තු ඒකට විසඳුමක්.

අනෙක් අතට මේස් නැතිව දාන හාෆ් ෂූස් හරි ලෝෆර්ස් හරි වුනත් දාඩිය දානකොට කරදරකාරීයි. ඒ නිසා හොඳ වාතාශ්‍රයක් තියෙන හාෆ් ෂූස් හරි ලෝෆර්ස් හරි ‍තෝරාගන්න වෙනවා.

 

6. දාලම බලමු!

Mens Shoe tips

Image Source – shoeguide.org

සපත්තු ගන්නකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ වාඩිවෙලා කකුලට දාලා, ඉන්පස්සේ හිටගෙන බලන එක. එහෙමනේ? ගැටළුවක් නැහැ. සපත්තු දෙක කකුලට දාලා බලනකොට කකුලේ දිගම ඇඟිල්ලේ ඉඳන් සපත්තුවේ ඇතුළත කෙළවරට අඩුම ගාණේ අඟල් බාගෙක ඉඩක් තියෙන්න ඕනෑමයි. මොකද ඇවිදිනකොට කකුලට චලනය වෙන්න තමයි ඒ ඉඩ තියෙන්නේ. කකුලේ ඇඟිලි හොලවලා බලන්න පුලුවන් ඒ ඉඩ තියෙනවද කියලා. දැන් සපත්තු දෙක දාලා නැගිටලා බැලුවනේ. කකුලට සුවපහසුවේ අවුලක් නැහැනේ. එහෙමනම් දැන් පොඩ්ඩක් ඇවිදලා බලන්න. අඩි දෙකක් නෙවෙයි, සපත්තු කඩේ ඇතුලේ පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදලා බලන්න. සපත්තු දෙක සුවපහසුයි කියන එක වගේම ඇවිදින්නත් පහසුයි කියන එකත් තහවුරු වෙන්න ඕන. කකුලට හොඳට ‍ෆිට්, ලිස්සලා යන්නෙ නැති සපත්තු දෙකක් කියලා තහවුරු වුනාට පස්සේ අන්න ඒ සපත්තු දෙක ගන්න පුලුවන්!

 

7. සපත්තු වලට ඕන කරන අනික් දේවල්

Mens Shoe tips

Image Source – youtube.com

ඔව්, ගොඩක් දෙනෙක් කරන්නේ සපත්තු දෙක අරගෙන සල්ලි දීලා එන එක. ඕන නම් වැඩිම වුනොත් මේස් කුට්ටමක් ගනී. හැබැයි එතනින් නතරවෙන්න බැහැ. ඇයි සපත්තු පිරිසිදු කරගන්නේ නැද්ද? ආන්න ඒවට ඕන දේවලුත් සපත්තු කඩෙන්ම ගන්න එක තමයි හොඳ. උදාහරණයක් විදියට කළු හෝ දුඹුරු ඔ‍ෆිස් සපත්තු නම් ඒකට ඒ පාටින් පොලිෂ් එකක්, නැතිනම් වැක්ස් එකක් ගන්න ඕන. සපත්තු බ්‍රෂ් එකක් ගන්න ඕන. සුදු සපත්තු නම් ඒක පිරිසිදු කරන්න ගැලපෙන සුදු තීන්ත එකක් ගන්න ඕන. ස්වෙඩ් සපත්තු නම් ඒකට සපත්තු දෙකේ පාටින් එන ස්වේඩ් ෂූස් ස්ප්‍රේ එකක් හරි ස්වේඩ් ඉරේසර් එකක් හරි ගන්න ඕන. මොකද සපත්තු කොයි තරම් කාලයක් හොඳ පෙනුමකින් සහ හොඳ කල් පැවැත්මකින් යුක්ත වෙනවාද කියන එක තීරණය වෙන්නේ සපත්තු වලට අපි දක්වන සැලකිල්ල, සත්කාරය අනුවත් තමයි.

Cover Image Source – universalstore.com/travelandleisure.com

zvr
Your Reaction

Comments